2019 ජුලි 20 වන සෙනසුරාදා

යට යන - උඩ යන මරණ දඬුවමේ හඬ

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 143

ජනාධිපතිවරයා ක්‍රියාත්මක කිරීමට දැඩි උනන්දුවක් දක්වන මරණ දණ්ඩනය පිළිබඳ කතාබහ ඔහු විසින්ම විවිධ ප්‍රකාශ නිකුත් කරමින් අලුත් කරයි. පසුගියදා ඔහු ප්‍රකාශ කළේ මරණ දණ්ඩනයට එරෙහි පනතක් ගෙන ඒමට පාර්ලිමේන්තුව සූදානම් බවත්, එලෙස ගෙන ආවොත් එදින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කරන බවත්ය.

පාස්කු සිද්ධියේ වරදකරුවන්ට මරණ දඬුවම දීම ආණ්ඩුවේ පිරිසක් වළක්වන්න හදන බව ජනාධිපතිවරයා යළිත් පැවසුවේය.

ඒ අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් විවාද කර සම්මත කර ගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේය. මේ වනවිට පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා යොමුකර ඇතැයිද ඔහු පවසා තිබේ. ගැසට් පත්‍රයේ පළකර සති තුනකට පසු එය පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කරගන්නා බවත් ඔහු පැවසුවේය. එම පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇත්තේ මරණීය දණ්ඩනය වෙනුවට ‘ජීවිතාන්තය දක්වා සිරදඬුවමක්’ යනුවෙනි. පනත ක්‍රියාත්මක වීමට පෙර යම් පුද්ගලයකුට මරණ දඬුවම නියම කර ඇත්‍නම් එම වරද සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලෙස සැලකෙන බවද පනත් කෙටුම්පතේ සඳහන්ය.

මේ අතර එ.ජා.ප. රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ සඳහන් කරන්නේ මරණීය දණ්ඩනය ඉවත් කිරීමේ යෝජනාවට තමා ඡන්දය දීමෙන් වැළකී සිටින බවය. දරුවන් පනස් ලක්ෂයකගේ අනාගතය මත් රකුසාගෙන් බේරාගැනීම සඳහා මරණීය දණ්ඩනය නීති පොතේ තිබිය යුතු බව ඔහු පවසා සිටී.

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන ඇති තීරණය පසුගියදා ජාත්‍යන්තර වශයෙන්ද විශාල විරෝධතාවයකට ලක් විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංවිධානය, මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඇතුළු සංවිධාන රාශියක් එම තීරණය වෙනස් කර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

2007 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්මත කරගත් යෝජනාව මෙසේය. “මරණ දඬුවම මනුෂ්‍යත්වයට නිගාවකි. මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ යාවත්කාලීන කිරීම කෙරෙහි මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නතර කරගෙන සිටීම උපකාරී වන බව මේ සභාව ඒත්තු ගෙන සිටී. මරණ දඬුවම නිසා අපරාධ මර්දනය කෙරෙන බවට ඒකාන්ත සාක්ෂි නැත.” මෙම යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී 2007 සිට එක දිගටම ඡන්දය පාවිච්චි කර තිබේ.

ලංකාවේ අවසන් වරට මරණ දඬුවම ක්‍රියාත්මක වුණේ 1976 දීය. ඒ චන්ද්‍රදාස නොහොත් හොඳ පපුවා එල්ලා මැරීමෙනි. ඒ සඳහා අවසන් අනුමැතිය හා අත්සන ලබා දුන්නේ එවකට ජනාධිපති විලියම් ගොපල්ලව විසිනි. 

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 114 වගන්තියේ රාජ්‍යද්‍රෝහී වැරදි සම්බන්ධයෙන්ද 129 වගන්තිය යටතේ හමුදාව තුළ කැරැල්ලක් සංවිධානය කිරීම සම්බන්ධයෙන්ද, 191 බොරු සාක්ෂි දීම, 296 මනුෂ්‍ය ඝාතන සිදුකිරීම, 299 සියදිවි හානිකර ගැනීමට අනුබල දීම සහ අන්තරායකර ඖෂධ ආඥා පනත යටතේ මත්කුඩු සන්තකයේ තබාගැනීම මරණීය දණ්ඩනය ලැබෙන අපරාධ වේ.

ලංකාවේ මරණීය දණ්ඩනය අහෝසි කළ යුතු බවටද, දිගු කලකට පෙර පටන්ම යෝජනා වී තිබුණි. 1928 දී ඩී.එස්. සේනානායක හා 1936 දී සුසන්ත ද ෆොන්සේකා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එලෙස ගෙනා යෝජනා එවකට ප්‍රතික්ෂේප විය.

මේ පිළිබඳව අදහස් විමසීමට අපි පූජ්‍ය පක්ෂයට මෙන්ම තවත් විද්වතුන් කිහිප දෙනකුටත් කතා කළෙමු.

රජවරුත් මරණ දඬුවම දුන්නා.
පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමි

මම මේ කතා කරන්නේ ආගම දහම අනුව නොවේ. බුදු දහමට අනුව කෙනකුගේ ජීවිතයක් විනාශ කිරීම අනුමත කිරීමට බැහැ. නමුත් රාජ්‍ය පාලනය සඳහා රාජ්‍ය නීතියට අනුව කටයුතු කිරීමට පාලකයන්ට සිදුවෙනවා. පැරණිම රාජ්‍ය නීතිය මනු නීතියයි. එයින් කියැවෙන්නේ රටක් පාලනය කිරීමට දඬුවම අවශ්‍ය බවයි. රට රකින්නේ දඬුවම බවත් එහි සඳහන් වෙනවා. දඬුවම නැතිව කවදාවත් මේ රට පාලනය කිරීමට බැහැ.

බුදුදහම ඉන්දියාවේ පහළ වුණත් ඒ රටේ රජවරු මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළා. ලංකාව බුදුදහම ස්ථිරව පිහිටවූ රටක් වුණත් රාජ නීතියට ආගමෙන් බාධාවක් වුණේ නෑ. රාජ නීතියට අනුව පුද්ගලයන්ට වරදේ හැටියට දිය යුතු දඬුවම් අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා. වේවැල්කැටිය සෙල්ලිපියේ සඳහන් වන්නේ මංපහරපු හොරා රත්කර යකඩ තහඩුවක් මත තැබීම ගැනයි. හිස ගසාදැමීම, උල තැබීම වගේ දඬුවම්ද පුරාණයේ ක්‍රියාත්මක වුණා. රට පාලනය කළ රජු මරණ දඬුවම ක්‍රියාත්මක කළා. මරණ දණ්ඩනය ලබාදිය යුතු අපරාධවලට ඒ දඬුවම නියම කිරීම රාජ නීතියයි. සමහර අවස්ථාවලදී ඇතැම් භික්ෂූන් වහන්සේලාද මරණ දඬුවමට යටත් වුණා. කණීරජානුතිස්ස රජ සමයේ රජු මැරවීමට කුමන්ත්‍රණය කළ භික්ෂූන් පිරිසක් පර්වතයකින් පහළට හෙළා තිබෙනවා. රාජ නීතිය හා බුද්ධ නීතිය පටලවා ගත යුතු නෑ. මේ තීරණ ක්‍රියාත්මක කිරීම කොන්ද පණ ඇති පාලකයකුගේ යුතුකමක්.

වෙනත් විකල්පයක් සොයාගත යුතුයි
- බෙන්ඩික්ට් ජොශප් පියනම

මරණීය දණ්ඩනය ගැන කතා කරද්දී මේ වනවිට යම් ව්‍යාකූලත්වයක් තිබෙනවා. රටේ නායකයන් මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කිරීම ගැන ප්‍රමාණවත් සංවාදයක් නැති බව බොහෝ තැන්වලින් ඇහෙනවා. රටේ මත්කුඩු, ස්ත්‍රී දූෂණ, හොරමැරකම්, අල්ලස් ගැහීම් වගේ අපරාධ ඉහළ ගිහින්. ඒවා සමනය කිරීමට ප්‍රමාණවත් දණ්ඩ නීතියක් ක්‍රියාත්මක කිරීම වැදගත්. ඒක කාසියේ එක පැත්තක්. දෙවැන්න තමයි මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සංවිධානවල මෙම දණ්ඩනය සුදුසුදැයි කියන කාරණය සාකච්ඡාවට ලක් කෙරෙනවා.

මෙය මනුෂ්‍යත්වයට කරන එක්තරා තර්ජනයක් ලෙස සලකලා බොහෝ රටවල් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්නෙ නැහැ. මේ අවස්ථාවේදී අප අනුගමනය කරන්නේ කුමන ක්‍රියාදාමයක්ද කියලා අප සැලකිල්ලට ගත යුතුයි. දඬුවමක අරමුණ වන්නේ දඬුවම හරහා අදාළ පුද්ගලයන්ගේ ජීවිතවලට සුබවාදී පැත්තක් ළඟා කරවීමයි. යහපත් මඟකට යාමට පාලමක් තැනීමයි.

කතෝලික සභාවත් ශුද්ධොත්තම ප්‍රැන්සිස් පාප්තුමත් දරන්නේ දඬුවම ජිවිත යහමඟට ගත හැකි ආකාරයකට සකස් විය යුතු බවයි. මිනිස් ජීවිතයක් විනාශ කිරීමෙන් ඒ පුද්ගලයාට ලබාගත හැකි ප්‍රතිලාභයක් නැහැ. මරණීය දණ්ඩනය තිබෙන රටවල පවා අපරාධ රැල්ල අඩුවෙලා ද? දඬුවම භයානක වුණාට ඉන් පුද්ගල ජීවිතයට බලපෑමක් ඇති වුණාට සමාජයට එය කොතරම් බලපෑමක් කරනවා ද යන්න අප සිතාබැලිය යුතුයි. මෙය අප රජයේ ක්‍රියාමාර්ගවලට පිටුපෑමක් නොවේ. නමුත් මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ සඳහා විකල්ප මාර්ග නැද්ද යන්න සාකච්ඡා කළ යුතුයි. ඒ ඔස්සේ ජන මතයක් ගොඩනැංවිය යුතුයි.

මරණීය දණ්ඩනය වහාම ඉවත් කළ යුතුයි
- හිටපු විනිසුරු සමන් වික්‍රමාරච්චි

මරණීය දණ්ඩනය වහාම ඉවත් විය යුතු අශිෂ්ට දඬුවම් ක්‍රමයක්. ඒක ශිෂ්ට සමාජයකට ගැලපෙන දඬුවමක් නොවේ. ලෝකයේ බොහෝ රටවල ඒ දඬුවම ඉවත් කරමින් යනවා. කලකට පෙර නීති ක්‍රමයේ තිබුණා ශාරීරික දඬුවම්. කසපහර දීම, සමහර උසාවිවලින් ඒ දඬුවම ක්‍රියාත්මක කළා. දැන් ඒ දඬුවම ලබාදෙන්නේ නැහැ. ශාරීරික දඬුවම් පනත කියලා පනතකුත් තිබෙනවා. නමුත් එය ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ වගේම දඬුවම් දැන් තිබෙන්නේ. ගෝත්‍රික සමාජ තිබෙන රටවල්වල පමණයි. ලෝකයේ මරණීය දණ්ඩනය නැති ඉතා දියුණු සාමකාමී රටවල් තිබෙනවා. උදාහරණ ලෙස නෝර්වේ, ස්වීඩනය ගත හැකියි. නෝර්වේ වල උන්මත්තකයෙක් පසුගියදා වෙඩි තබා මිනිසුන් ඝාතනය කළා. නමුත් ඔහුටවත් මරණීය දණ්ඩනය ලබාදුන්නේ නැහැ. ඒ වගේම ඔහුගේ නමත් රටට හෙළිදරව් කළේ නැහැ.

මේක නොගැලපෙන ම්ලේච්ඡ දඬුවම් ක්‍රමයක්. දඬුවම්වලින් අපරාධ අඩු කිරීමට හිතීම මුලාවක්. ඇත්ත හේතුව වෙනම දෙයක්නේ.

දඬුවමක් ලෙස කෙනකු ඝාතනය කිරීම වරදක් 
- ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන්

(කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ වැඩබලන ජනමාධ්‍ය අංශාධිපති)

මේ වනවිට දේශපාලන කණ්ඩායම් සහ මහජනතාව දෙපාර්ශවයකට බෙදෙමින් අපට දක්නට ලැබෙනවා. ඒ බෙදීම ජනතාවගේ බෙදීමක් බවට ද පත්වෙමින් පවතිනවා. සමස්ත සමාජ ක්‍රියාවලිය දෙස බලනවිට මරණ දඬුවම කියන කාරණය අනුමත කළ නොහැකි දෙයක්. සාදාචාරාත්මක ලෝකයකට එය ගැලපෙන්නේ නැහැ. කුමන වරදක් කළත් කෙනකු ඝාතනය කිරීම අපරාධ විද්‍යාව තුළින් සඳහන් වන්නේ නැහැ. එයට හේතුව අපරාධකරුවා කියන නිර්මාණය ගොඩනැගෙන්නේ සමස්ත සමාජ ක්‍රියාවලිය තුළින් සමස්ත සමාජ ක්‍රියාවලියේ පවතින සමාජ, ආර්ථික ගැටලු අවිධිමත් ලෙස ප්‍රබලවීමේ ක්‍රියාවලිය තුළ කෙනකු වරදට පෙළඹීමේ ශක්‍යතාව පවතිනවා. ඒ තුළින් පෙන්නේ වැරදිකාරයා යනු සමාජ ක්‍රියාවලියේම ප්‍රතිඵලයක් බවයි.

ඒ අනුව සිරකරුවා යනු සිරකරුවෙක්ද නොවේ. වැරදිකරුවා යනු වැරදිකරුවෙක් ද නොවේ. ඔහු වැරදි කිරීමට පාදක වන ආර්ථික හා දේශපාලන වාතාවරණය තමයි වෙනස් කළ යුතු වන්නේ.

අනෙක් කරුණ තමයි කෙනෙකුට මරණ දඬුවම දෙන්නේ නම් ලෝකයේ පවත්නා නීතිය නිවැරදි අන්දමින් ක්‍රියාත්මක විය යුතුයි. අපේ රටේ නීතිය පිළිබඳවත් විවිධ ගැටලු නිර්මාණය වෙලා. ප්‍රශ්නය නිවැරදිව දැකීමටත් නොහැකියි. ඒ නිසා නිවැරදි පුද්ගලයකු වැරදිකරුවකු වීමටත් පුළුවන්. ඒ නිසා එයද ප්‍රතිසංස්කරණයට ලක්විය යුතුයි.

අනාගත ශ්‍රී ලාංකික සමාජය තුළ අපරාධකරුවන් තවත් වැඩි වේවී. බටහිර බලපෑම්වලින් දේශීයයන් ගොදුරැ බවට පත්වෙනවා. මත්ද්‍රව්‍ය නිෂ්පාදනය වන්නේ අපේ රටේ නොවේ. ඒවා ගොදුරු කරගන්නේ අපේ ජනතාව. ඒවා රැගෙන එන්නෙත් මත්ද්‍රව්‍ය පානය කරන අය නොවේ. අද සිරගෙවල්වල ඉඩ ප්‍රමාණයට වඩා සිරකරුවන් වැඩිවෙලා. මරණ දණ්ඩනය හිමිවන සිරකරුවන්ගේ අඩුවීමකුත් දකින්න නැහැ. ශ්‍රී ලාංකික මිනිසුන් ඒ තත්ත්වයට ආවේ ඇයි? අන්න හේතුවයි හඳුනාගත යුත්තේ.

► කුසුම්සිරි විජයවර්ධන

 

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00