2018 ජුනි 09 වන සෙනසුරාදා

ගොවියා බිල්ලට තබන සෙවණගල විරෝධය

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 133

විවිධ ඉල්ලීම් කරමින් විවිධ පාර්ශව සිදුකරන විරෝධතා හා උද්ඝෝෂණ අද වනවිට සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. දැනට දින 12ක්  තිස්සේද තවත් අපුරු විරෝධයක් ආරම්භ කෙරුණේ සෙවණගල සීනි ආයතනයේ සේවකයන් විසිනි. ඒ පසුගියදා සිදුවූ විද්‍යානුකූල කැබිනට් මාරුවකට අනුව සෙවණගල සීනි ආයතනය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ලබාදීමට විරෝධය දක්වමිනි. සීනි ආයතනයේ සේවකයෝ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ලබාදුන් සෙවණගල සීනි ආයතනය ඔහුගෙන් ඉවත් කරන ලෙසට රජයට බල කරමින් ඉකුත් 26 වන දින සිට සේවයෙන් ඉවත්ව සිටිති.

මේ හේතුව නිසා අසරණ තත්ත්වයට පත්ව සිටින්නේ අසරණ උක් ගොවියාය. මෙම විරෝධතාවය හේතුවෙන් ගොවියාට සිය අස්වනු අලෙවි කර ගැනීමට නොහැකි වී තිබේ. මේ වනවිට උක් ටොන් 4500ක් පමණ සීනි සමාගම ඉදිරිපිට හා උක් වගාවන් තුළ කපා දමා තිබේ. සිය වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් ගොවියා බිල්ලට දීම කොතරම්දුරට සාධාරණ ක්‍රමවේදයක්ද යන්න සිතා බැලිය යුතු කරුණකි. සේවකයන් හා පාලකයන් අතර පවතින ගැටුම්වලදී නිරතුරුවම අගතියට පත් පාර්ශවය බවට පත්වන්නේ පැත්තක සිටින අසරණ ගොවියා හෝ අහිංසක ජනතාව පමණි.

අපි මේ සම්බන්ධයෙන් සෙවණගල සීනි ආයතනයේ ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති ලලිත් ශ්‍රීපාල් මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු පැවසුවේ මෙවන් අදහසකි.

මේ වනවිට මේ වැඩවර්ජනය හේතුවෙන් උක් ටොන් 4500ක් විතර එකතු වෙලා තියෙනවා විකුණගන්න බැරිව. මේවා මෙහෙම ට්‍රැක්ටර්වල ගෙනාව විදියටම තියලා තියෙන කොට ඒවායෙහි තියෙන පැණි ප්‍රතිශතය ගොඩක් අඩුවෙනවා. ඒකෙන් ගොවියට විශාල පාඩුවක් වෙනවා. අපි ඒක දන්නවා. ඒ පාඩුව අපිට දැනෙනවා.මොකද මේ ගෙනත් තියෙන උක් ගස් අතරේ අපේ අම්ම තාත්තගේ උක් ගසුත් තියෙනවා. මේකේ වැඩ කරන සේවකයන්ගේ උක් අස්වැන්නත් තියෙනවා. ඒ නිසා කාටවත් කියන්න පුළුවන් කමක් නෑ අපි උක් ගොවියාගේ බෙල්ලට තොණ්ඩුව දමලා අපේ යම් අරමුණක් ඉටු කරගන්න හදනවා කියලා.

අපේ එකම අරමුණ වෙන්නේ මේ සෙවණගල සීනි ආතනය රැක ගැනීම. අපි කැමති නෑ මේ ආයතනය නැවත දයා ගමගේ මහත්තයට විකුණනවට. සීනි ආයතනය 2015 දින 100 ආණ්ඩුව යටතේ තිබුණේ ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා යටතෙයි. වර්තමානයේ තිබුණේ රිෂාඩ් බදුයුදීන් අමාත්‍ය වරයා යටතේ. නමුත් පසුගිය දා සිදු වූ විද්‍යානුකූල කැබිනට් සංශෝධනයට අනුව නැවත වරක් මෙම ආයතනය ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා යටතට පත් කරනවා. 
2015 දින 100 ආණ්ඩුව යටතේ ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මේ ආයතනයට එනකොට රුපියල් කෝටි 72ක් මේ ආයතනයේ ස්ථිර තැන්පත් ලෙස තිබුණා. ඒ වගේම ඒ වර්ෂයේදී උක් ටොන් දෙලක්ෂ හැට දහසක ප්‍රමාණයක් අපි ඇඹරුවා. නමුත් පුදුමේ කියන්නේ මේ අමාත්‍යවරයා පත් වුණාට පස්සේ අපේ තිබුණු ස්ථාවර තැන්පතුත් නෑ. අපි අඹරපු උක්වල මුදලුත් නෑ. අන්තිමට මේ අයතනය පාඩු ලබන ආයතනයක් බවට පත් වුණා.

පාඩු වෙන්න ප්‍රධානම හේතු කීපයක් තිබුණා. ඒකෙන් එකක් වුණේ ඒ දවස් වෙනකොට සීනි තොග මිල තිබුණේ කිලෝ එකක් රුපියල් 85.50ක් ලෙසයි. නමුත් කිරිඇල්ල මහත්තයා යටතේ පත්වුණු සභාපතිවරයා මේකේ තිබුණු සීනි රුපියල් 62.50ට පාඩු පිට විකුණනවා. ඒ විකුණන අවස්ථාව වනවිටත් සීනි කිලෝ එකක තොග මිල තිබුණේ රුපියල් 85.50කට. නමුත් පාඩු පිට මේ සීනි ටික ඔක්කොම විකුණුවා. මෙන්න මේ වගේ කිරිඇල්ල අමාත්‍යවරයා මේ ආයතනය ටික ටික පාඩු බලන ආයතනයක්ය කියලා පෙන්වන්න කටයුතු කළා. මොකද්ද මේකේ යටි සැලසුම වුණේ. මේ අයට ඕනකම තියෙනවා නැවතත් මේ සීනි ආයතනය දයා ගමගේ මහත්තයටම විකුණන්න. ඒකට අවශ්‍ය පසුබිම තමයි කිරිඇල්ල මහත්තයා මේ හැදුවේ.

කොහොම නමුත් මේ අතරවාරයේදී පාඩු ලබමින් තිබුණු ආයතනය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයා යටතට පත් වුණා. ඒ පත්වීමෙන් පසු ඒ අමාත්‍යවරයා යටතේ මේ අයතනය නැවත ලාභ ලබන ආයතනයක් බවට පත් වුණා. 2017 වනවිට මේ ආයතනය නැවතත් මිලියන 691ක් ලාභ ලබනවා. එතකොට අපි අහන්නේ 2015 වනවිට මේ ආයතනයේ තිබුණු අපේ මිලියන ගණනක තැන්පතුවක් නැති කරපු කිරිඇල්ල මහත්තයට නැවත මේක දෙනවද? නැතිනම් පාඩු ලබමින් තිබුණු මේ ආයතනය මිලියන ගණනකින් වැඩිකරපු රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයට දෙනවද? කියන එකයි. මේ වෙලාවේ අපි අපේ මේ අඛණ්ඩ වැඩ වර්ජනය දිගටම ක්‍රියාත්මක කරගෙන යනවා. අපිට නිසි පිළිතුරක් ලැබෙනතුරු. සහතික වශයෙන්ම අපිට වගකිවයුතු පාර්ශවයන්ගෙන් ලිඛිත පොරොන්දුවක් දිය යුතුයි මේ සෙවණගල සීනි ආයතනය පුද්ගලික අංශයට විකුණන්නේ නෑ කියලා. අන්න එහෙම පොරොන්දුවක් දුන්නොත් අපි සුදානම් නැවත වැඩ කරන්න.

රජය පාර්ශවය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ඩී.එල්. වික්ටර් මහතාගෙන්ද අප කරුණු විමසීමු.

ඇත්තටම අපිත් මේ ආයතනය ලක්ෂ්මන් කිරි ඇල්ල මහත්තයට දෙනවට විරුද්ධයි. ඒකට ප්‍රධාන හේතුව තමයි ලාභ ලබමින් තිබුණු මේ ආයතනය එතුමගේ කාලේ දැඩි ලෙස පාඩු ලැබුවා. පාඩු ලැබුවා විතරක් නෙමෙයි පාඩු ලබන ආයතනයක් කියලා මේක විකුණන්න අවශ්‍ය පිඹුරුපත් පවා සැකසුවා. නමුත් රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයා යටතේ තියෙද්දී මේ ආයතනය නැවත ලාභ ලැබුවා. ඉතින් මේකෙන් අපට පේන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල මහත්තයට නැවත මේ ලාභ ලබමින් තියෙන සීනි ආයතනය විද්‍යානුකූල ක්‍රමයට කියා දීමෙන් පැහැදිලි වෙන්නේ මොන ආකාරයකට හෝ නැවත මේ ආයතනය විකුණා දැමීමේ කුමන්ත්‍රණයක් පවතින බවයි. අපි ඒකට කොහෙත්ම කැමති නෑ. අපිට මේ ආයතනය දියුණු කරන කෙනෙකුයි ඕනේ. 

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අන්තර් සේවක සංගමයේ සභාපති ඩබ්ලිව්.වී. වීරසිංහ මහතා මෙසේ පැවසීය.

සෙවණගල සීනි ආයතනය කියන්නේ කොළඹට වෙලා කෑකෝ ගහන ප්‍රතිපත්ති හදනවය කියන අයගේ අම්මගෙ අප්පගේ බූදලයන් නෙමෙයි. මේක මේ ප්‍රදේශයේ ජීවත්වෙන මේ උක් ගොවින්ගේ දේපලක්. අපේ දේපලක්. ඉතින් ඒ නිසා අපිට මේ ආයතනය ඒ ඒ අයට ඕන ඕන විදියට ඕන ඕන අයට විකුණන්න දෙන්න පුළුවන්කමක් නෑ. අපි ඒකට කොහෙත්ම කැමති නෑ. ලක්ෂ්මන් කිරිඇල්ල මහත්තයා මේ ආයතනය පාඩු ලබන ආයතනයක් බවට හිතාමතාම පත්කරලා මේක විකුණන්න හදනකොට තමයි නැවත මේ ආයතනය රිෂාඩ් බදුයුදීන් ඇමතිවරයා යටතට පත් වෙන්නේ. හැබැයි එතුමා මේ ආයතනය නැවත ලාභ ලබන තැන පත්කළා. ඉතින් එහෙම ලාබ ලබන තැනට ගෙනාව මේ ආයතනය දැන් නැවතත් කිරිඇල්ල අමාත්‍යවරයා යටතට පත් කරන්න යාමෙන් අපට පැහැදිලි වෙන්නේ මේ බලධාරීන් මේ ආයතනය දයා ගමගේ මහත්තයට විකුණන්න යනවය කියන එකයි. අපි ඒකට කොහෙත්ම කැමති නෑ. 

කෙසේ වෙතත් සෙවණගල සීනි ආයතනයේ මේ පත්ව ඇති අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව ඇත්තේ උක් ගොවියාය. ගැටුම ඇත්තේ බලධාරීන් හා සේවකයා අතරය. පීඩාවට පත්ව ඇත්තේ කිසිවක් නොදත් ගොවියාය. මේ නිසා අප ගොවින් කිහිපදෙනකුද හමු වූයේ මේ පිළිබඳව විමසීමටය.

සෙවණගල කොවුල්ආර උතුර පදිංචි උක් ගොවියෙකු වන එන්.ජී.රංජිත් මහතා

අපි ජීවත් වෙන්නේ මේ උක් වගාවෙන්. නමුත් දැන් දින 12ක් තිස්සේ පවතින මේ වැඩවර්ජනය හේතුවෙන් අපේ උක් ගස් මිලදී ගැනීම නතර කරලා තියෙනවා. මගේ උක් ටොන් 35ක් විතර සීනි ආයතනය ඉස්සරහා ගෙනත් දමලා තියෙනවා. නමුත් ඒ අය ඒවා මිලදී ගන්නේ නෑ. 25 වෙනිදාට පෙර කපපු උක් ගස් තමයි මේ ට්‍රැක්ටර්වල ගොඩ ගහලා ගෙනත් දමා තියෙන්නේ. මේ ගෙනාපු උක් ටොන් 35න් දැන් ටොන් 20ක්වත් ගන්න බෑ. මෙතනම තිබිලා අවුවට අහුවෙලා උක් ගස් විනාශවෙලා බර අඩු වෙලා ගිහින් තියෙන්නේ. තව උක් ටොන් 50ක් විතර කපන්න තියෙනවා. මෙතනට ගෙනාපු උක් ටොන් 35 වටිනාකම රුපියල් 175000/=ක්. නමුත් දැන් රුපියල් 75000ක්වත් මේ උක් ගස් ටිකෙන් ගන්න බෑ. අපි ණය ගෙවාගන්න ඕනේ මේ උක් ගස් ටිකෙන්. අපි ජීවත් වෙන්න ඕනේ මේකෙන්. නමුත් දැන් අපිට වෙලා තියෙන්නේ වස බොන්නයි. මාස ගාණක් තිස්සේ දුක් විඳලා දුක් විඳලා උක් අස්වැන්න නෙළන කාලය වෙනතොට ඒවා මිලදී ගන්න ඒ ආයතන ඉදිරිපත් නොවෙන කොට ගොවියා අසරණ වෙනවා. අපි සීනි ආයතනයේ බලධාරීන්ට කියනවා මේ වැඩවර්ජනය නිසා අපිට සිදුවුණු පාඩුවට එහා වන්දි ගෙවන්න කියලා.

සෙවණගල ඉඩම් අංක 70 පදිංචි එන්.ඒ. නිමල් මහතා.

මෙහෙම වුණාම අපි ගත්ත ණය කොහොමද ගෙවන්නේ. අපි කන්නේ බොන්නේ දරුමල්ලන් ඉස්කෝලේ යවන්නේ, අඳින්නේ පළදින්නේ, මේ ඔක්කොම කරගන්නේ මේ වගාවෙන් ලැබෙන මුදලින් තමයි. නමුත් දැන් දැන් උක් වගාව සිදුකරන ගොවියට අත්විඳින්නට වෙලා තියෙන්නේ පුදුම අසාධාරණකම් වලටයි. මේ නිසා තවදුරටත් මේ විදියටම පැවතියහොත් අපි උක් වගාවෙන් ඉවත් වෙලා මේ බිම්වල වෙනත් අතුරු භෝග වගා කරනවා. 

කෙසේ නමුත් ගොවීන්ගේ උක් අස්වනු වහා මිලදී ගන්නා ලෙස සෙවණගල සීනී ආයතනයේ පාලනාධිකාරියට හා ඉහළ මැති ඇමතිවරුන්ට බලකරමින් සෙවණගල ඩංඩුම හන්දියේදී උක් ගොවීන්ගේ දැවැන්ත විරෝධතාවයක්ද පසුගිය 05 වන දින පැවැත්විණි. කුමන විරෝධතා උද්ඝෝෂණ පැවතියද වගකිවයුතු පාර්ශව තවමත් නිහඬය. සීනි ආයතනයේ සේවකයින්ගේ විරෝධතාවයට කොතරම් සාධාරණ හේතු පැවතියද ඔවුන්ටද උක් ගොවියා බිල්ලට තබා ගැනීම අසාධාරණය. රට කරවන ඇත්තෝද මේ පිළිබඳව කඩිනමින් සොයාබලා ඊට සාධාරණ විසඳුමක් ලබාදිය යුතුය. එසේ නොවන්නට සිදුවන්නේ රටේ ජාතික සම්පත්වල විනාශයක් පමණි.

♦  සටහන හා සේයාරූ - සූරියවැව නුවන් ජයසේකර