2019 ජනවාරි 12 වන සෙනසුරාදා

මීළඟ කොළඹ බත්තරමුල්ල

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:31 2740

රටක් දියුණුවීමට නම් ඒ රටට දියුණුව උදාකරන සංවර්ධන වැඩසටහන් රාශියක් තිබිය යුතුය. එසේ නොමැති වුවහොත් මොනව රටකට වුවද සිදුවන්නේ ලප් තැනම ලොප් වීමටය. එබැවින් දියුණු වෙමින් පවතින රටකට අනිවාර්යයෙන්ම ඉදිරි සංවර්ධන වැඩසටහන් තිබිය යුතුය.

රටක් ආර්ථික සමාජයීය දේශපාලනික වශයෙන් ඉදිරියට ගෙනයාම සඳහා නායකයන්ට නිවැරදි දැක්මක් තිබිය යුතුය. එසේ නොවන කල සංවර්ධන ව්‍යාපෘති අයාලයේ යයි. විශාල ප්‍රාග්ධන නාස්තියක්ද සිදුවෙයි. අපේ බොහෝ සංවර්ධන වැඩසටහන්වලට අනාගත දැක්මක් තිබුණේ නැත. ඒවා ගැන පසු විපරමක්ද තිබුණේ නැත.

සරල නිදසුනක් ගතහොත් දිළිඳුකම පිටුදැකීම සඳහා නිදහසින් පසුව වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වී ඇත. ජනසතු ව්‍යාපාර, පස් අවුරුදු සැලැස්ම, කඩිනම් මහවැලිය, ගම්උදා ව්‍යාපාරය, ජනසවිය, සමෘද්ධි ව්‍යාපාරය, දිවිනැගුම, ඇඟලුම් කම්හල් වැඩසටහන ඉන් කිහිපයකි. මේවා බොහෝමයක් දේශපාලන දායකත්වය මත ඉතා ගාම්භීර ලෙස ආරම්භ වුවද පසුකාලයක ඒවායින් සමහරක් නැවතිණි. තව සමහරක් මන්දගාමී විය. ඒ කුමක් වුවද අපේක්ෂිත ප්‍රතිඵල ඒ අයුරින්ම ලැබී නැත. පුදුමයකට මෙන් ඒ ගැන සිදුකළ පසුවිපරම්ද නැත. නමුත් මේ වනවිට අපේ රටට අවශ්‍ය වී ඇත්තේ නොනවතින අඛණ්ඩ සංවර්ධන ක්‍රියාවලියකි.

බස්නාහිර පළාත සංවර්ධනය කිරීමේ මූලික වැඩපිළිවෙළක් බලයට පත්වූ යහපාලන රජය විසින් ආරම්භ කළ අතර එය මෙගා පොලිස් සංවර්ධන වැඩසටහන නමින් ක්‍රියාත්මක විය. මෙම වැඩසටහනට අනුව කොළඹ නගරය වාණිජ නගරයක් බවට පත් කිරීම මෙහි මූලිකම අරමුණ විය. එමෙන්ම කොළඹ නගරය තුළ දැනට ස්ථාපිතව තිබෙන රාජ්‍යය ආයතන සියයක් පමණ බත්තරමුල්ල නගරයට ගෙනයාමද මෙම වැඩසටහනෙහි එක් අංගයක් විය. විශේෂයෙන්ම කොළඹ නගරය තුළ තිබෙන තදබදය අවම කර කොළඹ නගරය වාණිජ නගරයක් බවට පත් කිරීමේ අරමුණින් මෙම රාජ්‍ය ආයතන බත්තරමුල්ලට ගෙනයාම සඳහා යෝජනා වී තිබිණි.

එමෙන්ම මේ වනවිට බත්තරමුල්ල නගරයට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක්, දියවන්නා අවට විනෝදාස්වාද නගරයක් මෙන්ම කඩුවෙල සිට කොළඹ දක්වා සැහැල්ලු දුම්රිය සේවාවක් ඇරඹීමට නියමිතව ඇත. කොළඹ නගරයේ තිබෙන මුදල් සම්බන්ධ ආයතන හැරෙන්නට අනෙක් සියලුම පරිපාලන ආයතන මෙම වැඩපිළිවෙල යටතේ බත්තරමුල්ල නගරයට ගෙනයාමට නියමිතය. ඒ අනුව දැනටමත් සෞඛ්‍ය අමාත්‍යංශයේ මූලස්ථානය කෝට්ටේ නගර සීමාවෙහි ඉදිවෙමින් ඇති අතර සෙත්සිරිපාය අංක 3 ගොඩනැගිල්ලද මෙයට සමගාමීව ඉදිකිරීමට නියමිතය.

මෙලෙස යෝජිත සෙත්සිරිපාය 3 අදියර මහල් 25කින් සමන්විත වන අතර එය වර්ග මීටර් කි.මී. 1.2 ප්‍රමාණයකින් පමණ යුක්ත වේ. වාහන 710ක් මෙහි ගාල්කර තැබිය හැකි අතර වසර 3 ½කින් පමණ මෙය අවසන් කිරීමට මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

බස්නාහිර මහා නගර සංවර්ධන සැලසුමට අනුව බත්තරමුල්ල, ජයවර්ධනපුර සහ කඩුවෙල ප්‍රදේශය අග නගරය බවට පත් කිරීම නව අදහසක් නොවන අතර එය 1978 නාගරික සංවර්ධන අධිකාරිය ස්ථාපිත කළ කාලයෙහි යෝජනාවකට අනුව ක්‍රියාත්මක කිරීමක් බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය කියයි.

පාර්ලිමේන්තුව අවට තිබෙන ස්වාධීන කොමිෂන් සභා පාර්ලිමේන්තුවට අනුබද්ධ ආයතන සඳහා පාර්ලිමේන්තුවට යාබදව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිත අතර බැද්දගාන තෙත්බිම් උද්‍යානයද නාගරික සංවර්ධන අධිකාරියේ ආයෝජන මගින් වැඩිදියුණු කිරීමට නියමිතය. අතුරුගිරිය සහ අවට ප්‍රදේශයේත් නාගරික උද්‍යානයක් ඉදිකිරීමට මෙම සංවර්ධන වැඩපිළිවෙළ යටතේ කටයුතු කර ඇති අතර නාගරිකකරණයේ ප්‍රධාන ගැටලු වන අවිධිමත් කසළ කළමනාකරණය, අවිධිමත් ප්‍රවාහනයෙන් ඇතිවන මාර්ග තදබදය පිළිබඳවද මෙහිදී අවධානය යොමුකොට තිබේ.
මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ මෙගා පොලිස් ඒකකයේ ප්‍රකාශකයෙක් රාජ්‍ය ආයතන බත්තරමුල්ල නගරයට ගෙනයාම සහ තම වැඩපිළිවෙළ සම්බන්ධව දේශයේ අපට මෙලෙසින් කරුණු පැහැදිලි කළේය.

"මෙය දැවැන්ත සංවර්ධ ව්‍යාපෘතියක්, මෙගා පොලිස් නගර සැලසුම අනුව තමයි මෙය ක්‍රියාවට නැංවෙන්නේ. සැබැවින්ම මෙය දීර්ඝකාලීන වැඩපිළිවෙළක්. ඒ යටතේ තමයි කොළඹ නගරයේ ඇති රාජ්‍ය ආයතන 11කුත් බත්තරමුල්ල නගරයට ගෙනයන්න තීරණය කර තිබෙන්නේ. කොළඹ නගරය තුළ මෙම රාජ්‍ය ආයතන තිබීමෙන් නගරය තුළ කලබලකාරී බව වැඩිවෙනවා. ඒ වගේම තමයි විශාල තදබදයක් නිර්මාණය වෙනවා. සියයට 40ක් පමණම රටේ මුළු ආර්ථිකය තියෙන්නේ කොළඹ. නමුත් කොළඹ නගරයේ අවිධිමත් නාගරීකරණයක් එක්ක මිනිසුන් විශාල ප්‍රමාණයක් කොළඹට ඇදෙනවා. මේ තත්ත්වයත් සමගම නගරය තුළ තිබූ ඇතැම් ප්‍රශ්න නිරාකරණය කර ගැනීමටත් හැකියාවක් ලැබුණේ නැහැ.

රාජ්‍ය ආයතන බත්තරමුල්ල නගරයට ගෙන ඒම තුළින් ජනතාව විශාල පහසුවක් වගේම කොළඹ නගරය වාණිජ නගරයක් බවට පත්කර ගැනීමටත් හැකියාව ලැබෙනවා. මේ රාජ්‍ය ආයතන පමණක්ම නොවෙයි මහාමාර්ග මෙන්ම මහාමාර්ගවල තිබෙන තදබදයක් ඒ මගින් අඩුවීමක් වෙන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම කඩුවෙල දක්වා සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් ස්ථාපිත කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. කඩුවෙල එක් පැත්තකින් ලෝලෙවල් මාර්ගයත්, බියගම මාර්ගය සහ බියගම වෙළෙඳ මධ්‍යස්ථානය සහ විශාල නාගරීකරණ ප්‍රදේශයත්, මාලබේ ප්‍රදේශයේ තිබෙන ආයතනත් සමගම සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. සමහරු හිතනවා මේ ව්‍යාපෘති ඉක්මණින් ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. නමුත් මේවා සිදුකළ යුතු ආකාරයක් තියෙනවා. ඒ ආකාරයට තමයි මේවා ක්‍රියාත්මක කළ යුත්තේ."

මෙම සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ගංවතුර පාලනය කිරීමට පොම්පාගාරයක් ඉදිකිරීමට නියමිත අතර මාර්ග තදබදයට විසඳුමක් ලෙස බස්රථ මංතීරු ක්‍රමයද මේ වනවිට ක්‍රියාත්මකය. එමෙන්ම රාජ්‍ය ආයතන කොළඹ නගරයෙන් පිටතට ගෙනයෑම පිළිබඳව බොහෝ ජනයාද සිය කැමැත්ත පළකර තිබේ.

රාජ්‍ය ආයතන කොළඹ නගරයෙන් පිටතට ගෙනයාමේ ව්‍යාපෘතිය යටතේ සෙත්සිරිපාය තුන්වන අදියර ක්‍රියාත්මක කරන බවත් මහා නගර ව්‍යාපෘතිය යටතේ ජනාධිපති කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලයද පාර්ලිමේන්තුව අසල ස්ථාපිත කරන බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

"අපි බලාපොරොත්තු වෙනවා රජයේ අමාත්‍යංශ ඒ වගේම රජයේ දෙපාර්තමේන්තු කාර්යාල, ඇතැම් ඒවා තවදුරටත් කොළඹ නගරයෙන් පිටත ස්ථාපිත කරන්න. මේ ක්‍රියාවලිය ආරම්භ වුණේ 1982 දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව බත්තරමුල්ල ප්‍රදේශයේදී ශ්‍රී ජයවර්ධනපුර ස්ථාපිත කිරීමෙන් පස්සේ සහ සෙත්සිරිපාය, ඉසුරුපාය ආදී කාර්යාල සංකීර්ණ ගොඩනැගීමෙන්. දැන් ඒ සෙත්සිරිපාය දෙවැනි අදියර මේ වනවිට අවසන් වෙලා අමාත්‍යංශ හා කාර්යාල ස්ථාපිත කරලා තියෙනවා. ඒ වගේම අපි සුහුරුපාය නමින් අලුත් ගොඩනැගිල්ලක් ඉදිකළා. ඒ වගේම දැන් අපි සෙත්සිරිපාය 3 වැනි අදියර නිර්මාණය කරගෙන යනවා අමාත්‍යංශ සඳහා.

මේ සඳහා අපිට කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. මෙහිදී අපේ පරමාර්ථය සැලකිය යුතු විදියේ විධිමත් නාගරික සැලසුමක අනුව රජයේ කාර්යාල හා දෙපාර්තමේන්තු ස්ථාපිත කිරීමයි. ඒ අනුව විශේෂයෙන්ම කොළඹ නගරයේ වාහන තදබදයත් ඒ වගේම ජනතාවගේ පරිපාලන අවශ්‍යතාත් සලකලා බලලා ප්‍රධාන පෙළේ අමාත්‍යංශ 31ක් අපි හඳුනාගෙන තිබෙනවා. කොළඹ නගරයේ දෙපාර්තමේන්තු 50ක් සහ විවිධ අධිකාරි සහ වෙනත් රාජ්‍ය ආයතන 32ක් හැටියට. 113ක් රාජ්‍ය ආයතන. මේ රාජ්‍ය ආයතන 113 සම්බන්ධයෙන් අපි ඔවුන්ගෙන් විමසීමක් කළා වෙන තැන්වලට යාමට තිබෙන කැමැත්ත පිළිබඳව. සමහර ඒවා අපිට වෙනස් කරන්න බැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා වෙනස් කරන්න පුළුවන් ආයතන කොළඹින් පිටතට ගෙනියන්න.

මෙහි පළමුවෙනි පියවර තමයි මේ සෙත්සිරිපාය අදියර 03. ඊළඟට අපි ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතට තව පියවරකට ගෙනයනවා. ඉදිරි කාලයේදී අපි අලුත් රාජ්‍ය ආයතන හැකිතාක් දුරට පිටත වටරවුම් මාර්ගය ඔස්සේ ඉදිකරන්න බලාපොරොත්තු වන්නේ කඩුවෙල, කඩවත, කොට්ටාව සහ බණ්ඩාරගම කියන ප්‍රදේශවල. ඒ අපේ ඉදිරි සැලසුම්වල අලුතින් ඇතිවන ආයතන ඒවායේ පිහිටුවීමට. විශේෂයෙන්ම කොළඹ නගරය වරාය අවට ඒ ප්‍රදේශය, බේරේ වැව අවට ප්‍රදේශය ප්‍රධාන වාණිජ දිස්ත්‍රික්කය හැටියට අපි ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශයේ මූල්‍ය කටයුතුවලට මුදල් අමාත්‍යංශය, මහ බැංකුව ඇතුළු බැංකු කටයුතුවලට වාණිජමය කටයුතුවලට අදාළ ආයතන පමණයි පවත්වාගෙන යන්නේ. සෙසු රාජ්‍ය ආයතන අපි මේ ප්‍රදේශවලට ගෙනයාමට ඉදිරි කාලයේදී ක්‍රියා කරනවා. අලුත් පරිපාලන නගරයක් හැටියට, දිගුකාලීන සැලැස්මක් හැටියට අපි ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ මේ ස්වාධීන කොමිෂන් සභා ඇතුළු ආයතන සියල්ලම පාර්ලිමේන්තුව ආසන්නයේ අපේ ගම පරිශ්‍රය අසල තිබෙන ඉඩමේ ස්ථාපනය කරන්න ඉදිරි කාලයේ කටයුතු කරනවා. මේ අනුව අපේ බලාපොරොත්තුව ඉදිරි අවුරැදු 05ත් 10ත් අතර කාලයේ අලුත් පරිපාලන නගරයක් හැටියට ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශය සංවර්ධනය කිරීමයි.

අදියර 03ක් යටතේ ක්‍රියාත්මක වන මෙම සුවිසල් සංවර්ධන සැලැස්ම 2030 වසර දක්වා විහිදී යන අතර මෙම ව්‍යාපෘතිය මගින් ඉදිරි වසර දහයක කාලය තුළදී අ‍ෙමරිකන් ඩොලර් බිලියන 30ක පමණ අයෝජනද අපේ රටට ලබාගැනීමට හැකිවනු ඇතැයි රජය විශ්වාස කරයි.

අපේ සමාජය ගතහොත් ආකල්පමය වශයෙන් පසුවන්නේ ඉතා පසුගාමී තැනකය. ලෝකයේ පවත්නා අලුත් දියුණුවට හා වෙළෙඳ ආර්ථිකයට බොහෝ දෙනා බියවී සිටිති.  ඇතැම් සංවර්ධන වැඩසටහන්වලට බොහෝ දෙනා විරුද්ධ වන්නේ ඒ නිසාය. මෙම සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුවහොත් එය අතිශයින්ම වැදගත් වන්නේද මහජනතාවටය. මෙවැනි වැඩසටහන්වලට විරුද්ධව හඬ නැගීමට පෙර මහජනතාව ඉන් ඉදිරියේදී ලැබෙන ප්‍රයෝජනවල යථාර්ථය වටහා ගැනීම ඉතා වැදගත්ය.

 


 සටහන - හසිත් අංජන

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30