2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

රෑට රෑට මුතුරාජවෙල ගොඩකරන බලවතා

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 202

මුතුරාජවෙල සෞන්දර්යට ආදරය කරන පිරිස් අදටත් ඒ අවට ගම්මාන තුළ ජීවත්වෙති. පසුගිය කාලය පුරාවට කොළඹ කුණු මුතුරාජවෙලට බැහැර කරනවාට විරුද්ධව අවට ගම්මානවල ජනතාව විරෝධතා උද්ඝෝෂණ පැවැත්වුවේද අභයභූමිය රැක ගැනීමේ අරමුණෙනි. ඒ තරමට ඔවුහු මුතුරාජවෙල ස්වභාව සෞන්දර්යට ආදරය කරති.

ප්‍රදේශවාසීන් එක්වී ගොනුකළ පෙත්සම සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ජූනි මස 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි තහනම් නියෝගයක් නිකුත් කළද නැවතත් මුතුරාජවෙල අභයභූමියට අයත් ප්‍රදේශයක් අනවසරයෙන් ගොඩකිරීම හේතුවෙන් ජනතාව නැවතත් විමසිලිමත්ව සිටිති. ඔවුන් එම විනාශය දෙස බලන්නේ මහත් වූ ශෝකයෙන් යුතුවය. එමෙන්ම පාතාල ලෝකයට කප්පම් ලබා දෙමින් සිදුකරන බව කියන මෙම අපරාධයට එරෙහිව ප්‍රදේශයේ ජනතාව තොරතුරු කීමට පවා මැලිවන්නේ ඒ පාතාල කණ්ඩායම්වලට ඇති බිය නිසාවෙනි.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සමීපයේ පිහිටි වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ පමුණුගම පොලිස් වසමට අයත් තුන්මෝදර ප්‍රදේශයේ මුතුරාජවෙල භූමි සීමාවට අයත් විශාල බිම් කොටසක් මෙලෙස අනවසර ගොඩකිරීමට ලක් වෙමින් පවතින බවට එම ප්‍රදේශයේ ජනතාව චෝදනා කරති.

එම ප්‍රදේශයේ ජනතාව පවසන ආකාරයට මෙය සිදු කෙරෙන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගංවතුර වැළැක්වීමේ ව්‍යාපෘතියක් වශයෙන් හඳුන්වමිනි. දිවා කාලයට වඩා රාත්‍රී කාලයේදී මෙම ගොඩකිරීම සිදු කෙරෙමින් තිබේ. විශාල ටිපර් රථ යොදාගනිමින් ගල්, පස් මෙන්ම ගොඩනැගිලි සුන්බුන්ද දමමින් මෙම ප්‍රදේශය ගොඩ කෙරෙන අතර එම ගොඩකරන ප්‍රදේශය ආවරණය කරමින් සියලු කටයුතු සිදුකිරීමටද මෙම පිරිස් උත්සාහ දරා ඇති බව එහි ගිය අපට දැකගත හැකි විය.
මෙම ගොඩකිරීම් නතර කරන ලෙසටත්, අනවසර වගුරුබිම් ගොඩකරන්නන්ට නීති මගින් දැඩි දඬුවම් ලබාදිය යුතු බවත් ජනාධිපතිවරයා නියෝග කරනු ලැබූයේ මීට ටික කලකට ඉහතදීය. එමෙන්ම එහිදී ජනාධිපතිවරයා ඉතා පැහැදිලිව ප්‍රකාශ කළේ ගංවතුර අවදානම නිසා බස්නාහිර පළාතේ කිසිදු වගුරු බිමක් ගොඩකිරීම තහනම් බවය. ජනාධිපතිවරයා එසේ නියෝග ලබාදී තිබියදීද එම නියෝග නොතකා මුතුරාජවෙල වැනි ස්වභාව සෞන්දර්යයෙන් අනූන පාරිසරික පද්ධතියට අයත් බිම් ප්‍රදේශයක් අනවසරයෙන් ගොඩකිරීමට තරම් මෙම පුද්ගලයන්ට ඇති බලපුළුවන්කාරකම ගැන ප්‍රදේශවාසීහු විස්මය පළකරති. 

මෙම ගොඩකිරීමට සම්බන්ධ පුද්ගලයා ප්‍රදේශයේ ගංවතුර වැළැක්වීමේ අවශ්‍යතාවය ඉදිරියට දමා වත්තල ප්‍රාදේශීය ලේකම්වරියට සහ ජාඇළ, පමුණුව පොලිස් ස්ථානධිපතිවරුන්ට යැවීම සඳහා යැයි කියමින් ප්‍රදේශවාසීන්ගෙන් ලිපියක්ද අත්සන් කරගෙන ඇත.
මුතුරාජවෙල අභයභූමියට අයත් තුන්මෝදර ප්‍රදේශයේ පිහිටි මෙම ගොඩකිරීම් සම්බන්ධව එම ප්‍රදේශයේ කිහිප දෙනෙක් අපට මෙලෙස අදහස් පළ කළහ.

එච්.ජී. ප්‍රේමතිලක
මේ මුතුරාජවෙලට මුලින්ම කුණු ගෙනල්ලා දැම්මා. ඒකට අපි විරුද්ධ වුණා. අපි අධිකරණයට පවා ගිහිල්ලා ඒක නැවැත්තුවා. දැන් මේ එක්කෙනෙක් මේක ගොඩකරනවා. වැඩි හරියක් රෑට තමයි මේක කරන්නේ. මේ කෙනා කවුද කියලා මුළු පළාතම දන්නවා. මීට කලිනුත් මෙයා අනවසර ගොඩකිරීම් කරලා නඩු පවා වැටිලා තියෙන කෙනෙක්. කාගේ හරි හයියක් නැතුව මෙහෙම කරන්න බැහැ. මෙයාට කාගෙන් හරි උදව් තියෙනවා. නම් ගම් කියලා අපිට නිකන් අමාරුවේ වැටෙන්න බෑ. මෙයාලා එක්ක හැප්පෙන්න අපි වගේ අහිංසකයන්ට බැහැ. මේ පැතිවල ඉන්න හැමෝම අය දන්නවා මේක කරන්නේ කවුද කියලා එහෙම දැනගත්තට කවුරුත් පැමිණිල්ලක්වත් දාන්න ඉදිරිපත් වෙන්නේ නැහැ.

නයෝමි හපුආරච්චි
මේ වැස්ස කාලේ අපිට හරියට ඉන්නවත් බැහැ වතුර ගෙවල්වලට දානවා. ගෙදර දොරේ බඩුවක් තියා දරුවන්ගේ පොතක් පතක්වත් වැස්ස වෙලාවට තියාගන්න බැහැ. මේ කෑල්ල ගොඩකරාම තව මේ යටවෙන එක වැඩිවෙන්න පුළුවන්. පාරක යන්න බෑ ලොකු වාහන ඇවිල්ලා වළවල් හැදිලා. මඩ වෙලා වැස්සට මේක තනිකර අපායක්. මේ ගැන අපිට කියන්න කවුරුත් නැහැ. ගමේ අයගෙන් අත්සන් අරන් තියේනනේ ගංවතුර පාලනය කරගන්න මේක කරනවා කියලා. ඒවා තනිකරම බොරු. ඉඩම් ගොඩකරලා කොහොමද ගංවතුර පාලනය කරන්නේ.

දිනසේන කහවිටගේ
මේ හැමෝම එන්නේ දුප්පත් අපේ ගම්වලටම තමයි. මේ ඉඩම ගොඩකරන්න පටන් අරන් දැන් මාස දෙකතුනක් වෙනවා. අද වෙනකම් ඔය වගුරු ගොඩකරන්න තහනම් කියපු එක ආණ්ඩුවේ මහත්තයෙක්වත් ආවේ නැහැ. මේවා බලලා යන්න පොලිසිවලට පැමිණිලි කරන්න ගිහින් නිකන් අපිට මැරුම් කන්න බැහැ. මේ අය මේවා පුරුදු වෙන්න කරන වැඩ නෙවේ මේවා. පිටිපස්සේ ඉන්නේ කවුද කියලා මේ මිනිස්සු නොදන්නවත් නෙවෙයි. හැබැයි මේ ඔක්කොම කටවහගෙන ඉන්නේ. එයාලා එක්ක අපිට හැප්පෙන්න බැරි නිසා අපි මේ අවනඩුව කාට කියන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ.

මෙම පුද්ගලයා මීට පෙර අවස්ථා කිහිපයකදීම මුතුරාජවෙල ගොඩකිරීම් ඇතුළු පරිසර සංහාරයන් සිදුකොට රක්ෂිත බන්ධනාගාරගතව මේ වනවිට ඇප මත නිදහස් වී සිටින අයකු බවද ප්‍රදේශවාසීහු පවසති.
ජනතාව පවසන ආකාරයට මෙම සුන්දර මුතුරාජවෙල අභය භූමියට වින කටින්නේ එකම පිරිසකි. දේශපාලකයන්ගේ අනුදැනුම මත මෙම පරිසරයට විනකරනා පිරිස පිළිබඳව ජනතාව දැන සිටියද ඔවුන් තම ඇස්කන් පියා බලා සිටින්නේ කළුගලේ ඔලුව ගසාගැනීම තේරුමක් නැති වැඩ යැයි කියමිනි.

 හසිත් අංජන
   සේයාරූ / සමන්ත ප්‍රදීප් විල්තෙර