2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

මැලේරියාවට බෙහෙත හැදූ සුද්දාගෙ ටොනික්

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:31 64

ළඟ එන්නේ අවුරුදු කාලයයි. සියලු ආහාර පුරුදු පසෙක තබා යහමින් තෙල් කෑම, පැණි කෑම කන්නට සිදුවන, කටට බ්‍රේක් නැති කාලයයි. එසේම ළඟ එන්නේ දීර්ඝ පැවිල්ලකින් අනතුරුව එළඹෙන වැසි කාලයයි. මැසි - මදුරු - උවදුරු පැතිරෙන්නට මාන බලන කාලයයි.

කට පරිස්සම් කර ගැනීමෙන් ඇතැම් බෝනොවන රෝග පාලනය කර ගැනීමට උපදෙස් දැන් අපට විවිධ මාධ්‍ය මගින් නිරතුරුව අසන්නට දකින්නට ලැබෙන්නේ එම රෝග නාගරීකරණයත් සමඟ වර්ධන වී ඇති නිසා බව පෙනේ. නාගරීකරණයත් සමඟ අපේ ජීවන රටාව ද වෙනස් වී ඒ තුළින් අපේ ආහාර පුරුදු ද වෙනස් වී තිබේ. මැසි මදුරු උවදුරුවලින් පැතිරුණු බෝවෙන රෝග දෙකක් අපි පාලනය කරගෙන ඇත්තෙමු. අතීතයේ පැතිරුණු මැලේරියාව දැන් පාලනය කරගෙන ඇති බව වාර්තා වී ඇත. බරවා රෝගය මර්දනය කරගත් දෙවැනි දකුණු හා අග්නිදිග ආසියාතික රට ශ්‍රී ලංකාව යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ එම කලාපයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් නෙත්‍රහල් සිං, 2016/07/21 දින නිවේදනය කර තිබුණද, නැවත බරවා රෝගීන් පිළිබඳ වාර්තා වී ඇතැයි මෑතකදී පුවත්පතකින් දැනගන්නට ලැබුණි. ඩෙංගු රෝගය නම් මර්දනය කරගන්නට තවම නොහැකි වී තිබේ.

කෙසේවෙතත් බෝ නොවන හා බෝවන රෝග මර්දනය කිරීමේදී රජයත් මහජනතාවත් වගකීමෙන් ක්‍රියා කළ යුතු බව දැන් පොදුවේ පිළිගන්නා මතයයි. එහෙත් ඉස්සර මැලේරියා පැතිරෙන කාලයේ එවැනි පොදු මතයක් නොතිබුණු බව පැරුණි වාර්තාවලින්  පෙනේ. කුවේණියගේ දිව කැපූ ලෙයින් මැසි මදුරුවන් ඇතිවූ බව “විජයිඳු දිවිදොස් උපත” කියයි. මැලේරියාව සඳහා තිබුණු ගිලින පෙති විශේෂයක නමද කුවේණියගේ නමට සමානය. එම පෙති විශේෂයේ නම (කුවිනැයින්) ය. දකුණු අමෙරිකාවේ පීරු ප්‍රදේශයේ වැවෙන (සින්කෝනා) ගසේ පොත්තෙන් කුවිනැයින් සාදන ලද බව කියැවේ. සින්කෝන් නම් කුළඟනගේ උණ රෝගයක් මේ ගසේ පොත්තෙන් සනීප වූ නිසා එම ගසට ඇගේ නම තැබූ බව කියැවේ.

කුවිනැයින් ගැන තවත් කතාවක් මා අසා ඇත. සුද්දන්ගේ කාලයේ රාත්‍රියේ එළිමහනේ ටොනික් පානය කළ සුද්දන්ට මැලේරියා සෑදුණේ නැතිලු. ටොනික්වල ඇති රසායනයම ඉන්පසු කුවිනැයින්වලට යෙදූ බවට කතාවක් පවතී.
1935 දී මැලේරියා පැතිරෙද්දී රජයේ වගකිව යුතු නායකයන් ඊට ලබා දී ඇත්තේ බුද්ධිමය ප්‍රතිචාරයක් නොවේ. මැලේරියාව රට පුරා පැතිරෙද්දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නායකයකු (ඔහුගේ නම මෙහි සඳහන් කිරීමට අකැමැතිය) ඒ ගැන කියා ඇත්තේ මෙසේය.

“The people are suffering from their karma. A government cannot aulter one’s karma” (Revolt in the Temple – Sinha publications පිටුව 133) “ජනතාව උන්ගේ කරුමය නිසා දුක් විඳිති. රජයට ඒ අයගේ කර්මය වෙනස් කළ නොහැකිය.”

මේ කාලයේ මෙවැන්නක් කීවා නම් උන්දෑට ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් පලු අරින සැටි හිතන්නටත් ආසය.
ශ්‍රීමත් ඩී.බී. ජයතිලක පරණ පුස්කොළ පොතක අත්බෙහෙතක් බොන්නට ජනතාවට උපදෙස් දී තිබේ.

පාරද භාග 2යි
කටු කරෝසනා භාග 4යි
සුදු ලූනු භාග 2යි
රිදී තුත්තන් භාග 4යි

මේ සියල්ල අත්තන කොළ ඉස්මෙන් අඹරා මුංඇට පමණට ගුලිකර පවනේ වියළා ගත යුතුය. අනුපාත මදුරුතලා කොළ යුෂ හා මී පැණියි. කරුමය නිසා මැලේරියා හැදෙනවා කියනවාට වඩා වට්ටෝරුවක් බොන්නට යෝජනා කිරීම එක් අතෙකින් ප්‍රගතිශීලීය. එහෙත් මේ කතා දෙකෙන්ම පෙනෙන්නේ ජනතාව කෙරෙහි ඇති වගකීමේ තරමයි.

ලංකා සමසමාජ පක්ෂය සූරිය මල් ව්‍යාපාරය යටතේ මැලේරියා සම්බන්ධයෙන් යථාර්ථවාදී කටයුතු සිදුකර තිබිණි. ගිලනුන්ට බෙහෙත් දී තිබිණි. ලංකා සමසමාජ පක්ෂය රජයේ බලධාරීන්ට සාපේක්ෂව වගකීමෙන් කටයුතු කර තිබුණු නිසා එය එකල ජනප්‍රිය වීම අරැමයක් නොවේ.

පසු කාලයේ බලයට ආ රජයන් දුර්මත ඉවතලා ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව බෝවන රෝග රාශියක් මර්දනය කිරීමට පියවර ගැනීම සතුටට කරුණකි.

මැලේරියා ගැන කියනා විට අපට ඕනෑ ලෙස වෙනස් කරගත් ක්‍රිස්ටෝපර් පෝල්ගේ ගීයක් නිතැතින්ම මතකයට නැගේ.

මගේ පැලේ ඇඳ පුටු නැත සැපට හිඳින්න
නැත සිනිඳු සේල ගතට අඳින්න
ඔය ඇනෝපිලස් මදුරුවගෙන් බෑ බේරෙන්න 
ඌ එන්නෙ මගේ අතට විදින්න

ඇඳ පුටු කෙසේවෙතත් ඇඳට උඩින් දැලක් නැති පැලක් හෝ දැන් සොයාගන්නට නොහැකිය. මන්දයත් තවම අපි මදුරු කරදරෙන් බේරී නැති නිසාය. මැලේරියා හෝ බරවා මදුරුවා කරදර කරන කාලේවත් නැති තරමට අපට දැන් ආරක්ෂණ විධි භාවිත කරගන්නට සිදුව තිබේ. අසූ ගණන්වල පවා අපට මෙතරම් දැල්, කොයිල් ආදිය භාවිත කරන්නට සිදු නොවූයේය. ඩෙංගු උවදුර ඒ තරමට භයානකය. නාගරීකරණයත් සමඟ අප නොසැලකිල්ලෙන් පොල්කටු, ප්ලාස්ටික් ඇතුළු කසළ ගොඩගසා ගැනීමේ විපාක දැන් අපට විඳින්නට සිදුව තිබේ.

බෝනොවන රෝග ගැන ඉස්සර පුවත්පතක ලිපියක් කියවන්නට ලැබුණේ කලාතුරකිනි. හැත්තෑ තුනේ විද්‍යා සඟරාවක හෘදයාබාධ වළක්වාගැනීම ගැන දීර්ඝ ලිපියක් තිබුණේය. දැන් මුද්‍රිත මාධ්‍යවලත්, සමාජ මාධ්‍යවලත්, ඉලෙක්ට්‍රොනික මාධ්‍යවලත් බෝනොවන රෝග සම්බන්ධයෙන් පළවන මත බොහෝ සෙයින් ඇත. එකිනෙකට පරස්පර මත පවා පළවෙන නිසා වගකීමක් ඇතිව පළකරන මත තෝරාබේරා ගැනීමට අපට සිදුවේ. පිළිකා රෝග නිවාරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවෙන මත බොහෝ සෙයින් ඇත. මඤ්ඤොක්කා පිළිකා රෝග නිවාරණය කරන බවට මතයක් පසුගිය කාලයේ මාධ්‍යයන්හි පළවීමෙන් අනතුරැව වෙළෙඳපොළේ මඤ්ඤොක්කා මිල දෙගුණ තෙගුණ වූයේය. එහෙත් පොදුවේ පිළිගත හැකි වගකීමෙන් පළවෙන වෛද්‍ය මතයක් මේ දක්වා ඒ සම්බන්ධයෙන් දක්නට නොලැබිණි.

පිළිකා කෙරෙහි ඖෂධීය ගුණයක් කටුආතාවල ඇති බව කියවෙන වීඩියෝවක් මෑතක සිට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබේ. දැන් කොළඹ නගරාසන්න ප්‍රදේශවල කටුආතා කිලෝවක් රුපියල් 300ට ආසන්නය.

සමහර පෞද්ගලික රෝහල්වල ඩෙංගු රෝගීන් හට ගස්ලබු කොළ යුෂ පානය ලබාදෙන්නට අවසර දෙන බවද අසා ඇත්තෙමි.

දැන් සමාජ මාධ්‍යවල පිළිකා රෝග සුව කරන වෙදුන් ගැන, හෘදයාබාධ සුව කරන වෙදුන් ගැන, ඇස් රෝග සුවකරන වෙදුන් ගැන වගකීමෙන් තොර ප්‍රචාර බහුලව සංසරණය වේ. මැලේරියා මර්දනයට කසාය බොන්නට කළ යෝජනාවට වැඩි වගකීමක් මේවායේ ඇතැයි නොපෙනේ. බොහෝ අය මේවා බෙදාහරින්නට හවුල් වන්නේ දේශීය වෙදකම ප්‍රවර්ධනය කිරීමේ චේතනාවෙන් රෝග පිළිබඳ අවබෝධයකින් තොරව බව පෙනී යයි. රහස් වෙදකම් ගැන ද සමාජ මාධ්‍යවල මෙකල ප්‍රචාරය වෙයි. සාර්ථක වෙදකම් රහසේ පැවතිය හැක්කේ කෙසේද? යම් ප්‍රතිකර්මයකින් රෝගීන් සුවවෙන බව රහසේ නොව එළිපිට පෙන්විය යුතුය.

මේ සියල්ල අතරේ විචාර බුද්ධියෙන් තෝරාබේරා ගත හැකි වෛද්‍ය මත තිබේ. අවුරුදු කාලයේ දියවැඩියාවෙන්, හෘදයාබාධවලින් ඈත්වන්නට එම මත තෝරාබේරාගෙන කට පරිස්සම් කර ගැනීම ඉතා වැදගත්ය.

ඇතැම්විට ඖෂධයක්යැයි අප සිතාගෙන පමණට වැඩියෙන් අප ආහාරයට ගන්නා දේ අපට අහිතකර විය හැකිය. මන්දයත් ඕනෑම දෙයක්, ඕනෑවට වඩා, ඕනෑම කෙනකුට ඕනෑ නැති නිසාය.

ව්‍යායාමවල යෙදෙමින් තමන්ගේ ශරීරය මනා ලෙස තබාගන්නට තරුණ පරපුර තුළ ඇති වත්මන් උද්‍යෝගය පැසසිය යුත්තකි. අපේ කාලයේ ව්‍යායාමවල යෙදෙන්නට මේ කාලයේ තරම් උපකරණ නොතිබීම අපේ අවාසනාවය. දැන් පාසල් යන කුඩා දරුවෝ පවා (සික්ස් පැක්) ගැන කතා කරති. අපේ කාලයේ මස්පිඬු ඇති යෝධයන් (නීරෝ, වීරෝ, යුනිකෝ වැනි) චිත්‍ර කතාවල දැක තිබුණත් ඔවුන්ගේ මස්පිඬු හඳුන්වන නම් අප දැන සිටියේ නැත. ඒ කාලයේ තරැණයන් බර ඉසිලීමේ ව්‍යායාම කළේ තමන්ම සාදාගත් කොන්ක්‍රීට් පෙති අලවංගුවල අටවාගෙනය.

බෝනොවන රෝග රාශියකට පිළියම් නිරන්තර ව්‍යායාම මගින් සිදුවෙන බව පොදුවේ පිළිගැනේ. ඒ පිළිබඳ මතභේද නැත. මතභේද ඇත්නම් ඒ තෝරාගන්නා එක් එක් ව්‍යායාමය පුද්ගලයාට යෝග්‍ය වේද යන්න පිළිබඳවය.
කෙසේවෙතත් සුනිල් පෙරේරා ගීතයෙන් දෙන අවවාදය නම් ලෙහෙසියෙන් අහක දමන්නට නොහැකිය.

තරුණ වෙන්න සමහර අය විටමින් පෙති බොති
එක්සයිස් කරල කරල සමහරුන්ට හති
ඒවා මේවා මුකුත් නොකර කොල්ල වගේ ඉන්නේ
මම තාමත් උදේ පවා කොත්තමල්ලි බොන්නේ
පනහ පැනල වුණත් මෙයා ෆිට් එකේනෙ ඉන්නේ

 සමන් පුෂ්ප ලියනගේ

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30