2019 මාර්තු 09 වන සෙනසුරාදා

අයිසින් දැමූ 2019 අයවැය

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:31 72

2019 අයවැය ගැන මෙම විග්‍රහය ඉදිරිපත් කරන්නේ මෙරට ප්‍රවීණතම ආර්ථික විද්‍යාඥයෙකි. ඔහුට අයවැය ලේඛන සම්බන්ධව බොහෝ ප්‍රායෝගික අත්දැකීම් ඇත. එමෙන්ම ඔහු ජාත්‍යන්තර මූල්‍ය ආයතන රැසක හා මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාර ගණනාවක ආර්ථික උපදේශකයෙකි. ඔහු මෙම විග්‍රහය ඉදිරිපත් කරන්නේ ප්‍රායෝගික ප්‍රවේශයක් ගනිමිනි.

මෙම අයවැය ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රතිපත්තිමය සිරවීමක සිටියදීය. රජයේ ආර්ථික ප්‍රතිපත්තියක් සැබෑ ආර්ථිකය ක්‍රියාත්මක වන ආකාරයත් අතර සිරවීම හටගත්තේ කලකට පෙරදීය. අයවැයට මූලික පසුබිම හදන රටේ කෘෂිකාර්මික ආර්ථිකය කන්නයක් සරුවූවාට දිගින් දිගටම පෙන්වූයේ පසුබෑමකි. වැවිලි ආර්ථිකයේ තත්ත්වයද එසේම විය. රටේ ජාතික ආර්ථිකයට කෘෂි අංශයේ දායකත්වය 10%ක් පමණය. ඉදිකිරීම් කර්මාන්තයද ජාතික ආර්ථිකයෙන් 10%ක් නියෝජනය කරයි. ඉදිකිරීම් අංශයේ පැවති වර්ධනයද අවම තත්ත්වයට පත්ව තිබේ. දැනට තරමක් හෝ සිදුවන්නේ වසර දෙකතුනකට පෙර ඇරඹූ මහල් නිවාස පද්ධති කිහිපයක ඉදිකිරීම්ය. එය ජාතික ආර්ථිකයට දක්වන්නේ සුළු දායකත්වයකි. පෞද්ගලික අංශය කළ සමීක්ෂණ අනුව තොග සහ සිල්ලර වෙළෙඳ අංශයේ පැවැති ඉල්ලුම අඩුවීම නිසා 30%ක පමණ අඩාලවීමක් සිදුව තිබේ. එය ජාතික ආර්ථික වර්ධනයෙන් 10%කට පමණ බලපාන තත්ත්වයකි. මෙම සටහන ලියන මට මේ ගැන පෞද්ගලික අත්දැකීමක්ද ලැබිණි. මෙරට එක්තරා සුපිරි වෙළෙඳසල් ජාලයක් හිමි ප්‍රධානම පෙළේ සමාගමක සභාපතිවරයා අයවැයෙන් පසු අපගෙන් ප්‍රශ්න කළේ රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම නිසා අපේ වෙළෙඳසල් ජාලයේ සිල්ලර වෙළෙඳාම ඉහළ යාවිද යන ප්‍රශ්නයයි. තත්ත්වයේ බරපතළකම එම ප්‍රශ්නයෙන්ම ගම්‍යමාන වෙයි.

වෙළෙඳ ව්‍යාපාරවල පසුබෑම බැංකු - මූල්‍යකරණ හා කල්බදු ව්‍යාපාරවල දැඩි පසුබෑමකටද හේතුවී ඇත. එසේම අයවැය ගෙන එන කාලයේ තවත් අඩාල වෙමින් පැවැති ක්ෂේත්‍රයක් වන්නේ වාහන ආනයනය හා විකිණීමේ අංශයයි. වාහන අමතර කොටස් අලෙවි ව්‍යාපාරයද සුගතියක් පෙන්වන්නේ නැත. අපේ ගණන් බැලීම වාහන අලෙවිකරණ හා මූල්‍ය අංශයේ සමස්ත පසුබෑම 10% ඉක්මවන බවය. අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප රු. 2500/- ඉහළ දැම්මා කියා මෙම ක්ෂේත්‍ර පිබිදෙන්නේ නැත. තොග සහ සිල්ලර වෙළෙඳ අංශයට බලපෑම් සහගත පඩි වැඩවීම වූයේ මේ රජය මුලින් සිදුකළ රු.10,000 වැටුප් වර්ධනයයි. එහෙත් මෙවර වැටුප් වැඩිවන්නේ ජූලි මස සිටයි. ඒ වර්ධනය සිදුවුවද ඊට සාපේක්ෂව අයවැයෙන් සිදුකර ඇති බදුගාස්තු හා වියදම් වර්ධනය නිසා වැඩිවන වැටුප ඉබේම දියවන තත්ත්වයට පත්වෙයි. එසේ වුවත් සාධාරණව බැලුවොත් මේ තත්ත්වය තුළ දැවැන්ත වැටුප් වර්ධකයක් ලබාදීමද ඉතාමත් අසීරුය. ඒ සඳහා ජාතික ආර්ථිකය සූදානම් නැත. අයවැයෙන් සිදුකළ අරක්කු, සිගරැට්, බීඩි මිල වැඩිකිරීම ගැන පොදු සමාජ විරෝධයක් නැත. ඒවා නරක භාවිතයන්ය. නමුත් ඒවාට ඇබ්බැහි වී සිටින බහුතර සමාජයට එය වියදමකි. දිනකට බීඩි තුනක් බොන මිනිහාට රු.1.50ක අමතර වැයක් අයවැයෙන් වැටුණි. එය හරිද වැරදිද යන්න ගැන තර්ක කළ යුතු නැත. නමුත් යථාර්ථය එයයි.

මේ අයවැයේ තවත් ලක්ෂණයක් වන්නේ බදු ව්‍යුහය ප්‍රමාණවත් ලෙස පුළුල් නොවී තිබියදී බදු ප්‍රතිශත වැඩිකර බදු ආදායම ඉහළ ගිය බව ප්‍රකාශ කිරීමය. එය සිද්ධාන්තමය වරදකි. අයවැයේ ආදායම් යෝජනා සාර්ථක වන්නට තිබෙන ඉඩ ඉතා අඩුවන්නේ ආර්ථිකය කොර ගසන නිසාය. දළ දේශීය නිෂ්පාදනයට (G.D.P.) හරි දායකත්වය නොලැබෙන බදු යෝජනාවලින් රටටවත් ජනතාවටවත් දිගුකාලීන ප්‍රයෝජනයක් නැත. මෙයට වඩා ප්‍රයෝජනවත් යෝජනාවක්ද මෙහිදී ඉදිරිපත් කරන්නට පිළිවන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අප රටට නිර්දේශ කළේ මේ වසරේ නව ආදායම් ලෙස රුපියල් බිලියන 115ක් උපයා ගතයුතු බවයි. මුදල් අමාත්‍යවරයා ඒ සඳහා සිගරැට් බීඩි අරක්කුවල සිට ආනයනික භාණ්ඩ, වාහන ආදී ක්ෂේත්‍ර රැසකට බදු පැනවීමෙන් ආර්ථිකය මෙන්ම බදු ව්‍යුහයද අවුල් වී ගියේය.

ජනතාවගෙන් බදුගත යුත්තේ ඔවුනට අවම කරදරයක් වන ආකාරයකටය. එසේ නම් ඔය කියන බිලියන 115 උපයා ගන්නට රජය කළ යුතු වූ හොඳම දෙය දැනට 15% සීමාවේ තිබෙන වැට් බද්ද 16% දක්වා 1% ඉහළ නැංවීම පමණි. එයින් ජනතාවට කිසිදු දැනීමකින් තොරව රුපියල් බිලියන 100කට වැඩි වාර්ෂික බදු ආදායමක් ඉබේම අයකරගත හැකිව තිබිණි. එසේ වූවානම් බදු ව්‍යුහය අවුල් නොවන අතර අනෙක් ව්‍යාපාර ක්ෂේත්‍රවලට පහර වදින්නේද නැත.

මෙවර අයවැයෙන් අමතක කර ඇති ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවකි. රටේ ආර්ථිකයේ ප්‍රධානම ආදායම් උත්පාදන අංශයක් වන තේ කර්මාන්තයට අයවැයෙන් ලබාදුන් සහනය කුමක්ද? රටේ බහුතරයක් වන කාන්තාවන්ගේ අභිවෘද්ධියට ප්‍රමාණවත් යෝජනා ඉදිරිපත් කර තිබේද එහෙත් අයවැයේ මාර්කට් කළහැකි සැරසිලි යෝජනා ගණනාවක් ඇත. අලුතින් විවාහයට පත්වන යුවළකට රුපියල් කෝටිය බැගින් දෙන සිහින නිවාස වැඩසටහන හොඳ දෙයකි. එහෙත් බැංකු ක්‍රමය අඩාල වෙමින් තිබියදී මෙය කරන්නේ කෙසේද? ඊළඟට තෝරාගත් දරුවන්ට විභාග ප්‍රතිඵල මත පිටරට උසස් සරසවිවලට යන්නට පාර කැපීම හොඳය. එහෙත් එය ඔය තරම් සුළු කොටසකට නොව පුළුල් ප්‍රතිපත්ති වෙනසකින් කැමති කෙනෙකුට ලබාගත හැකි ලෙස දියුණු කළ හැකිනම් අගනේය. වැසිකිළි ආධාරයද එබඳුම යෝජනාවකි. එහි වරදක් නැත. එහෙත් එ.ජා.ප.ය කියන නවෝත්පාදන ආර්ථිකයකට මෙවැනි අංග ප්‍රත්‍යංගවලින් ලැබෙන සහය කුමක්ද? මෙය අමාත්‍යංශයකට හොඳ යෝජනාවකි.
අගමැතිවරයා කර්මාන්තපුර ගැන කතා කරනු පෙනිණි. හම්බන්තොටින් අක්කර 5000ක්, ත්‍රි.මලයෙන් අක්කර 2000ක්, කුලියාපිටියෙන් අක්කර 1500ක් ලබාගෙන කර්මාන්තපුර හදන බව එතුමා පැවසීය. එය හොඳ සිහිනයකි. නිෂ්පාදන ආර්ථිකයට මග පෙන්වන අදහසකි. එහෙත් පසේ බුදුන්ට බණ බැරිය කීවා සේ  එජාපයට මේවා ජනගත කරගන්නට හැකි වී නැත. ඔවුනට අයවැය ජනතාව අතරට ගෙන යන්නට වැසිකිළි යෝජනා - නිවාස යෝජනා, ශිෂ්‍යත්ව කතා වැනි සැරසිලි අවශ්‍යය. රජයේ අරමුණ විකුණන්නට සැරසිලි යොදා නොගෙන මෙයට වඩා ප්‍රශස්ත පියවරකට යා හැකිව තිබිණි.

ආණ්ඩුවේ කාලය සීඝ්‍රයෙන් ගෙවීයද්දී රුවන්පුර අධිවේගී මාර්ගය, උතුරු අධිවේගය, උඩරට අධිවේගය ආදී අධිවේගී මාර්ග ගැන කියන කතා ජනතාව පිළිගනීවිද? වසර 4 ½ක් ගතවීත් මහනුවර අධිවේගී මග තනාගත නොහැකි වූ ආණ්ඩුව අලුත් අධිවේගී මාර්ග ගැන කියන දේ ජනතාව පිළිගන්නේ කෙසේද? රටේ තිබෙන ප්‍රධාන ආර්ථික ප්‍රශ්න ගණනකි. ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය අඩාල වී තිබේ. රැකියා විරහිතයන්ගේ ගොඩ වැඩිවී ඇත. මේ අය සනසන්නට සිහින නිවාස හෝ අධිවේගී මාර්ග කතාවලින් පුළුවන්ද? එලෙස බලනවිට අයවැයෙන් පිළිතුරු දී ඇත්තේ ජනතාවගේ සැබෑ ප්‍රශ්නයට නොවේ. මේ සැරසිලි යෝජනා ගැන ඇසෙන විට අපට සිහිවන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියාත්මක කළ සිල් රෙදි ව්‍යාපෘතියයි.  එයින් රටට වූ සෙත කුමක්ද?

ඒ අනුව බලන කළ රටේ මූර්ත ආර්ථිකයට අයවැයෙන් සිදුවූ දෙයක් නැත. මහබැංකු අධිපතිවරයාද පසුගියදා මේ කාරණය පදනම් කරගෙන රජයට අවවාදයක් කර තිබිණි. එහිදී උද්ධමන පාලනය ගැන තදින්ම අවධාරණය කරනු ලැබීය. උද්ධමනය සීමාව ඉක්මවා ගොස් ඇතැයි මහ බැංකුව කියයි. රටේ පොලී අනුපාතය ඉහළ ගොස් ඇතැයිද මහ බැංකුව පවසයි. ප්‍රකාශිත ලෙස උද්ධමනය අඩුනම් පොලිය මේ තරම් ඉහළ ගියේ කෙසේද යන්න මහ බැංකුව විමසයි. දුරදිග නොබලා කළ බදු ව්‍යුහයේ වෙනස්කම්, ණය පාලන උපක්‍රමවල වැරදි, ප්‍රතිපත්තිමය වශයෙන් නොගැලපෙන ආර්ථිකමය යෝජනා ආදිය මේ තත්ත්වයට හේතු වී තිබේ. ආයෝජකයන් මෙරටින් මුදල් ඉවත් කරගැනීමද මුදල් හිඟයට බලපා ඇති ප්‍රධාන කරුණකි. මෙහි සමස්ත අරුත වන්නේ ආර්ථික ව්‍යුහය තුළ අවශ්‍ය ප්‍රමාණයට මුදල් නැත යන කතාවයි. එය සමස්ත ආර්ථික පසුගාමීත්වයට බලපා තිබෙන හේතුවයි.

මෙය මහා භාණ්ඩාගාරයට තේරුම් ගොස් ඇති බවක් නොපෙනේ. මහජන මන්ත්‍රීන්ටද එය නොතේරේ. ඔවුනට ඕනෑ ජනතාවට විකිණිය හැකි යෝජනා ඇතුළත් අයවැයකි. මහබැංකු අධිපතිවරයා අයවැයට පෙර මහා භාණ්ඩාගාරයට කළ අවවාදයේ සඳහන් වූයේ ඔවුන් දැන් ගෙනයන ආර්ථික පිළිවෙත අස්ථාවර නොකරන හැටියටයි. එවන් පසුබිමක මුදල් අමාත්‍යවරයා  අසීරුවෙන් අයවැය ඉදිරිපත් කළේය. මහ බැංකු අධිපතිගේ යෝජනාව වූයේ ජාතික ආර්ථිකය සැබෑ ලෙසට නැගිටුවන්නට නම් කළ යුත්තේ රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම නොව පොලිය පහළ දැමීම බවයි. එහෙත් සැබැවින්ම අයවැයෙන් සිදුවූ දේ අපි දනිමු. එහි හොඳ නරක කතා කරන්නට යාම අවශ්‍ය නැත.

රාජ්‍ය සේවකයන් ලක්ෂ 15කට වැටුප් වැඩිකළද ලක්ෂ 45ක් වන පෞද්ගලික අංශයට ඒ සහනය නැත. එහෙත් පෞද්ගලික අංශයේ සේවකයන්ටද අයවැයෙන් පැනවූ බදු සහ ගාස්තු අද සිටම ගෙවන්නට සිදුවෙයි. ප්‍රශ්නය ඇත්තේ එතැනය. අර්බුදය ඇත්තේද එතැනය. බොහෝ ආණ්ඩු තේරැම් නොගන්නා යථාර්ථයද මෙයයි. වගකිවයුත්තන් සිතන්නේ රජයේ සේවක ඡන්ද බැංකුව ඡන්ද දිනන්නට ප්‍රමාණවත් බවකි. කෙසේ වෙතත් අයවැය විවාදයේදී ආණ්ඩු පක්ෂයට මැති සබයේදී කතාකරන්නට ප්‍රමාණවත් යෝජනා ගණනක් අයවැය තුළ අන්තර්ගතය. දේශපාලනඥයන් අපේක්ෂා කරන්නේ එබඳු අයවැයකි. එහෙත් ජාතික ආර්ථිකයේ දිග පළල දන්නා අයට මෙම අයවැය තුළින් ඇසෙන ආර්ථිකමය ගායනාවේ තනුව වටහාගත නොහැකිය.

I විශ්ලේෂක විසිනි

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30