2018 ජනවාරි 13 වන සෙනසුරාදා

පිරිමින්ට කරදර ‍දෙන පුරස්ථ ග්‍රන්ථයේ ඉදිමීම

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 4004

ස්ත්‍රි පුරුෂ දෙපාර්ශවයෙන් පිරිමින්ට අනන්‍ය වූ ඉන්ද්‍රියක් වන පුරස්ථ ග්‍රන්ථිය (Prostate) පෞරුෂ ග්‍රන්ථිය ලෙසින් ද ආයුර්වේදයේ හැඳින්වේ. මෙම ග්‍රන්ථිය ඇතුළතින් පිරිමින්ගේ බාහිර මුත්‍රා මාර්ගය පිහිටා ඇත.

පිරිමි ක්‍රියාකාරකම් හා සම්බන්ධ බොහෝ හෝර්මෝන වර්ග මෙම ග්‍රන්ථිය ආශ්‍රිතව නිපදවේ. ශුක්‍රාණු නිකුත් කිරීම මෙන්ම ලිංගික ක්‍රියාවලියේ දී මෙම පෞරැෂ ග්‍රන්ථියට හිමිවන්නේ ඉතා වැදගත් තැනකි.

පිරිමි දරුවකුගේ ළමා කාලයේ දී මෙම ග්‍රන්ථිය ඉතා කුඩාවට පිහිටයි. නමුත් ගැහැනු දරුවකු වැඩිවියට පත්වනවා සේම පිරිමි දරුවා ද නිසි වයසේ දී වැඩිවියට පැමිණෙයි. බොහෝ විට ඔහුට වයස අවුරුදු දාහතරක් පමණ පසුවන විට ද්විතීක ලක්ෂණ මතු වේ.

ද්විතික ලක්ෂණ මතුවෙද්දී පිරිමි දරුවන්ගේ පෞරුෂ ග්‍රන්ථිය ද ක්‍රමයෙන් විශාල වේ. එය සාමාන්‍ය තත්ත්වයකි. යම් කාලසීමාවක දී මෙම ග්‍රන්ථිය විශාල වීම නතරව සාමාන්‍ය ප්‍රමාණයට පත් වේ. හෝර්මෝන වර්ග පරිවර්තනය වීම, හෝර්මෝන වර්ග වෙනස් වීම ආදිය මේ කාලයේ දී සිදු වේ.

සාමාන්‍යයෙන් ඇතැම් පිරිමින්ගේ වයස අවුරුදු හතළිස් පහ, පනහ පසුවෙද්දී මේ තත්ත්වය නැවතත් වෙනස් වේ. එනම් හෝර්මෝනවල යම් යම් වෙනස්කම් හේතුවෙන් මෙම ග්‍රන්ථිය නැවතත් විශාල වීමට පටන් ගනී. එය ඇතැම් විට අක්‍රමවත්ව සිදු වේ. අවසානයේ දී කාලයක් යද්දී මෙය රෝගයක් දක්වා දුරදිග යයි.

එමෙන්ම ඇතුළතින් පිටතට එනු ලබන මුත්‍රා තදවීමක් ද සිදු වේ. ඇතැම් විට මේ තත්ත්වය තවත් දරුණු වීම නිසා මුත්‍රා පිටකිරීමට අපහසු වේ.

රෝග ලක්ෂණ

මෙහි ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ මුත්‍රා පිටකිරීමේ දී ඇතිවන අපහසුතාවයි.

මුත්‍රා කිරීමට අවශ්‍ය වුවද මුත්‍රා කිරීමේ දී මුත්‍රා පිටනොවීම.

සාමාන්‍ය පිරිමියකුගේ මුත්‍රා ඈතට විහිදේ. නමුත් මෙම රෝගීන්ගේ මුත්‍රා එසේ ඈතට පිටවීමක් සිදුනොවේ.

නිතර නිතර මුත්‍රා පිටකිරීමට සිදු වේ.

මුත්‍රා අවසන් කිරීමේ දී කඩින්කඩ නතර වේ. 

මුත්‍රා දැවිල්ල

රුධිරය සමඟ මුත්‍රා පිටවීම.

මේ තත්ත්වය වැඩි වූ විට මුත්‍රා පිටවීමක් සිදුනොවේ.

මේ තත්ත්වය අවසානයේ දී ඉතා අපහසු තැනකට එයි. එවිට බාහිරව මුත්‍රා මාර්ගය තුළින් මුත්‍රා බට යොදා මුත්‍රා එළියට පිටකිරීමට සිදු වේ. මේ හේතුව නිසා මුත්‍රා ආසාදනයක් ඇතිවීමට ද පුළුවන. එමෙන්ම වෙනත් ඉන්ද්‍රියන්වලට හානි සිදුවීමට ද මේ තත්ත්වය හේතු වේ. විශේෂයෙන් වකුගඩුවලට හානි සිදුවිය හැකිය.

මෙය සැබැවින්ම සැලකිලිමත් විය යුතු රෝගයකි. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මෙම රෝගය හඳුන්වනු ලබන්නේ Prostate Enlargement නමිනි. නමුත් පෙර සඳහන් කළ පෞරුෂ ග්‍රන්ථිය විශාල වීමේ රෝග තත්ත්වය ඉතා දරුණු වූ විට එය පිළිකාමය තත්ත්වයක් බවට ද පත්විය හැක. පිරිමින්ගේ පිළිකාවක් සෑදිය හැකි ප්‍රධාන ඉන්ද්‍රියක් ලෙසින් මෙම ඉන්ද්‍රිය හැඳින්විය හැක. මෙම පිළිකාමය තත්ත්වයක් ඇති වූ විට එය තරමක් බරපතළ වේ. එවිට ඇතැම් විට මෙම ඉන්ද්‍රිය සැත්කම් මගින් ඉවත් කිරීමට සිදු වේ.

පෞරුෂ ග්‍රන්ථිය විශාල වූ විට ඇතැම් රෝගීන්ට මුත්‍රා බට යොදා මුත්‍රා පිටකිරීමට බෑගයක් එල්ලීමට ද සිදු වේ. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව මෙම රෝග තත්ත්වයේ දී කරනු ලබන ප්‍රතිකාරවලින් සියයට සියයක්ම රෝගය සුවකරගත හැකි ප්‍රතිකාරයක් නොමැත. මේ නිසා බොහෝවිට කරනු ලබන්නේ ශල්‍යකර්මයි. එයින් මුත්‍රා මාර්ගය තුළට උපකරණයක් යවා එම විශාල වූ කොටස සීරීමක් සිදුකරයි. එයින් මුත්‍රා පිටවීමේ මාර්ගය විශාල වේ. නමුත් කල්යද්දී ඇතැම් විට නැවතත් රෝගය ඇතිවීමට පුළුවනි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මේ සඳහා ඉතාමත් විශේෂ ප්‍රතිකාර තිබේ. මේ ප්‍රතිකාර බොහොමයකින් විශාල කළ ග්‍රන්ථීන් කුඩා කිරීමක් සිදු වේ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් සහ ප්‍රතිකාර මත නිට්ඨාවටම සුවකරගත හැක. වෛද්‍යවරුන් විසින් මුත්‍රාශය තුළට ඖෂධ යවා ප්‍රතිකාර සිදුකරයි. එය උත්තර වස්ථි කිරීම ලෙස හැඳින්වේ. මෙහි ගුණය වකුගඩු දක්වා ව්‍යාප්ත වේ. එමෙන්ම සුදුසු තෙලක් යොදා රෝගියාගේ උදර කොටසේ සහ මුත්‍රා අවට කොටසේ ආලේප කර ස්වේද කිරීම සිදුකරයි. මෙයට ආයුර්වේදයේ නාඩි ස්වේද කිරීම ලෙසින් හැඳින්වේ. ඒ සඳහා ආයුර්වේදයේ විශේෂිත උපකරණ සමන්විත වේ.

ඊට අමතරව රෝගියාට ඖෂධ බීමට ලබාදෙයි. මේ රෝගයට කරනු ලබන ප්‍රතිකාර රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ. රෝගියාගේ දෝෂ තත්ත්වය, රෝගියාට ඇති වෙනත් රෝගී තත්ත්වයන් අනුව කරනු ලබන ප්‍රතිකාර වෙනස් වේ. නමුත් ආයුර්වේදයේ මේ රෝගයට සාර්ථක ප්‍රතිකාර ඇත.

ආයුර්වේද ප්‍රතිකාර අනුව විශාල වූ පෞරුෂ ග්‍රන්ථි නැවත සාමාන්‍ය තත්ත්වයට පත්කරගත හැකිය. පෞරුෂ ග්‍රන්ථිය විශාල වීමේ තත්ත්වය රෝග ලක්ෂණවලින් මෙන්ම විශේෂඥ ආයුර්වේද වෛද්‍ය දැනුමෙන් ද හඳුනාගත හැක. එමෙන්ම ස්කෑන් ක්‍රමයක් මගින් ද, රුධිර පරීක්ෂාවෙන් ද මෙය පරීක්ෂා කරගත හැක. සැර, ඌෂ්ණ, ආහාරපාන ආදියෙන් ද, සිගරැට්, මත්පැන් ආදියෙන් ද මෙම රෝග තත්ත්වය වැඩි විය හැකි අතර එවැනි රෝගීන් ඒ පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.

ආචාර්ය වෛද්‍ය එල්.පී.ඒ. කරැණාතිලක
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය 
දේශීය වෛද්‍ය ආයතනය 
කොළඹ විශ්වවිද්‍යාලය

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00