2019 ජනවාරි 05 වන සෙනසුරාදා

පරිවර්තනයේදී පණ්ඩිතකම් එපා

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 8

- රෝහණ වෙත්තසිංහ

ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු වන රෝහණ වෙත්තසිංහ ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතනයෙන් ආරම්භ කළ පුවත්පත් කලා මෙහෙවර දශක හතරක් පුරා දිවෙයි. චිත්‍රපට තිරනාටක මෙන්ම ගීත රචනා ද ඔහු අතින් බිහිවී ඇත. රෝහණගේ නවතම සාහිත්‍ය කාර්යය අමෙරිකාවේ විශිෂ්ට ලේඛකයකු වන ජිම් ෂෙපර්ඩ් ලාංකීය සාහිත්‍යයට හඳුන්වා දෙමින් ඔහුගේ The Book and Aran නවකතාව පරිවර්තනය කිරීමයි. යුදෙව් ජන සංහාර සාහිත්‍යයට අයත් එම කෘතිය ඒරන්ගේ ලෝකය නමින් සරසවි ප්‍රකාශනයක් ලෙස පළවී තිබේ.

ඔබ The Book and Aran පරිවර්තනයට තෝරා ගැනීමට විශේෂ හේතු තිබුණාද...?

සරසවි ප්‍රකාශන ආයතයේ පරිවර්තන ව්‍යාපෘතියක් තිබෙනවා. ඒ යටතේ හොඳ කෘතිවල පරිවර්තන අයිතිය මුල් ප්‍රකාශන ආයතනවලින් ලබාගෙන තිබෙනවා. එලෙස ප්‍රකාශන අයිතිය ලබාගත් පොත් අතර The Book and Aran තිබුණා. ඒක ලියලා තිබුණේ ජිම් ෂෙපර්ඩ් කියන අමෙරිකානු ලේඛකයායි. මම ඒ පොත කියවද්දී මගේ හිතට සමීප වුණා. ඒ නිසා පොත පරිවර්තනය කිරීමට තීරණය කළා.

මෙම කෘතියේ අන්තර්ගතය ගැන පැවසුවහොත්...?

දෙවැනි ලෝක යුද්ධ සමයේදී අවු. 8 සිට 13 දක්වා දිවෙන ඒරන් නමැති කොලු ගැටයාගේ දෘෂ්ටි කෝණයෙන් තමයි කතාව දිවයන්නේ. යුද්ධයේ පවතින අමානුෂික හදකම්පා කරවන සිද්ධි පාඨකයාට ඒත්තු යන අයුරින් මෙහි සඳහන් වෙනවා. දෙවැනි ලෝක යුද්ධයේ සිදුවීම් කුඩා දරැවකුගේ මනස හරහා දැකීමට කතුවරයා සමත් වෙනවා. ඈන් ෆ්‍රෑන්ක්ගේ දිනපොත වගේම පිජාමා කොලුවා (පරි:නීල් විජේරත්න) පොතුත් මෙහිදී අපට සිහිපත් වෙනවා. 

ලංකාවත් අවුරුදු 30ක යුද්ධයකින් බැටකාපු රටක්. සිංහල ලේඛකයන් අතින් යුද්ධයේ අමානුෂිකත්වය පිළිබිඹු වන නිර්මාණ සාහිත්‍යයක් බිහිවීම අඩුයි නේද...?

ඒක හරි... යුද සාහිත්‍යය කියලා ලෝකයේ වෙනම සාහිත්‍යාංගයක් ගොඩනගලා තිබෙනවා. දෙවන ලෝක යුද්ධයේ හිට්ලර්ගේ අමානුෂික ඝාතන ගැන විශාල වශයෙන් පොත් බිහිවෙලා තිබෙනවා. අපේ එහෙම මධ්‍යස්ථව යුද සාහිත්‍යයක් ගැන සිංහල කෘති දකින්න අසීරැයි. ඉංග්‍රීසියෙන් පොත් කිහිපයක් බිහිවෙලා තිබෙනවා. දෙමළ ඩයස්පෝරාවේ ලේඛකයන් දෙමළ පාර්ශ්වයට වාසි සහගත ලෙස සාහිත්‍ය කෘති ලියලා තිබෙනවා.

අපේ ප්‍රවීණයන්ට උතුරේ යුද්ධය අමතක වෙලාද...?

ඔව්... අපේ සිංහලෙන් ලියන දක්ෂ ප්‍රවීණ ලේඛකයෝ ඉන්නවානේ. යුද අත්දැකීම් තුළ නවකතාවලට අවශ්‍ය අපූරැ මානුෂික වස්තු බීජ තිබෙනවා. නමුත් ඔවුන් යුදමය අත්දැකීම් වස්තු විෂය කර නොගත්තේ ඇයි කියන එක ප්‍රශ්නයක් තමයි. මගෙත් අදහස අපේ ලේඛකයන් ඒ ගැන ලිවිය යුතුයි කියන එකයි. සිනමාකරුවෝ වුණත් බොහෝවිට යුද්ධය සම්බන්ධ මනෝමය දේවල් තමයි පාදක කරගත්තේ. සමාජයේ තිබෙන යථාර්ථය ඔවුන්ට වස්තු විෂය වන්නේ අඩුවෙන්. සම්මාන දිනපු සමහර ඒවා වුණත් එන්.ජී.ඕ. සතුටු කිරීමට නිර්මාණය කළ ඒවා බවයි පේන්නේ. නමුත් යුද්ධය පාදක කරගෙන නිර්මාණය වූ ලෝක සාහිත්‍ය කෘති වගේම සිනමා නිර්මාණවල වුණත් එහි නිස්සාරත්වය, අමානුෂික බව අපූරුවට නිර්මාණය වෙනවා.

ඔබ ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙක්. අද පුවත්පත් කලාවේදීන් තුළ සාහිත්‍ය සේවනය අඩු බව පේනවා...?

පත්තරකලාවේදියා කියන්නේ හතරවැනි පුරවැසියානේ. ඒ කියන්නේ විශාල ජනමතයක් ගොඩනගන කෙනෙක්. අපි ටයිම්ස් ඔෆ් සිලෝන් එකේ වැඩකරපු කාලේ විශාල ජනමතයක් ගොඩනගන බලයක් තිබුණා. නිදහස ලබාගන්නා කාලයේ ඒකට සහයෝගය දැක්වීමට ලේක්හවුස් වගේ ආයතනවලින් තල්ලුවක් ලැබුණා. අද පුවත්පත්කලාවේදීන් වැඩි පිරිසක් පොතපත ඇසුරැ කිරීම අඩුයි. අද පත්තර වුණත් සංවේදී කතා පස්සේ දුවන බවයි පේන්නේ.

අද පරිවර්තන කෘති බහුලව බිහිවන්නේ ඉනිඩ් බ්ලයිටන්, එඩ්ගාර් රයිස් බරෝස් වගේ පැරණි ලේඛකයන්ගේ. ඒකට හේතුව ඔබ දකින්නේ කෙසේද...?

ඒකට එක හේතුවක් තමයි අලුත් ලේඛකයන්ගේ කෘති පළකිරීමට ප්‍රකාශන අයිතිය ලබාගත යුතුවීම. සමහර ආයතන ප්‍රකාශන අයිතිය ලබාගෙන පොත් පරිවර්තනය කරනවා. සමහරැ ප්‍රකාශන අයිතිය ලබානොගෙන පළකළ අවස්ථාවන් තිබුණා. පැරණි ලේඛකයන්ගේ කෘති පරිවර්තනය කිරීමට එහෙම බාධාවක් නැහැ. නමුත් අලුත් ලේඛකයන්ගේ කෘතීන් සෑහෙන සංඛ්‍යාවක් පසුගිය කාලයේ පළවී තිබෙනවා.

සමහර පරිවර්තන කියවීමට ඉතා අපහසු බවට චෝදනා එල්ල වෙනවා නේද...?

ඔව්... මුල් කෘතිය හා සසඳා බලනවිට සිංහල කෘතිය නීරස බවත් කියවීමට දුෂ්කර බවටත් පැවසෙනවා තමයි. ඒකට හේතුව භාෂා දෙකම දැනගත්තත් සිංහලට පරිවර්තනය කරන විට සරල හා ආකර්ෂනීය බස්වහරක් යොදා නොගැනීමයි. පාඨකයාට රසවිඳින්න පුළුවන් විදිහට ලියවිය යුතුයි. ඒකට ලේඛකයාගේ ලේඛන ශෛලියත් බලපානවා. ඒරන්ගේ ලෝකය පොතේදී නම් මට වාසියක් වුණා. මේක කුඩා දරැවකුගේ කෝණයෙන් ගලායාම. ඒ නිසා මම කටවහරින් තමයි පොත ලියාගෙන ගියේ. නමුත් අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ වගේ දේවල් ගැනත් මම සැළකිලිමත් වුණා. ලියනකොට දිරවන්නේ නැති සිංහල වෙනුවට පාඨකයාට සමීප භාෂා රටාවක් තමයි මම යොදාගන්නේ. පොතක් ලියනවිට අනවශ්‍ය පාණ්ඩිත්‍යයක් ඇතුළත් නොකළ යුතුයි.

සමහර පරිවර්තන ලේඛකයන්ට එල්ලවෙන චෝදනාවක් වන්නේ මුල් කෘතියේ කොටස් අතහැර ලියන බවයි...?

ඔව්... ඒක ඇත්ත... සමහර ප්‍රවීණ පරිවර්තකයන්ගේ කෘතිවලටත් ඒ චෝදනාව එල්ල වී තිබෙනවා. ඒ නිසා මම මෙය පරිවර්තනය කරද්දී බොහෝ සැලකිලිමත් වුණා. මම සම්පූර්ණ අසංක්ෂිප්ත පරිවර්තනයක් විදිහට තමයි මෙය කළේ. 
අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නැති බව විමසමින් මුල් කෘතියේ කොටස් අත්හැරීම වැරදියි. තමන් පොත පරිවර්තයට තෝරාගන්නේ එය සුදුසු නිසානේ. ඒක හින්දා පොතේ අභ්‍යන්තර කොටස් අතහැර පරිවර්තනය කිරීමට බැහැ. ඒක වැරදි වැඩක්. එහෙම නම් තමන් ඒ පොත පරිවර්තනයට තෝරානොගත යුතුයි. 

ඒරන්ගේ ලෝකය රචනා කිරීමට ජිම් ෂෙපර්ඩ් ලොකු අධ්‍යයනයක් කළබව සඳහන් වෙනවා නේද...?

යුදෙව් සමාජය ගැන ඔහු විශාල අධ්‍යයනයක් කර තිබෙනවා. ඔහු නිර්මාණාත්මක ලේඛනය ගැන අමෙරිකාවේ මැසචුසෙට්ස්වල කථිකාචාර්යවරයෙක්. යුදෙව්වන්ගේ ගතිසිරිත්, හැසිරීම් ඔහු නිරීක්ෂණය කර තිබෙනවා. මේ නිසා යුදෙව් සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන සම්මාන කිහිපයක්ම මෙම කෘතියට ලැබී තිබෙනවා.

ඔබේ පරිවර්තනයට ලැබුණු පාඨක ප්‍රතිචාර ගැන කිව්වොත්...?

ලැබෙන ප්‍රතිචාර සතුටුදායකයි. බොහෝ දෙනෙක් කියන්නේ මෙහි සරල බස් වහර නිසා දිගටම කියාගෙන යාහැකි බවයි. ෆේස්බුක් එකෙනුත් සාර්ථක ප්‍රතිචාර දකින්න ලැබුණා. මේ නිසා ලැබුණු පෙළඹීමෙන් මම තවත් පොතක් පරිවර්තනය කිරීමට දිරියක් ලැබුවා. මම ඊළඟට පරිවර්තනය කරන්නේ නදියා මුරාජ්ගේ The Last girl පොතයි. නදියා Isis ත්‍රස්තවාදීන්ගේ ලිංගික වහලියක් ලෙස පාවිච්චි කළ තරැණියක්. ඇය ඉන් විඳී මානසික පීඩනය, ශාරීරික වේදනාව The Last girl පොතේ විස්තර වෙනවා. 

 කුසුම්සිරි

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30