2018 ජුලි 07 වන සෙනසුරාදා

එළවළු අස්ප ගණන්!

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 247

උඩරට සමහර එළවළු කිලෝව රු. 500ටත් වැඩියි

දැනට ටික කාලයකට පෙර හිටිහැටියේම එළවළු මිල ගණන් අඩු විය. හේතුව සඳහන් වූයේ ඉල්ලුමට වඩා සැපයුම නිසා එසේ සිදුවූ බවය. කෙසේ වුවද එලෙස ගණන් බැස තිබූ එළවළු මිල අද වනවිට ඉවසාදරාගත නොහැකි මට්ටමකට වැඩි වී තිබේ. ඇතැම් එළවළු වර්ගයක කිලෝවක මිල රුපියල් 400, 500 ඉක්මවා ගියේය. එළවළු කාලා හමාරයි කියා පාරිභෝගිකයන්ට දැන් දැනෙමින් තිබේ.පසුගිය මාස තුනකට අධික කාලයක් තිස්සේ මධ්‍යම කඳුකරයට ඇදහැලුණු අධික වර්ෂාවත්, තද සුළං තත්ත්වයත් හේතුවෙන් ගෝවීන්ගේ එළවළු වගා බිම්වලට දැඩි හානි සිදුවීම නිසා මේ මිල ගණන් ඉහළ යාම සිදුවී ඇතැයි කියති.අධික වර්ෂාව හේතුවෙන් උඩරට ප්‍රදේශවලට මෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තදබල ලෙස බලපෑම් එල්ල විය. මේ නිසා එළවළු අස්වැන්න හේදී යාමෙන් ද දිවයිනේ සෑම ප්‍රදේශයකම එළවළු මිල ඉතා සීග්‍රයෙන් ඉහළ ගියේය.

පොදු වෙළෙඳසල්වල ඇති එළවළු කඩ වල පමණක්ම නොව සුපිරි වෙළෙඳසල්වලද එළවළු මිල වැඩිවී තිබිණි.

මේ දිනවල ඉහළ නැග තිබෙන එළවළු මිල අනුව බොහෝ පාරිභෝගිකයෝ මෙම සුපිරි සල්වල එළවළු රාක්ක අසල ගැවසෙමින් ඉතා පරිස්සමෙන් අඩු ප්‍රමාණයකට එළවළු මිලදී ගනිති. බොහෝ දෙනා මේ දිනවල එළවළු ව්‍යාංජන සඳහා එළවළු රැගෙන යන්නේ සුප් එකකට එළවළු රැගෙන යන පරිදි ඉතා පරිස්සමට අඩු ප්‍රමාණයටය.

“මේ එළවළු මිල ඉහළ යාම සෑම වසරකම වගේ මේ කන්නයේ සිදුවන ක්‍රියාවලියක්. රටේ බොහෝ ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව අනුව මේ තත්ත්වය උදාවුණා. අද කැරට් ග්‍රෑම් පන්සීයක මිල ඉතාම ඉහළයි. නමුත් බොහෝ පාරිභෝගිකයන් කෙසේ හෝ තමන්ට පුළුවන් අන්දමින් එළවළු මිලදී ගන්නවා. මීට ටික කලකට උඩදී එළවළු මිල ඉතාම ඉහළ අගයක් ගත්තා. නමුත් දැන් මිල ටිකින් ටික පහළ බැසීමක් තමයි සිදුවන්නේ. තව මාසයක් පමණ වනවිට මේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වීමට බොහෝ ඉඩ තියෙනවා. බොහෝ අවුරුදුවල මැයි, ජූනි, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී එළවළු මිල ගණන් වැඩිවිමක් දක්නට පුළුවන්. එයට හේතු දෙකක් බලපානවා. යලමහ අස්වැන්න දෙකේදී ජනවාරි මාසවල කරන වගාවන් අප්‍රේල් මාසය වනවිට අවසන් වෙනවා. පවතින වර්ෂාවත් සමඟ අස්වැන්නට හානි සිදුවෙන්න පුළුවන්. මේ තත්ත්වය අලුත් දෙයක් නෙමේ. නමුත් වසරවල් අනුව ඒක අඩුවැඩිවීමක් තමයි වෙන්නේ. මේ දවස්වල අප වෙළෙඳසල්වලට එන පාරිභෝගිකයින් එළවළු මිලදී ගන්නේ ඉතා අඩුවෙන්... ඒ සඳහා ඇතැම් පාරිභෝගිකයින් වෙනත් විකල්ප පාවිච්චි කරනවා.”

සුපිරි වෙළෙඳසල් ජාලයක සමූහ කළමනාකාර (කෘෂිකර්ම) හරිදාස ප්‍රනාන්දු මහතා දේශයට එසේ ප්‍රකාශ කළේය.

බොහෝ පාරිභෝගිකයන් මේ පවතින එළවළුවල අධික මිල හේතුවෙන් වෙනත් විකල්ප යොදාගෙන තිබේ. වෙනදාට ගස්යට වැටී නරක් වී යන කොස් ඇට මේ දිනවල බොහෝ ගෙවල්වල ප්‍රණීත ආහාරවේලක් සඳහා යොදාගැනේ. කොස් ඇට ව්‍යාංජනය, ඇඹරැල්ලා ව්‍යාංජනය, අඹ ව්‍යාංජනය, කෙහෙල්මුව ව්‍යාංජනය වැනි නිතරම නිවෙස් වල නොපිසින කෑම මේ දිනවල බොහෝ බත් පතක දැකිය හැක. හැමදාමත් කැරට්, ලීක්ස්, බෝංචි වැනි එළවළුවලට හුරු වූ දිවට මේ වෙනස් රසයක් එක්කරලීමට බොහෝ ගෘහණියෝ පෙළඹී සිටිති.

“මේ දිනවල එළවළු ඉල්ලුම අනුව සැපයුමක් නැහැ. එහෙම එළවළු ලබා දෙන්න ගොවීන්ට මේ දිනවල නොහැකි වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි පසුගිය දිනවල පැවැති කාලගුණික තත්ත්වය නිසා වගාව විනාශ වෙලා ගියා. ඒ නිසා වෙළෙඳපොළට එදිනෙදා ලැබෙන එළවළු ප්‍රමාණය අඩුවෙලා තියෙනවා. ඒ අඩුවීම නිසා තමයි මේ එළවළු මිල වැඩිවෙලා තියෙන්නේ. ගිය මාස දෙක තුළ අපේ වගාවල අස්වැන්න අඩුවුණා. නුවරඑළි ප්‍රදේශයට පසුගිය මාස දෙක අධික වර්ෂාවක් වාර්තා වුණා. මේ නිසා උඩරට ගොවීන් වගාකරන විශාල එළවළු ප්‍රමාණයක් විනාශ වුණා.” එසේ පැවැසුවේ නුවරඑළිය ප්‍රදේශයේ ඩී.එම්. ජයන්ත ගොවි මහතාය.

ඔහු අක්කර එකයි කාලක වගා කටයුතුවල නියැලෙන ගොවිමහතෙකි. ඔහුගේ අස්වැන්න සුපිරි වෙළෙඳසල්වල විකිණේ. නමුත් ඔහුගේ අස්වැන්නට ද පසුගිය මාස දෙකක කාලය තුළ හානි සිදුවිය.

“හැම කාලේම මේ වර්ෂාව වැටෙනවා. මේ කාලයේදී අපිට මේ කාලගුණික තත්ත්වය ගොඩාක්ම බලපවත්වනවා. අප්‍රේල් සිට ජූනි මාසය දක්වා දීර්ඝකාලීනව වර්ෂාව එකදිගට ඇදහැලුණා මේ වර්ෂාවෙන් අපේ අස්වැන්න විනාශ වුණා. දවස් පහළොවක් විස්සක් එකදිගටම වැස්ස තිබුණා. මම මගේ අක්කර එකයි කාලේ ඉඩමේ කැරට්, ලීක්ස්, ගෝවා, බීට් වැනි එළවළු වගා කරනවා. ඒ සඳහා අපිට සේවකයොත් යොදාගන්න වෙනවා. නමුත් මේ පාර මූලික වැඩකටයුතුවලදී පමණයි සේවකයෝ යොදා ගන්නේ. රසායනික ද්‍රව්‍ය, පොහොර යෙදීම වල්ගස් ඉවත් කිරීම වගේ කටයුතුවලදී මම මගේ පවුලේ අයත් එක්ක ඒ කටයුතු කරගන්නවා.” ඔහු කීය.

පසුගිය කාලයේදී ඇදහැලුණු වර්ෂාවත් සමඟ වගාවන්ට යොදන පොහොර සේදී යාමක් ද සිදුවුණි. අධික වර්ෂාව ලැබීමත් සමඟ දින ගණනාවක්ම ගොවීන්ට පොහොර නිසි ලෙස යෙදීමට නොහැකි තත්ත්වයක් ද උදාවුණි. මේ නිසාම අස්වැන්න අඩුවීමට මෙයද තදින්ම බලපෑ කාරණාවකි. නුවරඑළියට මේ දිනවල හොඳ කාලගුණික තත්ත්වයක් පවතින බැවින් ඉදිරියේදී මේ කාලගුණික තත්ත්වය මත එළවළු මිල පහළ බැසීමක් ඇතිවිය හැකි බවද මේ උඩරට ගොවීන්ගේ අදහස වී තිබේ.
තඹුත්තේගම ගොවීහු ද මේ තත්ත්වයට තදින්ම මුහුණ දී සිටිති. ඔවුන්ගේ වගා බිම් කාලගුණික තත්ත්වය හේතුවෙන් විනාශ විය. මේ නිසාම වෙනදා ලැබෙන අස්වැන් ඔවුන්ට ලබාගන්නට නොහැකි විය. එබැවින් වෙළෙඳපොළේ ඔවුන්ගේ එළවළු හිඟවිය.

“මාස හතරකට පහකට කලින් මේ ප්‍රදේශයට හොඳටම වැස්සා. ඒ වර්ෂාවත් සමඟ ගොවීන්ගේ එළවළු මිල අඩුම වුණා. වෙළෙඳපොළේ ඉල්ලන මිල ගණනට දෙන්න බැරි තත්ත්වයක් තමයි පැවතුනේ. මේ නිසා බොහෝ ගොවීන් වගා කටයුතුවලින් ඈත්වෙන්න පටන්ගත්තා. ඒ වගා බිම්වලට විවිධ ලෙඩරෝග ඇති වුණා. වගාවන්වලට ඇතිවූ ලෙඩ තත්ත්වයන් නිසා අස්වැන්න අඩු වුණා. මේ නිසා බීජවලින් වගා කරන කරවිල, පතෝල, වැටකොළු වැනි එළවළුවල බීජ හිඟයක් ඇතිවුණා. පසුගිය මාසයක කාලයක් තුළ මෙම එළවළු බීජ නැතිවම ගියා. මේ නිසා ඉතා කුඩා අස්වැන්නක් ලැබීම හේතුවෙන් තමයි එම එළවළුවල මිල වැඩිවීමක් සිදුවුණේ. වෙළෙඳපොළ අවශ්‍යතාවයට අනුව ඒ බීජවලින් වගාකරන එළවළුවල හිඟකමක් ඇතිවුණා.”

තඹුත්තේගම ගොවිමහතෙකු වන නන්දන ලයනල් ප්‍රේමතිලක දේශයට පැවසීය.

ඔවුන් බොහෝවිට වගාකරනු ලැබුවේ කරවිල, වැටකොළු, පතෝල වැනි එළවළුය. නමුත් ඒ බීජ නැතිවීම නිසා ඔවුන්ට ඒ එළවළු වගාවලින් මඳකට ඈත්වීමට සිදුවිය.

“මම වැටකොළු අක්කර එකහමාරක්, පිපිඤ්ඤා අක්කර දෙකක්, වට්ටක්කා අක්කර පහක් වගා කරනවා. නමුත් මේ සැරේ පසුගිය දේශගුණික තත්ත්වයයි, බීජ හිඟයයි, වගාවන්ට ඇති වූ රෝග තත්ත්වයි නිසා අපේ අස්වැන්නට හානි වුණා. ඒ නිසා ලැබුණු අස්වැන්නට ඉහළ මිලක් දෙන්න සිදුවුණා. දැන් වෙළෙඳපොළට අපි වගාකරන එළවළු ටික ටික එනවා. ඒ නිසා ඉතිරි සති කිහිපය ඇතුළත මේ එළවළු මිල සාමාන්‍ය මට්ටමක පවතිවී කියලා අපිත් විශ්වාස කරනවා.” යැයි නන්දන ලයනල් ප්‍රේමතිලක මහතා වැඩිදුරටත් පැවසීය.

මේ පවතින එළවළු මිල සති කිහිපයක් ඇතුළත සාමාන්‍ය මට්ටමකට වැටෙන බව ඔවුන්ගේ මතයයි. මේ පවතින එළවළු අර්බුදය ඉදිරි සති කිහිපය තුළ යථා තත්ත්වයට පත්විය හැකි බව සෙසු ගොවීන්ගේ ද විශ්වාසය වී තිබේ.

දිශානි ජයමාලි කරුණාරත්න
   ඡායාරූප - සමන්ත ප්‍රදීප් විල්තෙර

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00