2019 ජනවාරි 12 වන සෙනසුරාදා

කල්පිටියේ පරණ තල්ගස් ගොමුවේ රුවල රෙසෝට්

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 68

කොළඹ නගරයට කිලෝමීටර 150ක් උතුරින් පිහිටලා තියෙන කල්පිටිය කියන්නේ එක් පැත්තකින් ඉන්දියානු සාගරයටත් අනෙක් පැත්තෙන් පුත්තලම කලපුවටත් මැදිවෙලා පිහිටා තියෙන කිලෝමීටර 40ක් විතර දිග බිම් තීරුවක්. සංචාරක කර්මාන්තයේ දියුණුවත් එක්ක කල්පිටියටත් ලොකු කුඩා හෝටල් රාශියක් එන්න පටන් අරන්. 

කල්පිටියේ ඇත්තලේ තිහාලිය කියන ප්‍රදේශයේ පිහිටා තියෙන රුවල රෙසෝට් කියන්නේ හරිත බවින් වැඩි සහ විශේෂයෙන්ම කඩොලාන පරිසරයක පිහිටා තිබෙන නවාතැනක්. සුප්‍රකට තලවිල දේවස්ථානයේ ඉඳන් මිනිත්තු පහළොවකින් විතර මෙතැනට ළඟාවෙන්න පුළුවන්. අක්කර නවයක් විශාල පොල්වත්තක පිහිටා තියෙන මේ හෝටලය එහි පැමිණෙන සංචාරකයන්ට හරිම නිස්කලංක වටපිටාවක් තිළිණ කරනවා. ඒ වගේම ත්‍රාසජනක ක්‍රියාකාරකම්වල යෙදෙන්න කැමැති අයටත් මෙතැන කදිමයි. 

අවුරුදු 100ක් විතර පරණ තල් ගස් ගොමුවක් මේ හෝටල් භූමියේ හරිම ලස්සන තැනක් විදිහට නිර්මාණය කරලා තියෙනවා. හෝටලයේ සෙසු ගොඩනැගිලි ඉදිකරලා තියෙන්නේ මේ තල් ගස් ගොමුව වටේටයි. ඒ නිසාම හැන්දෑ වරැවට අල්ලාප සල්ලාපයේ යෙදෙන්නත් ගිනිමැලයක් ගහන්නත් එතැන නියමයි. 

හෝටල් භූමිය මැදින් ගලාගෙන යන වතුර ඇළක් නිසා ලැගූන් විලාස්, කබානා, වෝටර් ෆ්‍රන්ට් විලාස් සහ ප්‍රධාන අවන්හල එක් පැත්තකත් සුඛෝපභෝගී මැන්ගෘ විලා දෙක, කඳවුරු බිම සහ එළිමහන් ක්‍රියාකාරකම් භූමිය අනෙක් පැත්තේත් පිහිටා තිබෙනවා. හෝටලයේ නවාතැන් පහසුකම් ගැන කතාකරද්දී කාමර අටකින් යුතු ලැගූන් විලාස් හතරක්, ඉහළට ඔසවා තැනූ සුඛෝපභෝගී මැන්ගෘ විලා දෙකක්, සුන්දර කබානා දෙකක් වගේම වැඩි ත්‍රාසජනක අත්දැකීමකට ලොල් අය වෙනුවෙන් කලපුව අද්දරින්ම වෝටර් ෆ්‍රන්ට් විලා හතරකුත් මෙහි දකින්න පුළුවන්. මේ කාමර හැම එකක්ම නවීනත්වය වගේම දේශීයත්වයත් වැළඳගත් අයුරින් නිම කර තිබෙනවා. බිම් පැහැය ගත් බිත්තිවලින් වටවුණු කාමරයෙන් පිටත බැලූ විට දකින්න ලැබෙන්නේ සුන්දර කලපුව සහ හෝටල් වත්තයි. 

කලපුවක් අද්දර පිහිටා තියෙන නිසාම රුවල රෙසෝට් එකේ මුල්තැනක් සී ෆුඩ්වලට හිමිවෙනවා. එහිදී දේශීය ආරට වගේම වෙනත් ජාත්‍යන්තර ඉවුම් පිහුම් රටාවලටත් කෑම සැකසෙනවා. සී ෆුඩ්වල වගේම මෙතැන එළවළු පළතුරුවලත් නැවුම් බව හොඳින්ම විඳගන්න පුළුවන්. ඒකට හේතුව තමා එළවළු සහ පළතුරුත් අවට ගම්වැසියන්ගෙන් ලබාගැනීම. 
මෙතැනදී kayaking, boating, snorkelling හා scuba diving, fishing, camping වගේම kite surfing වගේ නොයෙකුත් ක්‍රියාකාරකම්වල යෙදෙන්න පුළුවන්. ඊට අමතරව විල්පත්තුව, ඩොල්පින් සහ තල්මසුන් නැරඹීම, තලවිල දේවස්ථානය, මුන්නේශ්වරම් කෝවිල සහ මුතුරාජවෙල වගේ ප්‍රදේශවලට චාරිකා සූදානම් කරදීමටත් හෝටල් කාර්ය මණ්ඩලය සූදානමින් සිටිනවා. 

- සනත් වීරසූරිය

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30