2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

වරාය නගරය කොළඹ ගිලාබස්සනවද?

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 583

වරාය නගරය.... එය වරෙක ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනේ කේන්ද්‍රස්ථානය විය. තවත් විටෙක එය දූෂිත පාලනයක අදූරදර්ශී තීරණයක් විය. ඉක්බිති නැවතත් එය ලෝකයේ මූල්‍ය කේන්ද්‍රස්ථානය විය. දැන් එය කොළඹ ගිලා බස්වන අමුතු භූතයකු වී ඇත.

කොළඹ සිතියම වෙනස් කරමින් කොළඹට එකතුවන්නට සිටින මේ කුඩා භූමි ප්‍රදේශය පිළිබඳ ගෙවුණු වසර හතරක කාලය තුළ ඇසුණු කතා සියල්ල එක පිඬකට ගත්විට සාරාංශ කළ හැක්කේ එලෙසිනි. මහින්ද රාජපක්ෂ යුගයේදී හරියටම කියතොත් 2014 සැප්තැම්බර් 16 වැනිදා චීන ජනාධිපති ෂී ජින් පින් මහතා විසින් මුල්ගල් තබන්නට යෙදුණු වරාය නගරය ඊට මාස කිහිපයකට පසුව එළඹුණු ජනාධිපතිවරණයේදී කතාබහට ලක්වූ උණුසුම්ම මාතෘකා අතුරින් එකකි. 

එය ඉදිකිරීම් සම්බන්ධව නිසි පාරිසරික ඇගැයීම් වාර්තාවක් ලබාගෙන නොතිබූ බව කියමින් ඉක්බිති බලයට පැමිණි ආණ්ඩුව වසරක පමණ කාලයක් එහි ඉදිකිරීම් තාවකාලිකව නවතා දැමූ අතර එම තීරණය උඩ ශ්‍රී ලංකා-චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව පවා බරපතළ හානියකට ලක්විය. 

එවකට වරාය නගරය සම්බන්ධයෙන් ඉදිවූ ප්‍රධාන චෝදනා පහත ආකාරයට ගොනු කළ හැකිය. 

හෙක්ටයාර 108ක් චීනයට පැවරීම රටේ ආරක්ෂාවට තර්ජනයක් වීම.

2011දී හෙක්ටයාර 200ක භූමියකට පරිසර තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කළද මහජන අදහස් විමසීමකින් තොරව හෙක්ටයාර 269 දක්වා වැඩිකිරීම.

මුහුදු වැලි හෑරීමෙන් සිදුවන බලපෑම.

වැලි ගොඩදැමීම මගින් මසුන් බෝවන ස්ථාන විනාශ වී ධීවර කර්මාන්තයට බලවත් හානි ඇති වීම.

වෙරළ ඛාදනය වැඩිවීම.

කෙසේ හෝ වේවා අලුත් ආණ්ඩුව යටතේ සිදුකළ පරිසර ඇගැයුම් වාර්තාවකින් පසු, එහෙත් පරිසර සංවිධාන රැසක හා ධීවර සංවිධාන රැසක විරෝධය තිබියදීම එය යළි ආරම්භ විය. අලුත් බෝතලයකට පරණ වයින් දැම්මා වාගේ යන පිරුළ ද සිහිගන්වමින් කලින් ආණ්ඩුව යටතේ වරාය නගරය වූ මේ බිම් කඩට යළි ඉදිකිරීම් ඇරඹීමෙන් පසු දැමූ නම වූයේ මූල්‍ය නගරය යන්නයි. 

මූල්‍ය නගරය යන නමින් වරාය නගරයේ වැඩකටයුතු දැන් ශීඝ්‍රයෙන් සිදුවෙමින් පැවැතිය ද පසුගියදා මැතිවරණ වේදිකාවකදී ජනාධිපතිවරයා පැවසූ අලුත් කාරණයක් සම්බන්ධව වරාය නගරය මෙන්ම කොළඹ නගරයේ ආරක්ෂාව ගැන ද විශාල කම්පනයක් ජනතාව තුළ ඇතිවිණැයි කීම සාධාරණ ය.

පඬුවස්නුවර පැවැති සන්ධානයේ මැතිවරණ රුළියක් අමතමින් සිටි අතරතුර ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ වරාය නගරය නිසා කොළඹ ගිලා බැසීමේ අවදානමක් මතුව ඇති බව ය. ජාත්‍යන්තර වශයෙන් ද පිළිගැනීමක් ඇති ජී.ජී. කරුණාරත්න නම් ඉංජිනේරුවෙකු මෑතකදී සිදුකළ දේශනයක් ඇසුරෙන් එක් පුවත්පතක් පළකර තිබූ පුවතක් උපුටා දක්වමින් ජනාධිපතිවරයා මෙම ප්‍රකාශ කළේය.

කොළඹ නගරයේ ඇති පැරැණි ගොඩනැගිලිවලට වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු නිසා හානි විය හැකි අතරම වරාය නගරය හේතුවෙන් කොළඹ භූගත ජල මට්ටම ඉහළ යාමත් එහි ප්‍රතිඵලයක් ලෙස අඩු පාදමක් ඇති ගොඩනැගිලි ගිලා බැසීමේ අවදානමක් ඇති බවත් එම ඉංජිනේරුවරයා පෙන්වා දී තිබුණි.

කෙසේ වෙතුදු ජනාධිපතිවරයා ජනරැළියකදී මේ අදහස් ප්‍රකාශ කිරීමෙන් දින කිහිපයකට පසු වරාය නගරය භාරව සිටින නාගරික සංවර්ධන අධිකාරිය භාර ඇමැතිවරයා වන මහ නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක ජනාධිපතිවරයා පළකළ අදහස් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේය. වරාය නගරය නිසා ඇතිවිය හැකි ගැටලු පිළිබඳ පූර්ණ අවබෝධයක් ඉංජිනේරුවන් සතු බවත් කොළඹ ගිලා බැසීමේ ඉඩක් කිසිසේත් නොමැති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරසිටියේය.

මෙහිදී අවධානයට යොමුකළ යුතු තවත් කරුණක් වන්නේ ආචාර්ය කරුණාරත්න හැරුණු විට වෙනත් දේශීය ඉංජිනේරුවන් විසින් වරාය නගරයේ මෙවැනි අහිතකර ප්‍රතිඵලයක් පිළිබඳ කරුණු ඉදිරිපත් කර නොතිබීමයි. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේත්, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයේත් නිලධාරීන් අප කළ විමසීමකදී පැවසූයේ එවන් අනතුරුදායක තත්ත්වයක් ඇතිවීමේ හැකියාව ඉතා අවම බව ය.

යම් හෙයකින් ජනාධිපතිවරයා කියන්නාක් මෙන් වූ දරුණු හානියක් කොළඹ නගරයට සිදුවන බව පෙනී ගියා නම් මෙම කාර්යයට සම්බන්ධ ලාංකික ඉංජිනේරුවන් ඒ ගැන තම හඬ අවදි නොකරනු ඇතැයි සිතීමටද අපහසුය. මන්ද පසුගිය කාලයේ එට්කා ගිවිසුම පිළිබඳව කතාබහ ඇදී යන මොහොතේදී ඊට මුල සිටම විරුද්ධත්වය පෑ පිරිසක් වූයේ ද ඉංජිනේරුවන් ය. එනම් ඉංජිනේරු ක්ෂේත්‍රය මෙන්ම එහි ආදීනව රටට බලපෑම් සිදුවිය හැකි අවස්ථා පිළිබඳ නිශ්චිත අදහසක් සහිතව ක්‍රියාත්මක වන වෘත්තීය සන්ධානයක් ලෙස ද මෙරට ඉංජිනේරුවන් පෙන්වා දිය හැක.

කෙසේ හෝ වේවා වරාය නගරය නිසා යම් අනතුරක් සිදුවිය හැකිද යන්න පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදුකිරිමට හෝ දැනට සිදුව තිබෙන අධ්‍යයනයන් තුළින් යම් හානිදායක තත්ත්වයක් මතුව පවතීද නැතිද යන වග ජනතාවට ඉදිරිපත් කිරීමේ වගකීම ඇත්තේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ය. අනෙක් අතට ජනාධිපතිවරයා ද හුදෙක් පුවත්පත් පාඨ ජනතාව ඉදිරියේ ප්‍රකාශ කරනු වෙනුවට මේ පිළිබඳ ප්‍රාමාණිකයින් සමඟ විධිමත් සාකච්ඡාවක් සිදුකොට කරුණු දැක්වීමේ ස්ථාවරයකට යන්නේ නම් වටී. මන්ද වරාය නගරයේ හිතකර හෝ අහිතකර බලපෑම ගැන කරුණු සෙවීමේ හැකියාව ඇත්තේ සාමාන්‍ය ජනතාවට නොව ආණ්ඩුවට ම නිසා ය. 

I රෙහාන් රාසික්

ජනාධිපති ලේකම් කාර්යාලයත් හෙලවෙනවා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශය

පෝට් සිටිය ගැන එහි භයානකකම ගැන අද විද්‍යාඥයෝ අනතුරු අඟවනවා. පිරිසක් වරාය නගරයේ ආයෝජන වටිනාකම ගැන කතාකරද්දි මම ඔබට එහි භයානකකම ගැන පෙන්වා දෙන්නම්. 

වරාය නගරය නිසා කොළඹ ගිලාබැසීමේ අනතුරක් පවතින බව ආචාර්ය කරුණාරත්න කියනවා. මේක බොහොම තර්කානුකූලයි. ඇතැම් වෙලාවට ජනාධිපති ලේකම් කර්යාලයත් සෙලවෙන්න පටන් ගන්නවා. කාර්ය මණ්ඩලේ අයත් කියනවා සර් අපි ඉන්න තැන් හිටපු ගමන් හෙලවෙනවා කියලා. මේ අනතුර ගැන අපි හිතන්න ඕන. මේ ගිවිසුම අත්සන් කරන්න කලින් හරි ශක්‍යතා අධ්‍යයනයක් සිදුකරලා නැහැ.

එහෙම වෙන්නෙ නෑ
බස්නාහිර සංවර්ධන හා මහා නගර සැලසුම් අමාත්‍ය පාඨලී චම්පික රණවක

වරාය නගරය නිසා කොළඹ නගරය ගිලා බහින්න යනවා කියලා පිරිසක් වැරදි ප‍්‍රවෘත්ති පතුරුවාගෙන යනවා. කොළඹ වරාය නගරය හදන්නේ ගොඩ ඉංජිනේරුවෝ නෙමෙයි. කොළඹ වරාය නගරය හදන්නේ අන්තර්ජාතික මට්ටමේ විශේෂඥ ඉංජිනේරුවෝ. එතන ඇතිවීමට නියමිත ගැටලු මොනවද කියලා අපි දන්නවා. මෙම රජය පත්වීමත් සමඟ අපි වරාය නගරය ගැන විධිමත් පාරිසරික අධ්‍යයන වාර්තාවක් ලබාගත්තා. ජල තලයේ ඇතිවන වෙනස්වීම් ආදිය එහි සඳහන් කර තිබෙනවා. ඒවාට අපි පැහැදිලි විසඳුම් ලබාදී තිබෙනවා. අපි ඉදිරියේදීත් එම තත්ත්වයන් පැහැදිලිව මැන ගනිමින් එම කටයුතු සිදු කරනවා. එම නිසා කොළඹ ගිලාබහින්න යනවයි කියන අයට දෙන්න තිබෙන උත්තරේ 2025 දී තට්ටු60 ක ගොඩනැගිලි එම ස්ථානයේ ඉදිවනවා. එම 60 වෙනි තට්ටුවට ගිහින් බලමු කොළඹ කොච්චර ගිලා බැහැලද? කොච්චර උඩට නැඟලද කියලා. මම ඒ ගොල්ලන්නට එය විවෘත අභියෝගයක් විදිහට කියනවා.

සාධාරණ විවේචන අපි බාරගන්නවා. මොකද අපි ඉංජිනෙරුවෝ. අපි දන්නවා මොනවද වෙන්න යන්නේ කියලා ඒ අනුව අපි ඒ සඳහා නිසි පියවර ගන්නවා. කොළඹ නගරයේ ඉදිකිරීම් කරනකොට ප‍්‍රශ්න මතුවෙනවා. මම ඒ වගේම ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අපි එක ආසන්න ගෙවල් තුනක වාසය කරන්නේ. අපේ නිවසට පිටුපසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිවාස සංකීර්ණයක් ඉදිකරනවා. අපේ නිවාස අවුරුදු 100 ක් පමණ පරණයි. එම ව්‍යාපෘතියේ බිම් හාරන කොට අපේ නිවාසවලට හානි සිදුවී තිබෙනවා. නමුත් අපි ඒවා ඉවසගෙන ඉන්නවා. ඇයි අපි ඒවා ඉවසන්නේ අපේ රාජ්‍ය නිලධාරීන්ට නිවාස ඉදිකිරීම ඉතා වැදගත් නිසා. අපි ඒකට ඉවසීමෙන් සහයෝගය ලබාදෙනවා. මේ රටේ සංවර්ධනය පිළිබඳව පැමිණිලි කරනවාට වඩා ඉවසීමෙන් සංවර්ධනයට ඉඩදීමයි සිදුකළ යුතු වන්නේ. මෙම සංවර්ධනයේදී හොඳ ප‍්‍රතිඵල ලැබීමට කල් යනවා. 

අවදානමක් නෑ
ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයේ සභාපති ඉංජිනේරු ජී.ඩී.ඒ. පියතිලක

වරාය නගරයේ ඉදිකිරීම්වල සමස්ත උපදේශන කාර්යය සිදුවන්නේ අපි අතින් නොවේ. එය සිදුවන්නේ මෙගා පොලිස් අමාත්‍යංශය හරහායි. නමුත් අපිට භාර දෙන යම් යම් කොටස්වලට අදාළව ඉංජිනේරැමය ප්‍රමිතිය පරීක්ෂා කර බැලීම්, අධීක්ෂණ කටයුතු අපි සිදුකරනවා. 

කොහොම නමුත් මගේ පෞද්ගලික නිරීක්ෂණය නම් ඔය කියනවා වාගේ වරාය නගරය නිසා කොළඹ නගරය ගිලා බැසීමේ අවදානමක් නැහැ. වරාය නගරයේ ඉදිකිරීම්වල සමස්ත උපදේශන කාර්යය සිදුවන්නේ අපි අතින් නොවේ. එය සිදුවන්නේ මෙගා පොලිස් අමාත්‍යංශය හරහායි. නමුත් අපිට භාර දෙන යම් යම් කොටස්වලට අදාළව ඉංජිනේරුමය ප්‍රමිතිය පරීක්ෂා කර බැලීම්, අධීක්ෂණ කටයුතු අපි සිදුකරනවා. කොහොම නමුත් මගේ පෞද්ගලික නිරීක්ෂණය නම් ඔය කියනවා වාගේ වරාය නගරය නිසා කොළඹ නගරය ගිලා බැසීමේ අවදානමක් නැහැ. 

හිතන්න අමාරුයි
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු නීල් අබේසේකර

ඇත්තටම කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සම්බන්ධව අපේ ඍජු මැදිහත්වීමක් නැහැ. ලංකාවේ ඉංජිනේරු සහාය වරාය නගරයට ලැබෙන්නේ මධ්‍යම ඉදිකිරීම් උපදේශන කාර්යංශය හරහායි.

නමුත් වරාය නගරය සම්බන්ධව සිදුකෙරුණු සාකච්ඡාවලට ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමය විදිහටත්, මම ඉංජිනේරුවකු ලෙස පෞද්ගලිකවත් සම්බන්ධ වුණු අවස්ථා තිබෙනවා. ඒ අවස්ථාවලදී අපි යම් යම් කරුණු ගැන සාකච්ඡා කළා. ඒ දේවල් ගැන වැඩිදුර අදහස් තිබෙනවා නම් අපේ සාමාජිකයන්ට ඒ ගැන ඍජුව මෙගා පොලිස් අමාත්‍යංශයට කරුණු කීමේ අවස්ථාව අපි ලබාදුන්නා. ඒ නිසා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විදිහට අපිට මේ ගැන වැඩි යමක් කියන්න අමාරුයි. නමුත් ඉංජිනේරුවෙක් ලෙස මගේ විශ්වාසය තමයි ඔය කියන විදිහේ ගිලා බැහීමක් වරාය නගරය නිසා සිදුවෙන්න අමාරුයි. එහෙම දෙයක් ගැන වාර්තා වුණා නම් ලංකාවේ ඉංජිනේරැවෝ ප්‍රසිද්ධියේ අදහස් දක්වන්න බියවෙන්නේත් නැහැ. 

 

 

 

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00