2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

ඇස්වහ කටවහට නම් දරන කේතු

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:30 2314

බඩ හෙවත් උදරය සංකේතවත් කරන්නේ කේතුය. උඩු කයේ මිනිස් රූපයකි. ගාත්‍රා කොටස දරණයකි. නෙළුම් මලක් මත වාඩි වී පොතක් කියවමින් කේතු ග්‍රහයා වාසය කරයි. කේතුට ඇවිදීමට නොහැකිය. ඒ කකුල්වල තුවාල තිබෙන නිසාය. පොත් කියවමින් නුවණ දියුණු කර ගැනීමට උත්සාහ කරයි. එහෙත් තම ජීවිතය පිළිබඳව කළකිරීමක් ඇත්තකු සේ ගත කරයි. කේතු මිශ්‍ර ඵල ලබා දෙන ග්‍රහයෙකි.

යම්කිසි ජන්මියකුට කේතු ලැබූ විට ඔහුගේ ගතිගුණ ජන්මියන්ට ආරූඪ වේ. කේතු දශාවේ ජන්මියාගේ ලේ දූෂ්‍ය වන අතර උණ රෝග, හොරි, දද, කුෂ්ඨ තුවාල නිතර නිතර ඇති කරවන බව අසා ඇත. කොටින්ම කියතොත් සිරැර වියළි බවක් උසුලයි. මේ නිසාම පපුවේ කැස්ස ඇති වන බව කිවහැක. මල බද්ධය ඇති කරන්නේ බඩේ තිබෙන වියළි බව හේතු කොට ගෙනයි. කේතු ඇත්තවශයෙන්ම දුර්වල අයෙකි. ඇස්වහ කටවහ, සතුරැ උවදුරැ වැඩි වශයෙන් ඇති කරන්නේ කේතුය.

ලේ දූෂ්‍ය වීමෙන් නිතර ලෙඩ රෝග, භූත දෝෂ ඇති කරයි. ධන හානි, තනතුරැවලින් පහත වැටීම නිසා පරිහානියකු බවට ජන්මියා පත්කරයි. වෙන ග්‍රහයන් සංකේත කිරීමට තරු ග්‍රහ වස්තු තිබුණත් කේතු සංකේත කිරීමට කිසියම් ග්‍රහයෙක් නොමැතිවත් කැපී පෙනෙන ලක්ෂණයකි. රාහු කේතු චින්තන මාත්‍ර ග්‍රහයන් දෙදෙනකු පමණකි. යම්කිසි බලවේග වශයෙන් හැඳින්වුවද වරදක් නැත.

කේතු අපල වළක්වා ගැනීම සඳහා පුද පූජා කරන අවස්ථාවේදී රතු මල්, නිල් මල්, පුවක් මල්, කෙසෙල් මුහ මල්, පස් තෙල්, මිශ්‍ර තෙල් පහන් ද තද නිල් පැහැති කොඩි හා රතු පාට කොඩි පූජා කිරීම ද අපලය වළක්වා ගැනීමට පිටිවහල් වේ. උදෑසන කාලයේදී තල මිශ්‍ර කිරිබත්, කෙසෙල් ගෙඩි, මී කිරි, මී පැණි, කැවිළි පූජා කිරීම, අගිල් මිශ්‍ර සුවඳ දුම් පූජාව ඉක්මන් ශුභ ඵල උදාකර ගැනීමට මෙන්ම රාහු අපලය නැති කර ගැනීමට ද මගකි.

මහ පොළොවට හෝ නැත්නම් වයඹ දිශාව බලා පූජා පැවැත්වීමට, දෙවියන්ට පිං දීම, පිහිට පැතීම, ධජග්ග සූත්‍රය, ඛන්ද පරිත්ත යන්ත්‍රය පැළඳ ගැනීම ආරක්ෂාව සඳහා යෝග්‍ය වේ. පොල් ගෙඩි පිරිත් කර දින හතක් පොල් ගැසීම ද ගුණදායකය.
විරූපාක්ෂ, ඒරාඵත්ථ, ජක්‍යපුත්ත, කණ්හාහෝතම යනුවෙන් හඳුන්වන සර්ප කුල හතරේ සියලුම සර්පයන්ට මම මෛත්‍රී කරමි. සියලුම සර්ප ජාතීහු සුවපත් වේවා යන්න හත් වරක්, නව වරක්, එකසිය අට වරක් කීමෙන් කේතු අපලයට පිළියමක් වේ.

මහ දශාව සමඟ අතුරු දශාව විදශාව හා ඒරාශ්ඨක අපල යෙදී ඇති විටකදී මහා දශා අධිපති ග්‍රහයා නමින් ද කළ යුතු පිළිවෙත් ක්‍රම ඇත. ඒවායේ ද යෙදීම ගුණදායක බැව් කිව යුතුය. එවිට කේතු අපල සඵල කරගත හැක. 

දේශමාන්‍ය
ජ්‍යොතිෂ්‍ය විද්‍යා විශාරද,
මහාචාර්ය හේමපාල පතිරණ