2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

අපට නෑසුණු ගිටාර් වාදනය අපේ ගීවලට ආ හැටි

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:31 78

හැට ගණන්වල අගහරියේදී ගුවන් විදුලියේ පැරැණි ගී වඩු සටහන්වලදී බහුලවම ප්‍රචාරය වූයේ රූපසිංහ මාස්ටර්, ඒ.එම්.යූ. රාජ්, ඒ.ජේ. කරීම්, ආනන්ද සමරකෝන් ආදී ශිල්පීන්ගේ ගීතය. එම ගීත වාදනය වෙද්දී ඒවායේ සංගීත නාද තුළ ගිටාරයක හඬක් හඳුනාගත හැකි නොවීය. ඇතැම් චිත්‍රපට සඳහා නිර්මාණය වූ ගීත උදෙසා ඒ වනවිට ගිටාරයේ හඬ සාර්ථකව උපයෝගී කර ගනිමින් තිබෙනු අසන්නට ලැබිණි.

සුනිල් සාන්තයන්ගේ ගුවන් විදුලි ගීවල දැඩි ශික්ෂණයකින් සහ මාධූර්යයෙන් යුතුව ගිටාර නාද රටා උපයෝගී කරගෙන තිබිණි. සුනිල් සාන්තගේ ශිෂ්‍යයකු වූ පැට්රික් දෙණිපිටිය තමා සංගීත සංයෝජනය කළ ගීත රාශියකට විවිධ අයුරින් ගිටාරය යොදාගෙන ඇත. සිංහල සංගීතයට හවායන් (Hawaiian) ගිටාරය හඳුන්වා දී තිබුණේ පැට්රික් දෙණිපිටියයි. 
සුනිල් සාන්ත ඇතුළු සංගීත නිර්මාණකරුවන් රාශියකගේ නිර්මාණවල සියුම් බව එකල පැවති අවම තාක්ෂණ පහසුකම් නිසා තැටිගත හෝ පටිගත කිරීමේදීත්, ශ්‍රවණය කිරීමේදීත් විනාශ වී ගොස්ය. හැත්තෑ ගණන්වල අගහරියේදී සංගීත නිර්මාණවේදී සරත් දසනායක පුවත්පතකට දුන් සම්මුඛ සාකච්ඡාවකදී තම නිර්මාණවලින් තැටිගත/ පටිගත කිරීම්වලින් අනතුරුව ඉතිරිවන්නේ සියයට පනහක් පමණ බව කියා තිබිණි. හැට ගණන්වලදී සංගීතඥයන්ගේ ශ්‍රමය හා නිර්මාණ අවම තාක්ෂණ පහසුකම් නිසා කෙතරම් දුරට අපතේ යන්නට ඇත්තේ දැයි එයින් සිතාගත හැකිය.

ඉස්සර අපි සුනිල් සාන්තගේ ගීත ඇසුවේ (කුරු කුරු හඬ) වායු කැළඹෙන හඬ නිතර නැගෙන රේඩියෝවිලිනි. එහෙත් මේ කාලයේ සුලභව තිබෙන හෙඩ් සෙට් එකක් දෙසවනේ රඳවා ස්මාර්ට් ජංගම දුරකතනයකින් සුනිල් සාන්තයන්ගේ “නැලැවී සැනැසෙන්නේ" ගීතයට සවන් දුනහොත් ඒ ගීතය තුළ ගිටාර් තුන් වර්ගයක නාද ඔබට හඳුනාගත හැකිය. බේස් ගිටාර නාදයක ගීතය රැඳී පාවේ. රිදීම් ගිටාරයක නාදයක් එම ගීයට රිද්මය දෙයි. අන්තර වාදනවල හවායන් ගිටාර් නාදයක් නැගේ. එම හවායන් ගිටාරය වයා ඇත්තේ පැට්රික් දෙණිපිටිය විසිනි. මේ ආකාරයට වූ සියුම් ගිටාර නාද සහශ්‍ර සංඛ්‍යාවක් එකල අපගේ දෙසවනේ නොරැඳී සංගීතඥයන්ගේ නිර්මාණත්ව  ශ්‍රමය අපතේ යවන්නට ඇත.

පැට්රික් දෙණිපිටියගේ සංගීත මෙහෙවර ගැන වැඩි අගය කිරීමක් හෝ සාකච්ඡාවට භාජනය කිරීමක් සිදුනොවූවද ගිටාරයේ හඬ සිංහල ගීතයට මුසු කිරීමේ පුරෝගාමී කාර්යභාරයක් ඔහු අතින් ඉටු වී තිබේ. සී.ටී. ප්‍රනාන්දුගේ ජනප්‍රිය ගීත සියල්ලේම සංගීත අධ්‍යක්ෂණය කර ඇත්තේ පැට්රික් දෙණිපිටියයි. (හෙළජාතික අභිමානේ, පියුමෙහි පැණිබොති, මා බාලකාලේ, සඳවට රන්තරු, අවදිවන්න අවදිවන්න ඇතුළු ගීත 18ක) මේ සෑම ගීතයකටම පාහේ පැට්රික් දෙණිපිටිය ගිටාරය හඬ මුසු කර තිබේ. සුනිල් සාන්ත ගැයූ මිහිකත නලවාලා ගීතයේ හවායන් ගිටාර් වාදනය ඔහුගේය. මිල්ටන් මල්ලවාරච්චි අසූ ගණන් දක්වා ගායනය කළ ගීත රාශියක ද සංගීත සංයෝජනය කර ඇත්තේ පැට්රික් දෙණිපිටියයි. (ඉවුරුතලා, සයුරු තෙරේදී, මා හා එදා උපුල් කොපුල්, ඇතුළු ගුවන් තැටිගත කළ ගීත 8ක් ඒ අතර වේ.) මේ සෑම ගීයකම පැට්රික් දෙණිපිටියගේ ගිටාර නාද රටාවල මියුරැ හඬ නැගේ. ශ්‍රාවකයා නළවන්නටත්, නටවන්නටත්, හැකි මියුරු ගිටාර වාදන නිර්මාණ ඔහුගෙන් බිහිව තිබේ. ඔහුගේ ගී තනුද එසේමය. එම්.එස්.ගේ නෙලුම් මලේ පෙති කඩලා ගීයේ සංගීත සංයෝජනය ඔහුගේය. “රුවන් අඹර සෙමෙර සලන" ගීතයේ ඔහු සංගීත නිර්මාණය කර ඇත්තේ දෙහිවල වොලිස් ස්ටුඩියෝව මගින්. එකල වසරක් පාසා පැවැත්වූ වෙසක් නාට්‍යයක් උදෙසාය. (එය ලයනල් සී. ද අල්විස් ගේ රචනයකි.)

කේමදාස මාස්ටර් (ආචාර්ය ප්‍රේමසිරි කේමදාස) තමා සංගීතය සැපයූ පළමු චිත්‍රපටය වන “සැනසුම කොතැනද" චිත්‍රපටයේ ගීත සඳහා ගිටාරයේ හඬ ශ්‍රාවකයාට කිසිදින අමතක නොවන ආකාරයෙන් මුසුකර තිබුණේය. එහි එන “සුළං කුරුල්ලෝ" ගීතය චිත්‍රපටය නැරඹූ අයකුට ජීවිතයට අමතක නොවන්නකි. අතිශ්‍ය සියුම් ලෙස එම ගීතයේ වැයෙන BOX ගිටාරයේ හඬ හරෑන් ලන්ත්‍රාගේ හඬට මුසු විය. ඒ හඬ සිතුවම් පටයේ රූපවල එන බෝට්ටුවේ ගමනට හාවී නරඹන්නාගේ නෙතත්, සවනත් සිතත් ආකර්ෂණය කර ගත්තේය. මෙම ගීතයේ සියුම් බවද එකල ගුවන් විදුලියෙන් ප්‍රචාරය වෙද්දී බාගෙට මරා දමා තිබුණේ තාක්ෂණික ලුහුඬුතා නිසාය.

අප හෙළයේ මහා ගාන්ධර්වයාණන් ලෙස හඳුන්වන ආචාර්ය පණ්ඩිත අමරදේවයන් කුළ බටහිර සංගීතය පිළිබඳ කෙතරම් පරිචයක් වී දැයි එතුමා නිර්මාණය කළ චිත්‍රපට සංගීතය පිළිබඳ ගවේෂණය කිරීමෙන් අයකුට දැනගත හැකිය. රන්සළු චිත්‍රපටයේ නෙවිල් ප්‍රනාන්දු ලවා ගායනා කරවූ (බී.ටී. මෙන්ඩිස් රචනා කළ) “බඳුන් පිරී ඉතිරෙන මී" ගීතය ඊට හොඳම උදාහරණයකි. එය අතිශ්‍ය සියුම් නිර්මාණයකි. (පසු කාලීනව අමරදේව විසින්ම ඒ ගීය ගායනාකොට තිබේ. එම ගායනය අප සොඳුරු බවින් මන්මත් කරන්නකි.) එවැනි උසස් වින්දනය උදෙසාත්, නරඹන්නා රිද්මයෙන් නටවන්නටත් අමරදේවයෝ ලෝභ නැතුව ගිටාර හඬ උපයෝගීකරගෙන ඇත්තාහ. ප්‍රමිතියෙන් උසස් වේග රිද්ම සිංහල ගීත හිඟ කාලයේ - අප කුඩා කාලයේ - අප නැටවූ ගීයකි, රන්මුතු දූවේ එන “පිපී පිපී... රේණු නටන..." ගීතය. (එය මානවසිංහයන්ගේ රචනයකි.) චිත්‍රපටයේ ඔරු කඳට තට්ටු කරන හඬ එම ගීය පටිගත කරද්දී නංවා ඇත්තේ ගිටාරයකට තට්ටු කිරීමෙනි. එම ගීතය පුරා ගිටාර හඬ රැඳී ඇත. “සාරවිට" චිත්‍රපටයේ එන “ලක්ෂ ගණන් වස්තු ලැබී..." ගීතය එවැන්නකට තවත් උදාහරණයකි. අමරදේවයන් සංගීතය නිර්මාණය කළ “වාලම්පුරි" චිත්‍රපටයේ ද එවැනි සමූහ වේග රිද්ම ගීතයක් විය. නිහාල් නෙල්සන් එම ගීය ගැයීමට දායක විය. 

විවිධ සංගීත නිර්මාණවලට ගිටාරය උපයෝගී කරගෙන තිබුණත් අප රටේ සංගීතකාමී තරැණයන් අතර ගිටාරය ජනප්‍රිය වන්නේ කණ්ඩායම් සංගීතයේ ආගමනයත් සමඟය. එම සංගීත ප්‍රවනතාවය සමඟ අමරදේවයන් එක් වන්නේ “දෙලොවක් අතර" චිත්‍රපටයේ නෙවිල් ප්‍රනාන්දු ප්‍රමුඛ ලොස් කැබැල්රෝස් ගායක කණ්ඩායම ලවා “ගයන ගැයුම්... නටන නැටුම්..." ගීතය ගායනා කරවීමත් සමඟයි. (එම ගීතය මහගම සේකරයන්ගේ රචනයකි.)

නිමල් මෙන්ඩිස් පසුකාලීනව චිත්‍රපට සංගීතයට එක්කල බටහිර නිර්මාණ ඌරුව අමරදේවයන් හඳුන්වා දුන් චිත්‍රපට සංගීතයේ බටහිර ශෛලියට වඩාත් සමීපය. ඔහුගේ කළුදිය දහර, ගෝඩ් කිං ඇතුළු චිත්‍රපට සංගීත නිර්මාණ ශ්‍රවණය කිරීමෙන් මේ බව වටහා ගත හැකිවේ. 

1960 එංගලන්තයේ ලිවර්පූල්හි බිහිවූ බීට්ල්ස් සංගීත කණ්ඩායම හැට ගණන් අගවෙද්දී ලොව පුරා ජනප්‍රිය වූයේය. මේ කාලය වනවිට මෙරටද කණ්ඩායම් සංගීතය ජනප්‍රිය වන්නට ගත්තේය. අලුත් සංගීත කණ්ඩායම් බිහිවෙන්නට පටන් ගැනුණේය. අපට සමීප ඉන්දියාවේ මෙවැනි කණ්ඩායම් සංගීත රැල්ලක් එකල බිහිනොවීම එක් අතෙකින් පුදුම සහගතය. බොහෝ විට එවැනි රැළි අපවෙත හමා ආවේ ඉන්දියාවේ එවැනි රැළි හමාගිය පසුවයි. සංගීතයට ඇති ලැදියාව නිසා හෝ විලාසිතාවක් ලෙස ගිටාර අතින් ගත් තරුණයන් මහ පාරේ යනවා මුලින්ම දක්නට ලැබුණේ ඒ කාලයේදීය.

ගිටාරය මේ තරම් ජනප්‍රිය වූයේ ඇයි ද යන්න සංගීතය ගැන හසළ දැනුමක් ඇති මිතුරකුගෙන් විමසූවිට එසේ වන්නට හේතු කිහිපයක් ඔහු පෙන්වා දුන්නේය. කණ්ඩායම් සංගීත රැල්ලක් පැතිර ඒම පළමු හේතුවයි. එම රැල්ල ව්‍යාප්ත වන්නට හේතු වූයේ වෙනත් කාරණය. එක් කාරණයක් වූයේ අනෙක් බටහිර තූර්ය වාදන භාණ්ඩවලට සාපේක්ෂව ගිටාරය මිලෙන් අඩුවීමයි. ගිටාරයට සාපේක්ෂය පියානෝව අධික මිලෙන් යුක්ත භාණ්ඩයකි. අද දවසේ ද සැක්සෆෝනයක් ගිටාරයත් මෙන් පස් ගුණයකට වඩා මිලෙන් අධිකය. අනෙක බටහිර සංගීතය විධිමත්ව ඉගෙනගන්නට යන වියදම ඉතා වැඩි වීමයි. බටහිර සංගීතය පිළිබඳ විධිමත් අධ්‍යාපනයකින් තොරව ගිටාර් වාදනය හැදෑරිය හැකිවේ. ගිටාරය සමඟ ගීත ගයන්නට ඉගෙන ගැනීම සඳහා ද එතරම් මුදලක් වැය නොවුණේය. කෙසේ නමුත් එකී මෙකී නොකී කාරණා රාශියක් හේතුකොට ගෙන අප රටේ සංගීතකාමී තරුණයා ගිටාරයට වහ වැටුණේය.

හැට ගණන් අගවෙද්දී අලුතෙන් බිහිවූ සංගීත කණ්ඩායම් කිහිපයකම ගීත නිර්මාණ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වන්නට ගත්තේය. මූන්ස්ටෝන්ස් ලොස් මුචාචෝස් ලාබම්බාස් ලොස් කැබැල්රෝස්, ලා සිලනියන්ස්, ධර්මරත්න බ්‍රදර්ස් යන කණ්ඩායම්වල ගීත ඒ අතර බහුල වූයේය. මෙම සංගීත කණ්ඩායම්වලින් මතුවූ නිර්මාණකරණය ක්ලැරන්ස් විජයවර්ධනගේ නිර්මාණ දක්වා වර්ධනය වී ක්ලැරන්ස්ගේන් කූඨ ප්‍රාප්තියට පත්වූ ආකාරය මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචිත ලංකාවේ කණ්ඩායම් සංගීතය පිළිබඳ පර්යේෂණ ග්‍රන්ථයේ සවිස්තරව දැක්වේ. එසේ වුවද එම කණ්ඩායම් ගීතවල පැවති ලක්ෂණ කිහිපයක් ගැන නැවත නොකියාම බැරිය.

මූන්ස්ටෝන්ස් ගායක කණ්ඩායමට ගීත ලිව්වේ ක්ලැරන්ස්ය. ධර්මරත්න සහෝදරයන් වෙනුවෙන් ගීත ලීවේ මිල්රෝයි ධර්මරත්නය. සමහර සංගීත කණ්ඩායම් ඉංග්‍රීසියෙන් ලියූ ගීත කාට හෝ කියා සිංහලට නගාගෙන තිබුණේය. නෙවිල් ප්‍රනාන්දු ප්‍රමුඛ ලොස් කැබැල්රෝස් කණ්ඩායම කරුණාරත්න අබේසේකරයන් ලවා ගීත ලියවාගෙන තිබිණි. ගිටාරය මූලික කරගත් වාද්‍ය භාණ්ඩවලින් මෙම ගීතවල සංගීතය සංයෝජනය කර තිබිණි. ගීත ගායනා වූයේද බටහිර ආරකටයි. එහෙත් ගැමි සුන්දරත්වය වර්ණනාකරන ගීත බොහෝමයක් ඒ අතර විය. මේ ලොස් කැබැල්රෝස් ගායක කණ්ඩායම ගැයූ එක් ගීතයකි. 

ගලන ගඟේ දොළ පාරේ     සොයන්නම්
දේදුන්නේ වළා කුලේ     බලන්නම්
මගෙ රන් මලියා

ගලන ගඟක දොළ පාරක - කඩා හැලෙන දිය ඇල්ලක
දේදුන්නක වළා කුළක සොයලා බලන්නම්
තුරු වදුලක තණ නිල්ලක පවනෙ සැලෙන
ලා දළුවක

සමන් මලක පිරි බිඳුවක එබිලා බලන්නම්  

හැත්තෑ එකේ අවුරුද්දේ ක්ලැරන්ස් නිර්මාණය කළ (රචනාකොට සංගීත සංයෝජනය කළා) මගේ පැල්පතේ මා, සුමුදු මල් පිපුණු අතුකොනේ. වැනි ගීත සමඟ කණ්ඩායම් සංගීතය අලුත් මගකට යොමුවිය. ඒවායේ කලක් තිස්සේ පැවති රචනා ශෛලිය ඒ සමඟ අලුත් විය. කණ්ඩායම් ගීතයට ක්ලැරන්ස්ගේ විදුලි ගිටාරයේ නාද රටා මුසු වීමත් සමඟ තවත් නැවුම් සුවඳක් ඒ ගී තුළින් හමන්නට ගත්තේය. ක්ලැරන්ස්ගේ ගීත රචනා විලාසයත් මියුරැ ගිටාර නාද රටාත් හැත්තෑ ගණන් මැද දක්වාම වඩාත් සියුම් හා නවතාවයකින් යුතුව ඉදිරිපත් වන්නට ගත්තේය. දශක දෙක තුනක් තිස්සේ තමා වර්ධනය කරගත් නිර්මාණ කෞෂල්‍යයෙන් ක්ලැරන්ස් අනෙක් ගායකයන්ගේ නිර්මාණ ද සුන්දරත්වයෙන් අනූන නිර්මාණ බවට පත්කළේය.

ඔහුගේ ගීතනු සහ ගිටාර නාදවලින් මිල්ටන් මල්ලවාරච්චි සහ ජෝතිපාලයන්ගේ ගීද ඔපවත් වූයේය. “මල් පිබිදෙන එක වසන්ත සමයක" වැනි ගී පද රචනා කළේද ක්ලැරන්ස් විසින්. ඔහු සංගීත අධ්‍යක්ෂණය කළ “සිකුරු ලියා" චිත්‍රපටයේ මිල්ටන් පෙරේරා ගායනා කළ (ධර්මසිරි ගමගේ රචනා කළ) කොමල ලියා බොළඳ ලියා ගීතයෙන් මිල්ටන් පෙරේරාගේ ගායන ශෛලිය ද අලුත් විය. 

කලක් ගුවන් විදුලි වාදක මණ්ඩලය තුළ බටහිර තූර්ය භාණ්ඩ ඉවහල් කරගැනීම තහනම් කොට තිබූ බව යම් පුවතකින් පළවී තිබිණි. සමහර සංගීත අධ්‍යක්ෂවරු සිංහල ගීයට බටහිර වාද්‍ය භාණ්ඩ හඬ මුසු කරවීමටද විරුද්ධ වූහ. ඒ සියලු බාධක තිබියදී පසුගිය දශක හතර පහක කාලය තුළ සංගීතඥයන් සිංහල ගීයට මුසුකළ ගිටාර හඬ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය වූයේය.

එහෙත් එච්.එම්. ගුණසේකර එකල මෙහෙය වූ “ඉරිදා සංග්‍රහය" වැනි වැඩසටහන් වලින් ශ්‍රාවකයන් විශ්ව සංගීතයෙන් මතුවූ ගීත ශ්‍රවණය කරවන්නටත් මේවා රසවිඳින්නටත් පෙළඹ වූයේය. එම වැඩසටහන්වලදී හැරීබෙලා ෆොන්ටේ, මිරියම් මකීබා (Mirieem Makeba) හා බීටිල්ස්ලාගේ ගීත අසන්නට ශ්‍රාවකයන් හුරුකළේය. ඒ හැම නිර්මාණයකට සුමිහිරි ගිටාර නාද රටා අඩංගු වී තිබිණි.

සමන් පුෂ්ප ලියනගේ  

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30