2019 ජුලි 06 වන සෙනසුරාදා

යකුන් දෙවියන් කරන දෙවියන් යකුන් කරන යාතුකර්ම

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:31 42

අප කෙතරම් නර්තනයට හුරු ජාතියක් වුවද සුද්දා හඳුන්වා දුන් බාල් නැටීම අපට මහ අමුත්තක් විය. අපේ පාරම්පරික නැටුම්වලදී බොහෝවිට ස්ත්‍රිය සහභාගි කර නොගත්තත් සුරඹා වල්ලිය වැනි නැටුම්වලදී පෙනෙන්නේ එය දැඩි රීතියක්ව නොතිබූ බවයි. ඇතැම් කාන්තාවන් පාරම්පරික නැටුම්වල වෙස් බැන්ද අවස්ථා තිබේ. සුද්දාගේ පාරම්පරික බාල් නැටීම පමණක් නොව රොක් ඇන්ඩ් රෝල් සංගීතයට නැටීමත් අපට බොහෝ කල් යනතුරැ හුරැ වූයේ නැත. එහෙත් පෘතුගීසිකාරයා ගෙන ආ බයිලා නැටීම තුළ නම් අපට ඒ හැටි අමුත්තක් පෙනුණේ නැත. බයිලා සංගීතයද විරිඳුවත් සමඟ ගම් මට්ටමේත් නාගරිකවත් අපේ බයිලාවක් වී යම් තරමකින් වර්ධනය වූවේය.

බයිලා නැටීම හුරුපුරුදු වූ පසුද ඉහළ පැලැන්තියේ බාල් නැටීම, බයිලා ගායකයන් අතින් විවේචනය වූයේ මෙසේය.

නෝනව ගන්නවාලු කරටම
අරගෙන දානවාලු බිමටම
නෝනට හොඳටම හති
මහත්තය හිටගෙන බුදි
මොකද්ද මේකෙ තේරුම?

දැනට දශක තුන හතරකට පෙර කාලයේ මෙරට නාගරික/ අධි නාගරික සාදයක කාන්තාවන් නටනු දක්නට ලැබුණේ කලාතුරකිනි. එහෙත් රූපවාහිනී චැනලවල නර්තන තරග පැවැත්වූ පසු කාන්තාවන්ගේ කුලෑටි ගතිය ඉවත් වී ඇති බව පෙනේ. මෙරට නාගරික, අධි නාගරික ඕනෑම පෙදෙසක පවතින සාදයක ඉස්සර මෙන් පැකිලීමකින් තොරව කාන්තාවන් දැන් නටනු පෙනේ. ඉස්සර නැටුම් බිමට කාන්තාවන් බලෙන් ඇදගැනීම බොහෝවිට පෙනෙන්නට තිබුණි. දැන් සාදවලදී නැටුමේ සතුට ලබන්නට කාන්තාවන් පසුබානු පෙනෙන්නේ කලාතුරකිනි.

අපේ පාරම්පරික නර්තන අංග දැන් බොහෝවිට දක්නට ලැබෙන්නේ පෙරහරකදී හෝ ප්‍රසංගයකදීය. මනාල යුවළ පිළිගන්නට පමණක් නොව දේශපාලකයන්, ප්‍රභූන් පිළිගන්නට පවා ඇතැම්විට මෙම පාරම්පරික නැටුම් නටනු පෙනේ.

නවසිය හතළිස් ගණන්වලදී ප්‍රභූන් පිළිගන්නට සැකසූ පිළිගැනීමේ ගීතයක් සමඟ ලී කෙළි නර්තනයක් පැවැත්වීම පිළිබඳ යාං හෑල්ලක් මෙරට නාට්‍ය ශිල්පීන් අතර ප්‍රචලිතව තිබිණි. අමාත්‍ය ධූරය හෙබවූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර සහ වෙනත් ප්‍රභූන් පිළිගැනීම සඳහා එම පිළිගැනීමේ ගීතය නිර්මාණය කොට තිබුණේලු. එම ගායනය කරන අතර නැටුම සිදුවූයේ උත්සවයට පැමිණි සෙනග මැද්දේය. පිළිගත යුතු සියලු ප්‍රභූන්ගේ නම් ගීතයේ කියැවිණි.

ඇල්මැන්ඩෝ රොබින්සන් ජයසුන්දර
සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර

මේ පද පේළි දෙක කියැවුණේ ලී කෙළි නැටුමේ රිද්මයටයි. උත්සවයට ලොකු සෙනගක් පැමිණ සිටි නිසා ලී කෙළි නැටුම් කණ්ඩායමට නැටුමෙන්ම ඉදිරියට යන්නට බැරි විය. එම නිසා ගීතයත් නැටුමත් දෙකම ප්‍රතිවාදනය වූ හැටි අපේ ඇතැම් රංග ශිල්පීහු කර පෙන්වති. ගීතය ප්‍රතිවාදනය වූයේ මෙසේය.

සී.ඩබ්, සී.ඩබ්, සී.ඩබ්, 

පාරේ අවහිරය මඟහැරුණු විට ප්‍රතිවාදනය ඉවත් වී නැවත නැටුම දිගටම නැටුණේය.

ලිව් කන්නංගර, ඇන්මැන්ඩෝ, රොබින්සන්, ජයසුන්දර

අපේ පාරම්පරික නැටුම් දැන් ප්‍රසංගවලට, පෙරහරවලට සීමා වී තිබුණත් මේ හැම නැටුමක්ම පාරම්පරික යාතු කර්මයක එන නැටුමකි. උදාහරණයකට සියලුම උඩරට නර්තන අංග පාහේ කොහොඹා කංකාරියේ එන ඒවාය. කොහොඹා කංකාරියේ නැත්තේ උඩරට නැටුම්වලින් ඉතා ස්වල්පයකි.

උඩරට නැටුම කාලයෙන් කාලයට නොනැසී ආවේ කොහොඹා කංකාරිය නම් යාතුකර්මය නිසාය. අදට ශේෂ වී ඇති පහතරට නැටුම් සියල්ලම ගම්මඩු, දෙවොල්මඩු, දහඅට සන්නිය, රටයකුම (රිද්දි යාගය) ආදිය නිසා නොනැසී ආ ඒවාය. කෝළම් මඩුවද යාතු කර්මයකි. “කෝළං කරන්න එන්න එපා” යනුවෙන් අද දවසේ කෙනකුට බැණ වැදුණද කෝළං කිරීම ශාන්තිකර්මයකි.

පාරම්පරික යාතුකර්ම පැවැත්වූයේ ගැමියන් අදහන යකුන්, දෙවියන් පිදීම උදෙසාය. යකුන් දෙවියන් පුදනු ලැබුවේ ඔවුන්ගේ පිහිට ඉල්ලීම සඳහාය. මන්දයත්, වින කරනු ලැබුවේත්, පිළියම් කරනු ලැබුවේත් ඔවුන් විසින්ම බව ගැමියා විශ්වාස කළ නිසාය. මේ යකුන්, දෙවියන් ගැමියා ඇදහූයේ තමාගේ මූලික ආගම වූ බුදු දහමට අමතරවයි. බුදු දහමද යාතුකර්මයට ඕනෑ ආකාරයට ගැමියා සකස් කරගෙන තිබුණේය. එය බෞද්ධ දර්ශනය නොව ගැමි බුදු දහමකි. උඩරට කොහොඹා කංකාරිය පැවැත්වූයේ කොහොඹා යකා හෙවත් කොහොඹා දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලබාගනු සඳහාය. (දෙවියන්, යකා නමින් හැඳින්වීම මෙම යාතුකර්මවල සාමාන්‍ය දෙයකි.) ඇතැම්විට දෙවියන් කීවේ යකාටය. යකා කීවේ දෙවියන්ටමය. පඬුවස් දෙව්රජ සිහිනෙන් දිවියකු දැකීම නිසා එම දිවි දෝෂය දුරුකර ගැනීමට මුලින්ම කොහොඹා කංකාරිය කළ බව කියැවේ.

සිරිලකට පැමිණ පඬුවස් දෙව් රජුට වන් දිවිදොස් දැකලා මලරජු සිරිලකට ගෙන එන්නට මායමක් කරවයි ඊශ්වරයා කැඳවා... (රාජාවලිය)

රජුගේ එම දිවි දෝෂය දුරු කරවන්නට මලය රජු සිරිලකට කැඳවන්නට සිදු වූයේය. උඩරට නැටුමට යොදාගන්නා වෙස් තට්ටුව නිර්මාණය වූයේ මලය රජුගේ රජඇඳුම ආශ්‍රයෙන් බව කියැවේ.

පසුකාලීනව මෙරට උඩරට ප්‍රදේශවල කොහොඹා කංකාරිය කළේ සශ්‍රීකත්වය උදෙසාය. ඉඩෝර කාලවලදී වැඩි පල ලබාගැනීම සඳහාත් හරකුන්ට වැළඳෙන කුරලෙඩ වසංගතයට පිළියමක් උදෙසාත් කොහොඹා කංකාරිය සිදුකරනු ලැබීමය. කංකාරියේ මහා යාතිකාවේ මෙසේ දැක්වේ.

අට අනුවක් රෝග, නව අනුවක් ව්‍යාධි අන්තරාවලින් දුරුකර වදාරා, හරකා බාන - ගස් - මල් - ගොවිපළ - දඩපොළ - සියපොළ මෙකී සියලු දේ ඔබවහන්සේලාගේ අනුභාවයෙන් දවසින් දවස උල්පතේ වතුර උණන හා සමාන කිරි උතුරන්නා හා සමාන, මනා සාගරයේ ජලය හා සමාන දියුණු වන්නට බලවරක් දෙවා වදාරන්නට....

මෙකී යාගය කරන ආකාරය කවි රාශියකින් දැක්වේ. එහි එන ඌරා කැපීමේ යාගයට අවශ්‍ය කළමනා දැක්වෙන කවි අතර පහත කවිය ද වේ.

එළකිරි මීකිරි ගජකිරි         ගනුවා
වැල්කිරි පොල්කිරි මදුකිරි    ගනුවා
ගස්කිරි සමඟින් එක්කර    ගනුවා
අටොරාසියක් සහ නිඳු        ගනුවා

අද අප දන්නේ, බිංතැන්න, දඹාන වැනි වැදිගම් කිහිපයක් වුවද මෙහි එන ඌරා කැපීමේ යාගයට කුල දහඅටක වැද්දන් කැඳවේ. වැදිගම් දහඅටක් ගැන එහි කියැවේ. උදාහරණයක් මෙසේය.

අතලාගල කොතලාගල, කොක්කාගල වැද්දනුත්
සඳකිරිගල මුවකිරිගල මුල්කිරිගල        වැද්දනුත්

(මේ ආකාරයට කවි 4කින් වැදිගම්වල ඉන්නා වැද්දන් කැඳවීම කොහොඹා කංකාරියේදී සිදුකරනු ලබයි.)

ගම්මඩු නැතහොත් දෙවොල් මඩු වැඩිපුරම පැවැත්වූයේ පහතරට ප්‍රදේශවලයි. එක ගමක පමණක් නොව, ඇතැම්විට ගම් රාශියකට සෙත් පතා ගම්මඩු නැටීම සිදුවෙයි. දෙවියන් පිදීමට, වැස්සෙන් හා නියඟයෙන් ගොවිතැනට හානි සිදුවන විට ඒවා දුරුකරන ලෙස දෙවියන්ට කන්නලව් කිරීමද ගම්මඩු පැවැත්වීමේ අරමුණ විය. සේරමන් නැමති රජ කෙනකුගේ හිසෙහි හටගත් ගිනිදැල් නිවීමට මුලින්ම ගම්මඩුව නැටවූ බව එහි එන කවකින් කියැවේ. හිසෙහි හටගත් ගින්නක් යනු ඔළුවේ කැක්කුමකි. අද දවසේ පැනඩෝල් පෙත්තකින් හිසේරුදාව සුවකර ගත්තද එකල රජවරු පවා හිසේරුදාව නැතිකර ගන්නට මහා යාගයක් කළ බව පෙනේ.

එකල් පෙර දවසා 
සේරමානන් රජගේ සිරසා
ගිනිජල් ගති රොසා
එදා ගම්මඩු ගන්න එනිසා

කැස්බෑව ප්‍රදේශයේ තවමත් වාර්ෂිකව පවත්වන ගම්මඩු උත්සව පවතී. ගම්මඩුවේ එන පත්තිනි නැටුම, තෙල්මේ නැටුම, වාහල නැටුම ආදිය අද පවා කැස්බෑව ප්‍රදේශයේ පාරම්පරිකව වාසය කළ උදවිය හොඳින් හඳුනති.

පබළු අල්ලා අලංකාර කරන ලද හැට්ටවලින් සමන්විත රංග වස්ත්‍රවලින් සැරසී නටන තෙල්මේ නැටුම ගම්මඩුවේ නටන්නේ පාන්දර තුන පමණ වන විටය. ප්‍රේක්ෂකයන් බෙර පදයට නිරායාසයෙන්ම අනුගත කරගන්නා හැකියාවක් පහතරට බෙර පදයට තිබේ. අසා ඉන්නා කාට වුවද පහතරට බෙරය රිද්මයට වාදනය කරනා විට නටන්නට සිත් දේ.

උදේ හයට පමණ ගම්මඩුවේ නටන වාහල නැටුමට යොදාගන්නේ නැටුම් කණ්ඩායමේ ඉන්නා ජව සම්පන්නම තරුණයාය. දුම්මල අවුළුවමින්, ආවේසයෙන් හූ හඬ නගමින් නටන වාහල නැටුම හමාර වන්නේ නැට්ටුවා ගම හරහා ආවේසයෙන් දිවගොස් නැවත රඟ මඬල සමීපයට පැමිණීමෙනි. ඒ ආ විට ඔහුව නැටුමේ ආවේසයෙන් මුදවන්නට ගුරුන්නාන්සේ ඇතුළු හතර පස් දෙනකු උදව් කළ යුතු වේ.

ගම් මඩුවේ රැය එළිකළ පසු පසුදා උදයේ පැවැත්වෙන අඹ විදමනා රාම මැරිල්ලා මරා ඉපැද්දවීම, දෙවොල් ගොඩබැසීම දෙබස් සහිත නාට්‍යමය ගුණයෙන් පොහොසත් ජවනිකාය.

කෝළම් නැටුම්වල අතීත කතාවද රසවත්ය. අතීතයේ විසූ මහා සම්මත නම් රජුගේ බිසවට දොළදුකක් උපදී. ඈට ඕනෑ වන්නේ වෙස්මුහුණ ලාගත් නැට්ටුවන්ගේ රංගනයක් දැකීමටය. රජු විවිධ ප්‍රදේශවලින් නැට්ටුවන් ගෙනත් රඟ දැක්වුවද දොළදුක සංසිඳුණේ නැත. ඉන්ද්‍ර දෙවියන්ගේ හිත උණුවී විශ්වකර්මයා ලවා සඳුන් ලීයෙන් වෙස් මුහුණකුත්, කෝළම් නටන සැටි දැක්වෙන පොතකුත් දුන් පසු වැඩේ සාර්ථක වූයේලු.

එළිවෙනතුරු නටන කෝළම් මඩුවේ මුලින් රඟදැක්වෙන්නේ හාස්‍යමය ජවනිකාය. අණබෙර කෝළම, හේවා කෝළම, පොලිස් කෝළම, විදානේ කෝළම, අප්පුවරු, ජසයා හා ලෙංචිනා ආදිය එම හාස්‍ය රංගනවලට අයත් වේ. ගම් මට්ටමේ උපහාසයට ලක්විය යුතු චරිත මේවායේදී කෝළම්කරුවාගෙන් ලේසියෙන් බේරෙන්නේ නැත.

රජ සහ බිසව කෝළම් මඩුවට අවතීර්ණ වීම සිදුවීමෙන් පසු මනමේ කතාව, සඳකිඳුරු කතාව, ගෝඨයිම්බර කතාව ආදී දීර්ඝ හාස්‍යමය නොවන ජවනිකා රඟ දැක්වේ.

අපේ පාරම්පරික නැටුම් ගැන කියන්නට ගියහොත් පොත් සිය දහස් ගණනකින් පවා ඒවා කියා නිමකළ නොහැක්කේමය.

අප වර්තමානයේ නටන ජෝගි නැටිල්ලද එසේය.

I සමන් පුෂ්ප ලියනගේ    
 

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30