2018 ජුලි 07 වන සෙනසුරාදා

මළගෙයක් නැත්නම් නින්ද නොයන කලවානේ සුනිල්

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 255

කලවාන ප්‍රදේශයේ සිදුවන සෑම මළගෙදරකම නිතර දකින්නට ලැබෙන මුහුණක් පිළිබඳව දේශය පුවත්පත වෙතට දැනගන්නට ලැබිණි. ඒ අනුව අපි ඔහු සොයා ගියෙමු.

අපට ඔහු හමුවුණේද කලවාන දොළහේන ප්‍රදේශයේ මළගෙදරක සිටියදී වීම විශේෂත්වයකි. තමා කලවාන ප්‍රදේශයේ පමණක් නොව පිට ප්‍රදේශවලද මළ ගෙවල්වලට සහභාගි වෙන බවද ඔහු අපට පැවැසුවේය. මේ වනවිට වයස අවුරුදු 47ක් වන ඔහු කලවාන අමුනැල්ලගොඩ පදිංචි වයි.එච්. සුනිල් ය. තමා මේ වනවිට සහභාගි වී ඇති මළගෙවල් සංඛ්‍යාව 4000කට වැඩි බවද ඔහු පවසයි. රැකියාවක නිරත නොවන ඔහු ප්‍රදේශයේ සිදුවන සියලු මළගෙවල් සොයා යමින් ඊට සහභාගි වෙමින් අවමංගල කටයුතු අවසන් වනතුරු රැඳී සිටීමද සුවිශේෂ කරුණකි.

ඔබ මොහු ගැන මෙසේ සඳහන් කරන විට සිතනු ඇත්තේ මේ තරම් මළගෙවල් සංඛ්‍යාවකට ඔහු සහභාගි වන්නේ කෙසේද? සහ ඊට සාක්ෂි මොනවාද යන්නයි. තමා යන සෑම මළගෙදරකම මරණ දැන්වීම් පත්‍රිකාවක් රැගෙන ගොස් ළඟ තබා ගැනීම ඔහුගේ සිරිතයි. ඊට අමතරව කලවාන ප්‍රදේශයේ ඕනෑම ලොකු කුඩා පුද්ගලයකුගෙන් මොහු ගැන ඇසුවොත් ඔබට සාක්ෂි සපයනු නියතය. ඔහු ඒ තරම්ම මළගෙවල් හා බැඳුණු චරිතයකි.

මළගෙයක් සිදුවුණු වහාම රෝහලට, මෝචරියට, එම්බාම්හලට, මළගෙදරට මුලින් පැමිණෙන්නේ ඔහුය. ඇතැම් තැනක ඔහු දකින්නට නොලැබුණොත් එසේත් නැත්නම් ඔහු මළගෙදරට ඒමට ප්‍රමාද වුවහොත් කෝ සුනිල් ඇවිල්ලා නැහැනේ යැයි සමහරු ප්‍රශ්න කරන තරමට ඔහු මළගෙවල්වලට සමීපය.

මළගෙදර හිමි නෑ සියන් සමඟ අඬමින් ඔවුන්ගේ පාළුව දුරැ කරමින් දිවා රාත්‍රී මළ ගෙදර රැඳී සිටීම ඔහුගේ සිරිතය. මළගෙදර නිමවනතුරු රැඳී සිටීම පුරුද්දක් වුවද ඒ අතර ප්‍රදේශයේ අලුත් මළගෙදරක් ආරංචි වූ සැණින් ඔහු එම මළගෙදරටද සහභාගි වෙයි.
ප්‍රදේශයේ මළගෙවල් නොමැති අවස්ථාවලදී පිට ප්‍රදේශවල මළගෙවල් සොයා යන්නේ කිසිදු දැන හැඳුනුම්කමකින් තොරවය. මළගෙවල්වලින් තුන්වේල ආහාර ලැබෙන බැවින් ආහාර පිළිබඳව ප්‍රශ්නයක්ද ඔහුට නොමැත.

ඔහු අවිවාහක පුද්ගලයකු බැවින් අඹු දරු රැකුමට කියා මිල මුදල් සෙවීමේ ගැටලුවක්ද නොමැත. මළගෙවල්වල යාම සඳහා බස් රථවල නොමිලේ ප්‍රවාහනයක්ද ඔහුට හිමි වී ඇති නිසා ඒ පිළිබඳව ගැටලුවක්ද ඔහුට නොමැත. ඔහු දන්නා අඳුනන කොන්දොස්තරවරු ඔහු යන ගමනට කිසිදු මුදලක් අය නොකරති.

මළගෙවල්වලට සහභාගි වීම පුරුද්දක් කරගෙන සිටින ඔහුගේ වචනයෙන්ම ඒ ගැන විස්තර මෙසේය.

මම මුලින්ම මළගෙදරකට සහභාගි වුණේ පාසල් යන කාලේ අපේ හඟරංගල ආච්චි අම්මලාගේ මළගෙදරට. එතකොට මට වයස අවුරුදු 15යි. මම එදා ඉඳන් කලවානේ සියලුම මළගෙවල්වලට සහභාගි වුණා. මම දැනට මළගෙවල් 4000කට වැඩියෙන් සහභාගි වෙලා තියෙනවා. ඒ අතර පිට පළාත්වල මළගෙවල් 300කට විතර සහභාගි වෙලා තියෙනවා. මම මළගෙවල් 1500කට සහභාගි වුණ වේලාවේදී අයි.ටී.එන්. එකේ අටපට්ටමේ මාව පෙන්නුවා. මට මළගෙවල්වලට යන්න විශේෂ හේතු නැහැ. මළගෙයක් ආරංචි වුණොත් මම යනවා. ඒ මළගෙදර සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියලා මට අදාළ නැහැ. දැන් මට මළගෙවල්වල යාම පුරැද්දක් වෙලා. කිව්වට අමනාප වෙන්න එපා මළගෙවල් නැත්නම් මට නින්ද යන්නේ නැහැ.

කොහොමත් මම නිදාගන්න කෙනෙක් නෙමෙයි. මම ගෙදර රැඳී ඉන්නවත් අඩුයි. මළගෙවල් සෑමතැනම තියෙනවා. මම ඒවාට සහභාගි වෙනවා. මගේ තාත්තාගේ මළගෙදරට විශාල පිරිසක් ආවා. ඒ මම සෑම මළගෙදරකම යන නිසා. මම මේ දේවල් කරන්නේ කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. කලවානේ ලොකු පොඩි හැම කෙනෙක්ම මම ගැන දන්නවා. ඔහු කියයි.

පාසල් බෑගයක් තුළ ඇඳුම් කිහිපයක් දමා කරේ එල්ලාගෙන කුඩයක්ද අතින් ගෙන යන ඔහු කලවානේ සෑම මළ ගෙදරකම දකින්නට හැකිය. අනාගත බලාපොරොත්තුව මොකද්දැයි ඇසූ විට ඔහු කියා සිටියේ මැරෙන තුරු මළගෙවල්වලට සහභාගි වීම අනාගත බලාපොරොත්තුව බවය. මොහු සිතා හෝ නොසිතා සිදුකරන්නේ සමාජ සේවයකි.

 කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම