2018 ජුනි 09 වන සෙනසුරාදා

පාරේ දුවන්නේ කැඩෙන බස්ද?

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 248

අද දුවන බස් අබලන් නෑ: තත්ත්වය හුඟක් උසස්
පෙනුම අලුත් : තාක්ෂණය පරණයි
අලුත් තාක්ෂණයේ බස්වල මිල අධිකයි

ලංකාව පුරා ධාවනය වන බස් බොහෝමයක් ධාවනයට නුසුදුසු, ආරක්ෂාකාරී නොවන බස් රථ බවට තොරතුරු පසුගිය දිනවල විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සොයාගිය අපට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ පැවැසුවේ වෙනත් අදහසකි. අපිරිසුදු, අබලන් බස් රථ අද ධාවනය වන්නේ අඩුවෙන් බව ඔහු කියයි. “ලංකාවේ පෞද්ගලික බස්රථවත්, ලංගම බස් රථවත් 98%ක් පමණ අබලන් තත්ත්වයට පත්වෙලා නැහැ. දැනට අවුරුදු දහයකට පෙර මාර්ගයේ ධාවනය වුණු බස් රථවලට වඩා අද මාර්ගයේ ධාවනය වන බස් රථ හොඳයි. ඉස්සරට වඩා පෞද්ගලික බස් රථවල රියදුරන්ට ගුණාත්මකව මගීන්ට ආරක්ෂිතව ප්‍රවාහන සේවයක් ලබාදීමේ උනන්දුව තියෙනවා. අද වෙද්දි ඔවුන්ට තමන්ගේ බස් රථය ලස්සනට තියා ගැනීමට උනන්දුව තියෙනවා. ඒ නිසා පිරිසුදුකම අතින් දුර්වල වුණු, අබලන් වුණු බස්රථ අද ධාවනය වන්නේ හරිම අඩුවෙන්.” වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.

එකල බොහෝ බස් රථ දැඩිව දූවිලි බැඳුණු අපිරිසුදු බස් රථ විය. දින ගණනාවක් පුරාවට සෝදා පිරිසුදු කර නැති, අඩුම තරමේ වාහනය තුළ ඇති කාපට් හෝ පිරිසුදු කිරීමක් නැති ඉබේ ඔහේ ධාවනය වන බස් රථ තිබුණි. බොහෝ බස්රථවල වීදුරුවල හෝ බස් රථයේ පිටුපස දූවිලිවල “මාව සෝදන්නෝ” යැයි ඇඟිලි තුඩුවලින් ලියා තිබෙනු දැකිය හැකි විය. ඒ තරමටම දූවිලි බැඳුණු බස්රථ මහා මාර්ගයේ ගමන් කරමින් තිබිණි. නමුත් වර්තමානය වනවිට එයට හාත්පසින්ම වෙනස් වූ බස් ධාවනයක් පවතින බව දැකිය හැකිය. අද බොහෝ බස් හිමියන් මෙන්ම සේවක දෙපළද බස් රථයේ පිරිසුදු කිරීම සම්බන්ධව සැලකිල්ලක් දක්වති.

බස් රථයේ පිරිසුදු කිරීම මෙන්ම බස් රථවල කාර්මික තත්ත්වයද වර්තමානයේදී ඉතා හොඳ තත්ත්වයේ පවතින බව පෙනී යයි. මේ වනවිට දිවයින පුරා අබලන් වෙමින් පවතින බස් රථ ධාවනය ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් පවතී. නමුත් අද වෙද්දී බස් රථවල ආසන අතර පවතින පරතරය  අඩුවෙමින් පැවැතීම මගීන්ට හිරිහැරයකි. මගියකුට බස් රථයේ සුවපහසුව අසුන් ගැනීමට ඇති හැකියාව මේ නිසා අඩුවෙමින් පවතී. වැඩි මගී පිරිසක් ගෙනයාමට හැකිවන සේ බස්රථවල ආසන ළං කරමින් නැවත ආසන සවි කිරීම මීට හේතුවය. මෙය මගීන්ට විශාල අපහසුවකි.

“බස්රථවල හිටගෙන යන මගීන් අද විශාල ප්‍රශ්නයකට ලක්වෙලා ඉන්නවා. ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ බස් රථවල අල්ලා ගැනීමට ඇති ඉහළ කොටස අල්ලා ගැනීමේ අපහසුවයි. බස්රථවල හිටගෙන යන මගීන්ට අල්ලා ගැනීමට පහසු අයුරින් එම බෙල්ට් සවි කිරීම ඉතා වටිනවා. බස් රථයේදී මගීන්ට සුවපහසුව හා ආරක්ෂිතව ගමන් කිරීම පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වටිනවා. බස්රථවල බාහිර ස්වරූපය අතින් අද වෙද්දී ධාවනය වන බස් රථ ඉස්සරට වඩා ඉතා හොඳයි. තාක්ෂණික පැත්තද ඉතා හොඳයි...” යැයි වෛද්‍ය සිසිර කෝදාගොඩ සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ධාවනය කරනු ලබන බොහෝ බස්රථ සැකසී ඇත්තේ ලොරි එන්ජින් සහ ලොරි චැසිවලින් බැවින් ඒවා මගී ප්‍රවාහනයට නුසුදුසු බවත් එවැනි චැසි වර්ග සකස් කර ඇත්තේ භාණ්ඩ ප්‍රවාහනයට පහසු වන පරිදි බවත් කියති. මේ ගැන වෛද්‍ය සිසිර කෝදාගොඩ පැවසුවේ මෙවැනි අදහසකි.

“අප රටේ ධාවනය වන බස්රථ ලොරි රථවලට යොදන චැසිය මත සවිකර තිබෙනවා. නමුත් එයින් විශාල දෝෂයක් ඇතිවන්නේ නැහැ. චැසි මත ලොරියක් ගොඩනංවන්නත් පුළුවන්, බසයක් ගොඩනංවන්නත් පුළුවන්. නමුත් චැසිය උඩ මගීන්ට හිටගැනීමට අපහසුතා ඇතිවෙනවා. දැනට ලෝකේ දියුණු ක්‍රමවේදත් සමඟ එම චැසිය ශක්තිමත්ව තියෙනවා නම් කන්ටේනරයක් වුණත් ගෙනියන්න පුළුවන්. නමුත් මම දකින ප්‍රශ්න ඒවාම නෙමේ. චැසිය ප්‍රශ්නයක් නොවෙයි නම් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ.”

බොහෝ දෙනා බස්රථවල අබලන්වීම ගැන කතා කරති. නමුත් රියදුරා විසින් කරනු ලබන ඇතැම් ක්‍රියාවන් හේතුවෙන් මගියා නොදැනිම අනතුරුවලට ලක්වන අවස්ථා තිබේ. විශේෂයෙන් රියදුරු අසුනට ආසන්නයේදීම බස්රථයේ කැසට්පට යන්ත්‍රය සවිකර තිබීමෙන් රියදුරු විසින් බස්රථය ධාවනය කරන අතරතුරේදී කැසට් යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට හෝ සීඩී මාරු කිරීමට උත්සාහ ගනී. ධාවනය කරනා බස් රථයටත් වඩා රියැදුරුගේ අවධානය එවිට යොමුවන්නේ කැසට් යන්ත්‍රය දෙසටය.

එමෙන්ම පෙර සඳහන් කළ පරිදි මහාමාර්ගයේ ධාවනය වන බොහොමයක් බස්රථවල පවතින්නේ සම්මත අසුන් ප්‍රමාණය නොවේ. බොහෝ බස් හිමියන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් බස්රථය සඳහා අනුමැතිය ලබා ගැනීමෙන් පසුව නැවත අසුන් වෙනස් කිරීම් සිදුකරන අවස්ථා තිබේ. ඒ අනුව නිසි පරතරයකින් තොරව වැඩි මගීන් පිරිසක් යාම සඳහා බස් රථ වෙනස් කිරීමක් සිදුවේ. බස් රථයේ දොර නිතරම වසා තැබිය යුතු වුවද අද වෙද්දී එවැනි තත්ත්වයක් දිවයින පුරා ධාවනය වන බස්රථවලින් දක්නට නොලැබේ. මේ නිසා පසුගිය කාලය පුරාවටම ඇතැම් අවස්ථාවලදී රියදුරන් විසින් තිරිංග යෙදීමෙන් මගීන් එළියට විසි වී ඔවුහු විශාල අනතුරුවලටද මුහුණ දුන්හ.

මගීන්ට තිබෙන ආරක්ෂාව නම් මදි

මෙවැනි මගීන්ගේ ජීවිතවලට ඍජුවම හානිවන සිදුවීම් බස්රථවල තවමත් එලෙසින්ම ක්‍රියාත්මක වේ. මෙවැනි තත්ත්වයන් ඉතා ඉක්මනින් නිවැරදි කළ යුතුය. බොහෝ බස්රථ අලංකාර කිරීමට රියැදුරු අසුන ඉදිරියේ නොයෙකුත් මල්වැල්, පින්තූරු, විසිතුරු සතුන් එල්ලා ඇත. ඒවායින් ඇතැම් අවස්ථාවල රියදුරුගේ ඉදිරිය නිවැරදිව පැහැදිලිව නොපෙනීම හේතුවෙන්ද අනතුරුවීමට ඇති හැකියාව ඉතා වැඩිය.

අද වෙද්දී බොහෝ බස්රථවල රූපවාහිනී තිර සවිකර ඇත. නමුත් මෙය සවිකළ යුතු වන්නේ රියදුරාට එය නොපෙනෙන ලෙසය. එසේ නොවේ නම් රියැදුරුගේ අවධානය සහ ඇසද නිරන්තරයෙන් ඒ වෙතට යාම සාමාන්‍ය සිදුවීමකි.

“ඔය බස්රථවල ප්‍රචාරය වන ගීත ඇත්තටම මගීන්ට හානියක්. ඒ නිසා අපි මේ වනවිට ඒ සම්බන්ධ කමිටුවක්ද පත් කරලා තියෙනවා. එමගින් ඉදිරියේදී මේ වාහනවලින් එන අධික ඝෝෂාව සම්බන්ධව ක්‍රියා කරනවා. පරිසර අධිකාරියටද අපි මේ ඝෝෂා සද්දය සහ නළා ශබ්දය පිළිබඳව කරන්නත් බාර කරලා තියෙනවා. අද වෙද්දී බොහෝ බස්රථවල නළාව ගලවා ඒ වෙනුවට වෙනත් නළා (හෝන්) සවිකරගන්නවා. ඇත්තටම ඒක වැරැද්දක්. ඇතැමුන් බයිසිකලයේ ලොරි හෝන් එක පවා සවිකරගෙන තියෙනවා. ඇත්තටම එයින් එන ඝෝෂාව අහිතකර මෙන්ම ඒ තිගැස්මත් සමඟ වාහනයක් පාලනය කර ගැනීමට පවා බැරි තත්ත්වයක් ඇතිවෙනවා. බස් රථ සම්බන්ධව මෙම ගැටලු ඉතා ඉක්මනින් සිදුකළ යුතු වුවත් බස්රථවලින් 98%ක් ධාවනයට සුදුසු නැහැ කියන දේ නම් පිළිගන්න බැහැ.” යැයි වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා දේශයට පැවසීය.

මේ සම්බන්ධව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් අදහස් විමසීමක් කළෙමු.

“සාමාන්‍යයෙන් ලංකාවේ වැඩි වශයෙන් ධාවනය වන්නේ ඉන්දියාවෙන් ආනයනය කළ බස් රථයි. තාම අලුත් තාක්ෂණික බස් රථ ලංකාවට එතරම් ඇවිත් නැහැ. තවමත් ලංකාවේ ධාවනය වෙන්නේ පැරණි තාක්ෂණික බස් රථයි. පෙනුමෙන් මේ බස් රථ අලුත් වුණත් එහි තාක්ෂණය පැරණියි.”

ඔහු පවසන පරිදි ඉන්දියාවේ නිෂ්පාදිත බස්රථවලට වඩා චීනයේ නිෂ්පාදිත බස්රථ තාක්ෂණික අතින් දියුණුව පවතී. එවැනි සාමාන්‍ය සුඛෝපභෝගී බස්රථවල වර්තමානයේදී ධාවනය වන බස්රථවල මෙන් චැසියක් නොමැත. එය “මොනොකොක්” තාක්ෂණය ලෙසින් හැඳින්වේ. මෙය ගුවන් යානා නිෂ්පාදනය කරනු ලබන තාක්ෂණයට සමාන වන අතර චීනයේ බස්රථ නිෂ්පාදනය කරනු ලබන්නේ එම තාක්ෂණයට අනුවය. වර්තමානයේදීද ලංකාවේද එවැනි චීන බස්රථ යම් ප්‍රමාණයක් ධාවනය කෙරේ. නමුත් එය හිතනා තරම් මගී ප්‍රවාහන පහසුකම වෙනුවෙන් යොදාගැනීම එතරම් ලෙහෙසි කටයුත්තක්ද නොවේ. හේතුව ඉන්දියානු බස්රථවලට වඩා මෙම සුඛෝපභෝගී බස් රථ මිලෙන් අධික වීමය. අද වෙද්දී සාමාන්‍ය ඉන්දියානු බස් රථයක් රුපියල් ලක්ෂ හතළිස් අටේ සිට ලක්ෂ පනස් හත දක්වා මිල ගණන් යටතේ විකිණේ. මෙම බස් රථවල චැසිය ඇත්තේ පැරණි තාක්ෂණයට අනුවය. අප රට දියුණු වෙමින් පවතින රටකි. අධි තාක්ෂණයට අනුව නිෂ්පාදනය වූ චීන බස් රථ මිලදී ගැනීමට බොහෝ දෙනාට නොහැක.

“මෙම පැරණි තාක්ෂණයට අනුව ධාවනය වන බස් රථ එකවරම ධාවනයෙන් ඉවත් කරන්න බැහැ. ඉස්සර බස්රථවල ස්වයංක්‍රීය සුක්කානම තිබුණේ නැහැ. අද වෙද්දී බස් හිමියන් ස්වයංක්‍රීය සුක්කානමට හුරු වුණා. ඒ ආකාරයට නවීන තාක්ෂණයෙන් යුත් අලුත් බස් රථ ප්‍රතිශතයක් ලෙස ආයෝජනය කිරීමට අපි යෝජනා කරලා තියෙනවා. කාලයක් යද්දී අලුත් තාක්ෂණයට බස් හිමියන් හැඩ ගැසේවි. නමුත් මෙය කෙටි කලකින් කළ හැකි ක්‍රියාවලියක් නෙමේ. ඉස්සරටත් වඩා අද වෙනකොට මගීන් බස්රථවල සුව පහසුව ගැන හිතනවා. මුදලක් දී යන ගමනේදී එවැනි සුව පහසුව බැලීම සාධාරණයි. විශේෂයෙන් මේ සඳහා නාගරික පෝෂක මාර්ග (ප්‍රධාන නගර දෙකක් යා කරන මාර්ග) සඳහා මෙවැනි නවීන තාක්ෂණ බස් රථ මුලින්ම හඳුන්වාදෙන්න කටයුතු කරනවා. පහළ තට්ටුව සහිත (Low Floor) බස් රථ තමයි ධාවනය කිරීමට සැලසුම් කරලා තිබෙන්නේ. එයින් ආබාධිතයින්ට පවා බස් රථයට අපහසුවකින් තොරව ගොඩවීමේ හැකියාව ලැබෙනවා. එවැනි පහසුකම් චීනයේ බස්රථවල විතරක් නෙවේ ඉන්දියානු බස්රථවලත් තියෙනවා. හැබැයි ඒවා මිලෙන් අධිකයි. එවැනි සුඛෝපභෝගී බස්රථ සඳහා ආයෝජනය කරන්න සැලසුම් කරල තියෙනවා. සාපේක්ෂව අද වෙද්දී අපි ධාවනය කරන බස්රථ ඉස්සරට වඩා ගොඩක් හොඳයි...” යැයි ගැමුණු විජේරත්න මහතා පැවසීය.

බොහෝ මගීන්ගෙන් බස් රථ සම්බන්ධව නැගෙනා මැසිවිලි වන්නේ බස්රථ දියුණුවීමත් සමග බස්රථවල කැසට්, රේඩියෝ සහ රූපවාහිනී තිර ප්‍රදර්ශනය වීම ඇරඹීමත් සමග එයින් නැගෙන ඝෝෂාකාරී සංගීතය හෝ රූප රාමුය. මේ සම්බන්ධව ගැමුණු විජේරත්න මෙසේ කීය.

“ඇත්තටම ඒවා නීති විරෝධියි. ඒවාට තවමත් නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. මෝටර් රථ ආඥා පනතට අනුව තවමත් එයට අවශ්‍ය නීතියක් සැකසිලා නැහැ. මෙය ඇත්තටම ශබ්ද දූෂණයක්. මෙය පරිසරයත් සමඟ එක්වීමත් පරිසර දූෂණයක්. බස් රථයේ ඇතුළේ ඇති මේ කන්කරච්චලයට තවමත් දඬුවමක් දෙන නීතියක් හදලා නැහැ. ඒක ඇත්තටම වැරුද්දක්. ඕනෑම කෙනෙකුට ඇසිය හැකි ප්‍රමාණයක් තියෙනවා. බස් රථයේ යන මගීන්ට මානසික වදයක් දෙන මේ සද්දය ඇත්තටම නීතියක් ක්‍රියාත්මක කරන්න ඕනේ. කාටවත් කරදරයක් නැතිවන සේ ඒවා ප්‍රචාරය කළාට වරදක් නැහැ...” යැයි ගැමුණු විජේරත්න මහතා දේශයට පැවසීය.

කෙසේ වුවද අද වෙද්දී මීට වසර ගණනාවකට පෙර තිබූ බස් සේවයට වඩා හොඳ බස් සේවාවක් ලබාදෙන බව බස් ධාවකයෝ පවසති. බොහෝ අබලන් වූ බස් රථ මාර්ගයේ ධාවනය වීමට නතර කරනා අතර ඒ වෙනුවට වෙනත් නව බස් රථ ධාවනයේ යොදවන බවද ඔවුහු කියති.

♦ දිශානි ජයමාලි කරුණාරත්න