2018 ජුනි 09 වන සෙනසුරාදා

එදා රේඩියෝ එකෙන් කනට වැටුණු ඇඩ්

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 1233
 
ශ්‍රී ලංකාවේ රූපවාහිනිය භාවිතයට ආ මුල් කාලයේ විකාශනය වූ වෙළෙඳ දැන්වීම් රාශියක් අද දින අන්තර්ජාලයේ සංරක්ෂණය වී පවතී. මෝටර් රථයක් රුපියල් හයදාහකට පමණ අලෙවි කළ කාලයේ පටන්. සඟරාවලත්, පුවත්පත්වලත් පළවූ මුද්‍රිත වෙළෙඳ දැන්වීම් අද දිනත් අන්තර්ජාලයේ දැකගත හැකි වේ. එහෙත් පැරණි ගුවන් විදුලි වෙළෙඳ දැන්වීම් පොදු ජනයාට අසාගත හැකි ලෙස සංරක්ෂණය වී ඇති බවක් නොපෙනේ. ඒවා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සංරක්ෂණය වී තිබිය හැකි නමුදු අන්තර්ජාලයේ නම් පහසුවෙන් සොයාගන්නට නැත.
 
අද දින වෙළෙඳ දැන්වීම්වලින් නිරන්තරයෙන් පිරීයන රූපවාහිනී තිරය මත අපි ඉඳහිට ටෙලිනාට්‍ය සහ වෙනත් වැඩසටහන් දකිමු. රූපවාහිනියේ පැමිණීමත් සමඟ ප්‍රදර්ශනය වන්නට ගත්තේ ඇස ඉලක්ක කොටගත් වෙළෙඳ දැන්වීම්ය. රේඩියෝවෙන් පාරිභෝගික සමාජය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ (ශ්‍රව්‍ය ගෝචර) කනට ඇසෙන වෙළෙඳ දැන්වීම්ය. ගුවන් විදුලි වෙළෙඳ දැන්වීම් ශ්‍රවණය ඉලක්ක කොට සෑදූ මේවා නිසා ඒවා අසාගන්නට ශ්‍රාවකයා ගුවන් විදුලි යන්ත්‍රය අසලටම එන්නට ඕනෑ නැත.
 
රූපවාහිනිය ජනමාධ්‍යයක් ලෙස ප්‍රචලිත වන්නට පෙර කාලයේ උදේ සිට රෑ වෙනතුරු බොහෝ නිවෙස්වල, කඩවල රේඩියෝව පණගන්වා තිබීම සාමාන්‍යයෙන් සිදුවිය. එකල FM චැනල බිහිව තිබුණේ නැත. තිබුණේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවය සහ ස්වදේශීය සේවාවයි.. කෙසේ වුවද සිංහලෙන් කනට ඇසෙන්නට උදේ සිට රෑ වනතුරු බොහෝ දෙනා සුසර කරගෙන උන්නේ වෙළෙඳ සේවයයි.
 
වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය වූයේ වෙළෙඳ සේවයේය. අප කුඩා කල සෙල්ලම් කරන විටත්, පාරේ යන එන විටත්, ගෙතුලට වී සිටින විටත් වෙළෙඳ දැන්වීම් කන වැකුණේ නිරායාසයෙනි. අධ්‍යාපන ක්‍රමවේදය අනුව 75% ක් මතක හිටින්නේ ඇසට පෙනෙන දේය. එහෙත් අරුමයකි, 60 – 70 කාලයේ අපට ඇසුණු වෙළෙඳ දැන්වීම් පසු කාලයේ දුටු වෙළෙඳ දැන්වීම්වලට වඩා අගේට මතකය. එකල අප ඇසුවේ අද මෙන් පැහැදිලි හඬ දෙන FM ස්ටීරියෝ හඬ නොවේ. විදුලිය තිබුණු බොහෝ නිවෙස්වල ප්‍රධාන විදුලියෙන් පණගැන්වෙන රේඩියෝ තිබිණි. ඊට අමතරව නොයෙක් වර්ගයේ හා ප්‍රමාණයේ ට්‍රාන්සිස්ටර් රේඩියෝ භාවිත විය. මෙම වර්ග දෙකේම රේඩියෝවල ඇසුණේ අදට සාපේක්ෂව පැහැදිලි හඬ නොවේ. වායු කැළඹෙන කුරු කුරු හඬ ඕනෑම රේඩියෝවකට පොදු වූයේය. (ඒ මදිවාට අපි ඒවාට බද්දක්ද ගෙවූයෙමු.) කන බොන දෑ, පරිහරණය කරන දෑ යන මේ හැම භාණ්ඩයක් උදෙසාම වෙළෙඳ දැන්වීම් පැරණි වෙළෙඳ සේවයේ ප්‍රචාරය විය. අලෙවි කරන භාණ්ඩයේ වරුණ, වචනයෙන් කියා ප්‍රමාණවත් නොවන විට, අසන්නාගේ සිතේ හොඳින් සනිටුහන් කිරීමට ශ්‍රව්‍ය මාධ්‍යයේ නොයෙක් ක්‍රම උපයෝගී කර ගැනිණි. ඇතැම් භාණ්ඩවල මහිමය ගීයකින් කියැවිණි. ඇතැම් ඒවා ගැන නාට්‍යමය දෙබස්වලින් කියැවිණි. අද දක්වා බොහෝ විට භාවිත කරන උද්‍යෝගී (වෙළෙඳ) පාඨ එකල වෙළෙඳ දැන්වීම්වලද භාවිත වූයේය.
 
 
ගීයකින් කියූ වෙළෙඳ දැන්වීම් අතර හොඳින් මතකයේ සටහන් වූවකි (Durol) ඩියුරෝල් වෙළෙඳ දැන්වීම.
 
ඇඟ පතට පණ එන්න - ඩියුරෝල්
කඩිසරව ගැවසෙන්න - ඩියුරෝල්
යකඩ චෙරි රස ඇති - ඩියුරෝල්
මිහිරි විටමින් ටොනික් - ඩියුරෝල්
 
මෙම ගීයේ තනුවට උපයෝගී කර ගත්තේ බටහිර ශ්‍රාවකයන් අතර ජනප්‍රිය කැලිප්සෝ ගායකයකු වූ (අද අනූ ගණන්වල වයසේ පසුවන) හැරී බෙලාෆොන්ටේගේ (Harry Belafonte) ගේ Coconut woman ගීතයේ මැද එන තනුවයි.
 
Get your coconut water
Man it’s good for your daughter
Coco gotta latta iron
Make you strong like a lion
 
පොල්වල ගුණ කියන්නට භාවිත කළ Coconut woman ගීයේ තනුව, ඩියුරෝල්වල වරුණ කියන්නට භාවිත වූයේ ඒ ආකාරයටය. ඩියුරෝල්වල උද්‍යෝගී පාඨය වූ සිංහ සෙයියාවෙන් පිබිදෙන්න යන වැකියද Make you strong like a lion යන්නෙන් අනුවර්තනය කොට ගත්තක් බව පෙනේ.
 
පහත සඳහන් වන්නේ ස්වර්ණාභරණ වෙළෙඳ දැන්වීමක් උදෙසා ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ ගීයකි. වෙළෙඳ දැන්වීමක් යැයි නොසිතෙන තරමට එම ගීය අපට කටට හුරැවිය. මෙය ගුවන් විදුලියෙන් වැඩිම කාලයක් නොකඩවා ප්‍රචාරය වූ දැන්විමද විය හැකිය.
 
මංගල මුදු, මාල වළලු, රන් අබරණ ලබාගන්න, විශ්වාසයි, කල් පවතියි, වගකීමට බැඳී සිටියි.
 
නෙත පිනවන රූ වඩවන අලංකාර මෝස්තරයි, ඔබත් යන්න මනාලියනි, ඔබෙ මංගල මුදුව ගන්න. වෝග් ජුවෙලර්ස්///
 
සුප්‍රසිද්ධ ගායක එම්.එස්. ප්‍රනාන්දුගේ ගීයක මුල්පද දෙකද ස්වර්ණාභරණ වෙළෙඳ දැන්වීමක් උදෙසා භාවිත කර ගැනිණි.
 
රත්තරනින් මාලයක් සදන්නම්
දිස්නෙ දෙන්න මැණිකක් යොදන්නම්
 
ග්ලූකෝරස නම් ජුජුබ්ස් වර්ගය උදෙසා භාවිත කළ ගීය කෙතරම් අසන්නන් අතරට ගියාදැයි කිවහොත් පසු කලෙක රූපවාහිනී වෙළෙඳ දැන්වීම් උදෙසාද, සුනිල් පෙරේරාගේ කටහඬින් ඒ ගීය උපයෝගී කර ගැනුණේය. රේඩියෝ වෙළෙඳ දැන්වීම්වල මුල් කාලයේ ඒ ගීය ගැයුණේ වෙනත් ගායකයකුගේ කටහඬිනි. එහි ඇත්තේ සරල පද දෙකකි.
 
ග්ලූකෝරස මාමේ, ග්ලූකෝරස මාමේ කොච්චර කෑවත් මදි මට, ග්ලූකෝරස කෝ? ග්ලූකෝරස මාමාගේ චරිතය එම ගීයෙන්ම හඳුන්වාදුන් චරිතයකි. ඒ වෙනුවෙන් කටහඬක් මුලදී වාදනය වූයේ නැත. එසේ වුවද අපට මැවී පෙනුණු ග්ලූකෝරස මාමා පසුව මෙසේ එම දැන්වීමට එකතු විය. 
 
ග්ලූකෝරස පොඩිත්තන්ට හරි හොඳයි... ග්ලූකෝරස පොඩිත්තන්ට හරි ගුණයි... ග්ලූකෝ රස... ග්ලූකෝරස හරි රසයි
 
හැට ගණන්වල හරිත විප්ලවයෙන් පසු නව තාක්ෂණය වර්ධනය කිරීම උදෙසා, නේකවිධ කෘෂි රසායන හඳුන්වාදෙනු ලැබිණි. මෙම කෘෂි රසායන අලෙවිය බහුජාතික සමාගම් විසින් සිදුකරන ලදී. එම සමාගම් තම වෙළෙඳ දැන්වීම් ඉලක්කගත වෙළෙඳපොළ ඛණ්ඩයට (Market segment) නිසි පරිදි එල්ල කිරීමට සමත් වූයේය. ඒවා හඳුන්වාදිය යුතු වූයේ, ග්‍රාමීය ගොවි ජනතාවට නිසා ඔවුනට සමීප, පැල් කවි, ගොයම් කවි, සීපද තාල හා ශෛලිය ඒවාට යොදා ගැනුණේය.
 
ග්‍රැමොක්සෝන් ඉසින්නේ
හොඳට වතුර බඳින්නේ
පස්සේ පෝරු ගාන්නේ
වී ටික දැන් ඉසින්නේ
 
සීසෑමකින් තොරව ලහිලහියේ තම කුඹුරට වී ටික ඉහාගැනීම සඳහා සූදානම් කරන ආකාරය එම වෙළෙඳ දැන්වීමෙන් කියාපෑවේය.
 
1977 වසරේ එ.ජා.ප රජය බලයට පත්වූ අවධියේ ටික දවසක් යනතුරු වල්නාශක දැන්වීමක පහත පැල් කවියේ මුල් පදය යොදා ගැනුණේය.
 
ලස්සන හිමවතේ මාවී පැසෙන්නේ* එම වෙළෙඳ දැන්වීමේ එකී කවියේ දෙවැනි පදය කිසිවිටෙක කීවේ නැත. එය මෙසේය.
 
දුක් දෙන අලි ඇතුන් පන්නා හරින්නේ
 
දෙවැනි පදය කෙසේ වෙතත් පළමු කවි පදය කී වෙළෙඳ දැන්වීම ටික දිනකින්ම නැසී අතුරුදන් විය.
 
ගීත හෝ දෙබස් යොදාගැනීම වෙනුවට ඊ.එච්. කුරේ ගෘහභාණ්ඩ වෙළෙඳ දැන්වීම්කරැ වෙනත් භාෂා දෙකක් නිර්මාණාත්මක අයුරින් උපයෝගී කර ගත්තේය. වෙනත් කිසිම වෙළෙඳ දැන්වීමක ඒ ආකාරයෙන් වෙනත් භාෂා යොදා නොගැනුණු නිසා ශ්‍රාවකයාගේ මතකයේ එය හොඳින් රුඳුණේය.
 
නිවේදක:-
හින්දි භාෂාවෙන් මෙසේ කියයි.
 
හින්දි කටහඬ:- (හින්දි නොතේරෙන අපට ඇසුණේ මේ ආකාරයේ වදන් පෙළකි) - ශබර්දස් බික්‍රීපල් වී ජෝ ශාන්දාර් ෆර්නිෂර්.
 
නිවේදක:- මේ පිලිපීන භාෂාවෙන්
 
පිලිපීන කටහඬ:- සුපලිතන් කොන්ත හානම්... (ජීවිතේ පළමු වතාවට අප පිලිපීන භාෂාව ඇසුවේ මෙම දැන්වීමෙන්ය)  මැද හරියේ පිලිපීන භාෂාවෙන් මොනවාදෝ කියා, එම වැකිය මෙසේ නිමාවෙයි.
 
ශයි එව් කුරේ ශාන් ශයිපාර සිඤ්ඤෝ
 
නිවේදක:- ලෝකයේ කුමන භාෂාවෙන් කෙසේ කීවත්* යනුවෙන් ආරම්භ කොට ඔහු එම ගෘහ භාණ්ඩවල අනගි බව සිංහලෙන් කියයි.
 
ඊට පිළිතුරු ලෙස මොරටු පුරවරයේම පිහිටි ගෘහ භාණ්ඩ ආයතනයක් වූ ලයනල් ෆර්නිෂර්ස් මෙවැනි දැන්වීමක් ටික කලකින්ම ප්‍රචාරය කළේය. ලෝකයේ වෙනත් භාෂාවලින් නොකීවාට සිංහල භාෂාවෙන් කී විට තේරෙනවා ඇත. හොඳම ලී බඩු....... යනුවෙන් එම ගෘහභාණ්ඩවල අනගි බව කියාපෑවේය.
 
ඇතැම් වෙළෙඳ දැන්වීම්වල මිහිරි නොවූ ශබ්ද නිර්මාණාත්මකව යොදාගැනුණි. මේ කියන වෙළෙඳ දැන්වීමේ ලී මෝලක ලී ඉරන ගොරහැඩි හඬක් මුලින්ම ඇසේ.
 
නිවේදක:- ඒ හඬ ඇසෙන්නේ මාලිගාවත්ත ලී මෝලෙනි. එය ඉතාම කෙටි සීමාවකදී ප්‍රබල පණිවුඩයක් නිකුත් කළ දැන්වීමක් විය. (මල් නම් ජයරත්න... ජයරත්න නම් මල් යන්න තවත් එවැනිම දැන්වීමක් විය.)
 
ගීතයක්, සංගීතයක් යන කිසිදෙයක් නැතිව මාලිගාවත්ත වෙළෙඳ දැන්වීමේ එකී ගොරහැඩි හඬ උපයෝගී කරගනු ලැබීය. අද පවා නින්දෙන් ගොරවන අයකුගේ හඬ ඇසෙන විට අපි, &ඒ හඬ ඇසෙන්නේ මාලිගාවත්ත ලී මෝලෙන් කියා කියන්නෙමු.
 
(ඉතිරි කොටස ලබන සතියේ)
 
 සමන් පුෂ්ප ලියනගේ