2018 මැයි 12 වන සෙනසුරාදා

ලෙස්ටර්ගේ පදක්කමේ ඔත්තුව ආවේ නාවලපිටියේ කොල් එකකින්

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 164

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට ඉන්දීය නවදිල්ලි සිනමා උළෙලේදී වර්ෂ 2000දී සිනමාවට කළ සුවිශේෂී මෙහෙවර වෙනුවෙන් පිදුණු රණමයුර රන්පදක්කම ඒ මහතාගේ මළගමදා සොරාගැනීම ආන්දෝලනාත්මක සිද්ධියක් විය. ඉන් දින දෙකකට පසුව හදිසියේම කඩුවෙල කොල්ලුපිටිය සුඛෝපභෝගී බස්රථයක් තුළින් එම පදක්කම මතුවීම අහඹුවක් නොවූ ගැටලුවක් වුවද අගමුල නැති එවැනි ප්‍රසිද්ධ සොරකමක් කොට පලාගිය මෙරට හතළිස් වසරක් තිස්සේ ලියාපදිංචි අපරාධකරුවකු ඇතුළු සිව්දෙනකුගේ වෘත්තීය ගැටකපන කල්ලිය දැන් සියල්ල වමාරා හමාරය.

එම හොරකම හෙළිකරන්නට සහ අත්අඩංගුවට ගැනීම සඳහා කළ මෙහෙයුමේ කතාවයි මේ. ලෙස්ටර් මහතාගේ අවසන් කටයුතු සිදුවූ දිනයේ අදාළ රන් පදක්කම අතුරැදන් වී තිබෙන බවට පැමිණිලි කර තිබුණේ ඒ මහතාගේ ඥාතියකු විසිනි. ඒ අනුව සිදුවීම පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසයද එක්ව විමර්ශනයක් ආරම්භ කළේය.

මේ වනවිටත් පදක්කම අතුරුදන් වීම පිළිබඳ විශාල මාධ්‍ය ප්‍රතිචාරයක් ලැබීම සොරා ගත්තවූවන්ට අවාසියක් වී තිබිණි. මේ අතර ගතවෙමින් තිබුණේ තුන්වැනි දිනයයි. ඒ පසුගිය 5 වැනි සෙනසුරාදා පස්වරු 2.15ට පමණ කොල්ලුපිටිය පොලිස් ස්ථානයටත් බම්බලපිටිය පොලිස් ස්ථානයටත් පැමිණි දුරකථන ඇමතුම් දෙකකි. එම ඇමතුම් දෙකෙන්ම දන්වා තිබුණේ 177 මාර්ගයේ කඩුවෙල - කොල්ලුපිටිය සුඛෝපභෝගි බස් රථයක ලෙස්ටර් මහතාගේ අතුරැදන් වූ සම්මානය ඇති බවය.
මෙහිදී දුරකතන පණිවුඩකරු අදාළ බස්රථයේ අංකය සමඟ බස්රථ රියදුරුගේ ජංගම දුරකථන අංකය ලබාදීමට අමතක නොකළේය. වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු අතරින් බම්බලපිටිය පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් කොල්ලුපිටිය බස් නැවතුමේ රැකවලා සිටියහ. ඒ අතර කොල්ලුපිටිය පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් කොළඹ ග්‍රීන්පාත් මාර්ගයේ නෙළුම්පොකුණ අසල රුඳීසිට අදාළ බස්රථයට නැග තිබුණි. මෙම දුරකථන ඇමතුම ලැබී තිබුණේ බස්රථය කඩුවෙල සිට පිටත්වන අවස්ථාවේදී බවට හෙළිවූයේ පසුවය.

එහෙත් මේ වනවිටත් ලෙස්ටර් මහතාගේ නිවසෙන් පදක්කම ගත්තේ කවුද? පසුව එය බස්රථයේ තැබුවේ කවුද? ගැටලුවක් වී තිබිණි. තවත් ප්‍රශ්නයක් වූයේ පොලීසියට පැමිණි දුරකතන ඇමතුමේ අංකය නාවලපිටිය ප්‍රදේශයේ දුරකතන කුටියක එකක් වීමය. මෙදින සෙනසුරාදා දිනයක් නිසාත් පසුගිය ඉරිදා සහ අනතුරුව මැයි 7 රජයේ නිවාඩු දිනයක් වීම හේතුවෙන් දුරකථන සමාගම්හි කාර්යාල නිවාඩුය. එබැවින් තාක්ෂණික වශයෙන් විමර්ශනයට සහාය ලබාගැනීමට අවස්ථාවක් නොවීය.

කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් නෙළුම්පොකුණ අසලදී බස්රථයට නැග පදක්කම ඔවුන් භාරයට ගෙන තිබුණද එය සොරා ගත්තේ කවරෙක්දැයි සෙවීම බම්බලපිටිය පොලිසියේ නිලධාරීහු අත් නොඇරියහ. ඔවුහු ලෙස්ටර් මහතාගේ නිවසේ පටිගත කිරීම් සිදුකළ රූපවාහිනී මාධ්‍ය ආයතනවල සංස්කරණය නොකළ දර්ශන සියල්ල විමර්ශනය කළහ. ඉන් එක් ආයතනයක් සතු දර්ශනයක පටිගත වී තිබුණේ බිත්තිය කෙළවරක උඩින් තබා තිබූ ජංගම දුරකතනයක් යම් අයකු විසින් අත ඔසවා ලබාගන්නා අයුරුයි. එහෙත් මිනිසුන් අතර ඔහුගේ රුව පෙනෙන්නට නොවීය. අනතුරුව ලෙස්ටර් මහතාගේ නිවස ඉදිරිපිට නිවසක තිබූ සී.සී.ටී.වී. කැමරාවක දර්ශන විමර්ශනයට ලක්කෙරිණි. එම දර්ශන පසුගිය 2 වැනිදාට අදාළ ඒවා පමණය. එහි දකින්නට ලැබුණු සැකසහිත රතු පැහැති ත්‍රිරෝද රථයකි. එය එම ස්ථානයට පැමිණ එදින පෙරවරු 9 පමණ සිට නවතා තිබිණි.

කළු කලිසම්වලින් හා සුදු කමිසවලින් සැරසුණු මැදිවියේ පුද්ගලයන් තිදෙනකු ඉන් බැස යන බවත් නැවත පෙරවරු 11.15ට පමණ පැමිණ ත්‍රිරෝද රථයට නැග යන බවත් දකින්නට ලැබිණ. මොවුන් පිටව යන්නේ එදා ලෙස්ටර් මහතාගේ දේහය නිවසින් රැගෙන ගිය අවස්ථාව කිට්ටුවය. කෙසේ වෙතත් මේ පුද්ගලයන් තිදෙනා පෙර සඳහන් කළ මාධ්‍ය ආයතනවල සතු දර්ශනවල දකින්නට සිටියේ නැත. මේ ආකාරයට අසළ මාර්ගවල තිබූ සී.සී.ටී.වී. කැමරා 20කට අධික ප්‍රමාණයක් අධ්‍යයනය කළ නිලධාරීන්ට තවත් එක් කැමරාවක දත්තවලින් ත්‍රිරෝද රථයේ අංකය WPABC-0911 වශයෙන් හඳුනාගැනීමට හැකිවී තිබිණි. ඒ අනුව එම අංකය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට ලබාදී එහි හිමිකරු හඳුනාගත්තේය. කාන්තාවකගේ නමට එහි ලියාපදිංචි සටහන්ව තිබූ අතර ඇය පදිංචිව සිටියේ කිරිවත්තුඩුව ප්‍රදේශයේය. 

ඇය සොයා ගිය නිලධාරින් හමුවේ ඇය කියා තිබුණේ ත්‍රිරෝද රිය ඇගේ බවත් සිය තාත්තා විසින් එය පදවන බවත්ය. ඒ අනුව ඇගේ පියා වන චන්ද්‍රසිරි අල්විස් පදිංචිව සිටින කඩුවෙල ප්‍රදේශයට ගිය නිලධාරීහු ඔහු වෙත ගොස් ප්‍රශ්න කළහ. ලෙස්ටර් මහතාට අයත් පදක්කම සොරා ගැනීමේ තොරතුරු හෙළි වූයේ ඉන් පසුවය.

කඩුවෙල කොතලාවල පදිංචි සී. චන්ද්‍රසිරි අල්විස් - (61) කියා තිබුණේ ඔවුන් තිදෙනකු එකතු වී සොරකම් කරන බවත් මේ පදක්කම හොරාගැනීම ද තමන් විසින් සිදුකළ බවත්ය. ඒ සඳහා තිදෙනා ත්‍රිරෝද රථයෙන් ගමන් කරන බවත් කොළඹ ප්‍රදේශයේ ප්‍රභූන් සහභාගී වන උත්සව හා මළගෙවල්වල සොරකම් කිරීම වෘත්තිය වශයෙන් සිදුකළ බවත් පවසා ඇත. මේ ආකාරයට ලෙස්ටර් මහතාගේ දේහය තැන්පත් කර තිබියදී ඊට පෙර දිනයේ එහි පැමිණ අදාළ පරිශ්‍රය නරඹා ගොස් ඇත. ඒ අනුව ඔවුන් සැලසුම්කර තිබුණේ රන් පදක්කම සොරා ගන්නටය. සැලසුම පරිදි දේහයේ අවසන් කටයුතු සිදුකෙරෙන මොහොතේ සගයින් රැගත් ත්‍රිරෝද රිය ගොස් තිබුණේ ඒ සඳහාය.

තිදෙනා එහි පැමිණ සිටියදී අල්විස්ගේ හිතවතකු ද මළගෙදරදී හමුව ඇත. ඔහු සමගිපුර ආනන්ද පෙරේරා නමැත්තෙකි. ඔහු වෘත්තියෙන් පික්පොකට් ගසන්නෙකි. ඔහු පැමිණ තිබුණේ ඒ කාර්යයටය. නමුත් අල්විල් ඇතුළු පිරිස පැමිණ සිටියේ භාණ්ඩ සොරාගන්නටය. අදාළ කටයුතුවල පිරිස නිරතව සිටින අතරතුර ගෙදර තිබූ කැමරාවක් සොරාගෙන තිබුණේ ආනන්ද විසින්ය. මේ කරැණු පසුව හෙළිවූ ඒවාය.

ඊට පෙර අත්අඩංගුවට පත් අල්විස් පොලිස් භාරයේ සිටියදී නිමල් පිළිබඳ තතු වමාරා සිටියේය. එදින සොරාගත් ජංගම දුරකතනය රැගෙන ගොස් තිබුණේ ඔහුය. ඒ අතරතුර චන්ද්‍රසිරිට පැමිණි දුරකථන ඇමතුමකි. ඉන් කතා කළේ නිමල් හෙවත් රාළහාමිය. 

ඔහු කියා සිටියේ තමා හෙට මැයි දිනයට සුගතදාස ක්‍රීඩාංගණයේ උත්සවයට යන බවත් එදාට ගේමක් දෙන්නට සෙට්විය යුතු බවත්ය. ඒ ගමන සඳහා ඔහු දැන් කඩුවෙලට එන බවත් දෙදෙනා හමුවිය යුතු බවත් ඔහු කීවේය. පොලිසියේ උපදෙස් මත පිළිතුරු දුන් චන්ද්‍රසිරි කීවේ තමා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආ බවත් නැවත එනතෙක් කඩුවෙල රැඳීසිටින ලෙසත්ය. ඒ අනුව කඩුවෙල නගරයේදී නිමල් කොටුකරගත් පසුව එන අතරමගදී නිමල්ගේ ගෝලයා කොටුකර ගැනීමට හැකි විය.

ආනන්ද නමැත්තා වටිනා දුරකතනය සොරාගෙන එදිනම නාවලපිටියට ගොස් තිබිණ. දුරකතන අලෙවි සලකට එය රුපියල් 4000කට අලෙවි කළද පසුදින සොරකම පිළිබඳ මාධ්‍ය වාර්තා පළවීම නිසා ඔහු නැවත දුරකතනය රැගෙන විත් තිබිණි. එහෙත් ඔහු නැවත රැගෙන ආවේ වෙනත් මාරු කළ දුරකතනයකි. මොහු කාලයක පටන් ජංගම දුරකථන සොරකම් කරන්නෙකි. සොරාගත් ජංගම දුරකථන අලෙවි කරන්නේ නාවලපිටිය පිහිටි දුරකතන අලෙවි සලටය. එහි ගිය පොලිසියට ඔහු අලෙවි කළ ජංගම දුරකථන 8ක් සොයා ගැනීමට හැකිවිය. ලෙස්ටර් මහතාගේ නිවෙසෙන් සොරාගත් ජංගම දුරකතනයද එහිදී හමුවී තිබිණ. සොරකම් කළ භාණ්ඩ මිලට ගෙන අලෙවි කළ දුරකථන අලෙවිසලේ සැකකරුද පොලිස් අත්අඩංගුවට පත්විය. සිද්ධියට කොටුකරගත් සැකකරුවන් සංඛ්‍යාව 6කි. ඔවුහු චන්ද්‍රසිරි අල්විස් (61), නිමල් හෙවත් රාළහාමි (37), ආනන්ද පෙරේරා (69), නලේන්ද්‍රන් (46), සිසිර කුමාර (47), ෂාමලන් (32) යන අය වෙති.

මේ අය කණ්ඩායම් වශයෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ප්‍රභූන් රැස්වන උත්සව සහ අවමඟුල් උත්සවවලදී සොරකම් කිරීම කාලයක සිට සිදුකරන බවට අනාවරණය කර ඇත. මෙහි සැකකාර රාළහාමි නැමැත්තා මෙවැනි වැරදි 7කට වරදකරුවකු වී 1977 වර්ෂයේදී ලියාපදිංචි අපරාධකරුවන්ගේ ලයිස්තුවට එක්වූවකි. ඔහු වසර 40කට වැඩි කාලයක් වෘත්තීය වශයෙන් සොරකම් කළ අයෙකි. ආනන්ද පෙරේරා නැමැත්තා 2004 වර්ෂයේ ලියාපදිංචි අපරාධකරුවන්ගේ ලයිස්තුවට එක්ව ඇති අතර නලේන්ද්‍ර නැමැත්තා 2014 වර්ෂයේ දී ඊට ඇතුළත් කළ අයෙකි. අත්අඩංගුවට පත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ පසු ලබන 21 දා තෙක් රිමාණ්ඩ් බාරයේ තැබීමට නියෝග කෙරිණි.

බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් යටවර මහත්වරුන්ගේ උපදෙස්මත බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අංශක මහින්ද වීරක්කොඩි, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් මෙත්තානන්ද මහතා සමඟ පොලිස් කොස්තාපල්වරුන් වන 68896 සනුක, 55354 අතුල, 76141 වාසල, 89091 වීරසිංහ, 49857 ජයසිංහ, 81978 සිල්වා සහ 67314 අජිත් කුමාර යන නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.

► සමන්ත ප්‍රදීප් විල්තෙර
සේයාරූ - ලහිරු හර්ෂණ

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00