2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

බැලුං මාමා අතින් මරණය හිමිකරගත් සොහාන්

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 215

“මගේ පුතා ආගිය අතක් නෑ මහත්තයෝ.... දැන් දවස් හතක් විතර වෙනවා. 24 වැනිදා උදේ දැක්කාට පස්සේ තාම ඇහැට දැක්කෙ නෑ... කොහේ ගියාද දන්නේ නෑ.... වෙනදාට දවස් දෙක තුනක් ගෙදරින් ගිහින් හිටියත් ආයෙම එනවා...”

මේ අඳෝනාව කියාගෙන කිරිඇල්ල පොලිස්ථානයට පැමිණි කාන්තාවක පැමිණිල්ලක් සටහන් කරනු ලැබුවේ සිය පුත්‍රයා අතුරුදන්ව ඇති බවත් කෙසේ හෝ ඔහුව සොයාදෙන ලෙසත් ආයාචනය කරමිනි. ඉකුත් 31 වැනිදා පැමිණිල්ල ඉදිරිපත් කළද දරුවා ආගිය අතක් නොමැතිව සිට ඇත්තේ 24 වැනිදා පටන් බව ඇසීම පොලිස් ස්ථානාධිපති ගුණසේන මහතා ඇතුළු නිලධාරීන් පුදුමයට පත් කළ කරුණක් විය.

අතුරුදන් වූ දිනයත් පැමිණිල්ල සටහන් කරන දිනයත් අරත දිගුකාලය සැකයට බඳුන් වූයෙන් ස්ථානාධිපතිවරයා ඇගෙන් වැඩිදුර තොරතුරු විමසා සිටියේය.

“මගේ දරුවා හිතුවක්කාරයි... හිතු මතේට වැඩ කරනවා.... කියන දෙයක් අහන්නෙ නෑ.... ඉස්කෝලෙ ගමනටත් වැඩිය කැමති නැ... තැන් තැන්වල ඇවිදිනවා. ඒත් මේ තරම් දවසක් ගෙදරින් පිට ඉඳලා නෑ මහත්තයෝ....” දරුවාගේ මව කඳුළු පුරවාගෙන කීවාය.

සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ කිරිඇල්ල පොලිස්ථානයේ නිලධාරීහු අතුරුදන් දරුවා පිළිබඳව හෝඩුවාවක් සෙවූහ. දරුවාගේ පාසල් මිතුරන් ඔහු පිළිබඳ යමක් දන්නවා ඇතැයි විශ්වාස කළ නිලධාරීහු පාසල් දරුවන් කීප දෙනකුගෙන්ද තොරතුරු විමසා සිටියහ. එහිදී එක පාසල් දරුවෙක් කියා සිටියේ මෙවැන්නකි.

“කරඳන පොළේ බැලුන් බෝල, නලා විකුණන මාමා කෙනෙක් එක්ක සොහාන් ගොඩක් හිතවත්. සමහර දවස්වලට සොහාන් එයත් එක්ක යනවා කියලනම් කියනවා...”

මේ අතර පාසලේ ගුරුවරියක පවසා තිබුණේ “ඔය කියන දවසේ මම ගියපු බස් එකේ ඒ දරුවා හිටියා... මට හිනාවුණා... අතරමඟදී බහිනවා දැක්කා” යනුවෙනි. මෙහිදී සොහාන්ගේ පාසලේ මිතුරෙක් පොලීසිය හමුවේ කියා තිබුණේ මෙසේය.

“සොහාන් කරඳන පොළේ වෙළෙඳාම් කරන මාමා කෙනෙක් එක්ක යාළුයි. එයා සොහාන්ට සෙල්ලම් බඩු දෙනවා. ඒ හින්දා මෙයා එයත් එක්ක යනවා. මට අන්තිමට හම්බුණු වෙලාවේ සොහාන් ළඟ නලා හතරක් තිබුණා. මටත් පිඹින්න කියලා දුන්නා.” යනුවෙනි.

මේ තොරතුරු පසුපස හඹා ගිය පොලීසිය කරඳන පොළේ වෙළෙඳාමේ නිරත වූවන් දෙස විමසිලිමත් විය. ඒ අනුව එම ස්ථානයේ බැලුන් බෝල සහ සෙල්ලම් බඩු අලෙවියේ නිරතව සිටි බවට කී අයකුගෙන් ප්‍රශ්න කෙරිණි. ඔහු කියා තිබුණේ තමා මීට වසරකට පමණ ඉහතදී වෙළෙඳාම නතර කළ බවත් ඒ වෙනුවට ඉංගිරිය ප්‍රදේශයේ සිට එන පුද්ගලයෙක් වෙළෙඳාමේ නිරත වන බවය. අදාළ පුද්ගලයා පිළිබඳව බොහෝ කාරණා දැනගත් පොලීසියේ නිලධාරීහු ඒ මොහොතේම ඉංගිරිය බලා පිටත් වූහ. එහිදී ඇල්ලගාව ප්‍රදේශයේ නිවෙසක රැඳී සිටියදී සැකකාර සෙල්ලම්බඩු වෙළෙන්දා අත්අඩංගුවට ගනු ලැබීය. පොලීසිය ඔහුගෙන් ප්‍රශ්න කළ සැණින් කියා සිටියේ “සොහාන් ගෙදරක ඉන්නවා... මම ගිහින් පෙන්වන්නම්...” කියාය. ඒ අනුව පොලීසිය සමඟ කරඳන ප්‍රදේශයේ පාළු නිවසකට ගිය ඔහු කිසිවක් නොකියා මඳවේලාවක් ගත කර කියා සිටියේ සොහාන් මේ ගෙදර නැති බවත් වෙනත් ස්ථානයක සිටිනා බවත්ය. එහිදී පොලිස් නිලධාරීන්ගේ උත්සාහය මත සෙල්ලම්බඩු වෙළෙන්දාගේ කතාව වෙනස් වී ගියේය.

“මම ඇත්ත කියන්නම් සර්.... සොහාන් මම සෑහෙන දවසක ඉඳන් අඳුරන ළමයෙක්. එයා ඉස්කෝලෙ ඇරිලා යන ගමන් දවසක තමයි මට මුණගැහුණේ. දැන් සෑහෙන කාලයක්. මට ඒ ළමයාට ආසා හිතුණා. ඒ නිසා මම කතා කරලා හිතවත් වුණා. සෙල්ලම් බඩුවක් දුන්නාම ඕන දෙයක් කරනවා. ඒ නිසා මට හිතෙන දවසට කතා කරනවා. කිසිම කරදරයක් නැතුව ළමයා මාත් එක්ක දවසක් දෙකක් ඉඳලා ගෙදර යනවා. එයාටත් නිදහස තමා ඕනෑ....”

මේ ආකාරයට පැවසූ බොහෝ කරුණු කාරණා අනුව සොහාන් නැමැති දරුවාට මෙකී වෙළෙන්දා විසින් අප්‍රමාණව බරපතළ ලිංගික අතවර සිදුකර ඇති බව පැහැදිලි විය. මේ වනවිට අනාවරණය වී තිබුණේ සොහාන් අවසන්වරට නිවසින් පිටත්ව යද්දී ඔහුගේ වැඩිමහල් සොයුරියට අයත් ජංගම දුරකතනයද රැගෙන ගොස් ඇති බවය. එමගින් සොහාන් අඳුර මිතුරන් කිහිප දෙනකුට 29 වැනිදා දුරකතන ඇමතුම් ලබාදෙමින් පවසා තිබුණේ කොළඹ සහ ඉංගිරිය ප්‍රදේශවල ඉන්නා බවය. සැකකරුගේ තොරතුරු අනුව ඉහත කරුණු සනාථ වෙමින් තිබියදී සැකකාර රත්නසිරි නොහොත් රත්නේ නැමැත්තා පාපොච්චාරණය පටන් ගත්තේය.

“මම සොහාන් එක්ක ගියේ 25 වැනිදා. මේ දවස් ටිකට තැන් ගණනාවකම හිටියා. හොරණ, හඳපාන්ගොඩ, දොළේකඩේ, කුරණ කියන තැන්වල ගෙවල් කීපයක හිටියා. 30 වැනිදා වෑවිලට ගියා. එහේ ඥාතියෙක්ට අයිති අතඇරපු ගෙදරක් තිබුණා. කරඳන කියන හරියේ. ඒ ගෙදර රෑ හිටියේ.

පහුවදා උදේ කීනගහවිල යන්න දෙන්නාම පිටත්වුණා. ඇවිදගෙන යද්දී පාළු හරියකදී සොහාන්ට මීමැස්මොරය හැදුණා. සිහි නැතිවෙලා ගොඩක් වෙලා හිටියා. මම හිතුවා මැරෙන්න ඇති කියලා. මගෙත් එක්ක ඉඳලා මැරෙන්න ඇති කියලා බයට එයා උස්සලා කරේ තියාගෙන මීටර් හත් අටසීයක් ඇවිදගෙන කැලේට ගියා. කැලේ කන්ද උඩ ගල්තලාවක් තිබුණා. එතන ඉඳන් පහළට තල්ලුකරලා මම ආවා.”

සැකකරුගේ පාපොච්චාරණය අනුව ඔහු කැටුව ගිය පොලීසිය ඇතුළුවූයේ ගල්කඩුව අක්කර පහක් පමණ වූ කැලෑවක් මැදටය. ඔහුගේ ප්‍රකාශය අනුව ගල්තලාව ඉහළ සිට පහළට දැමූ සිරුර නැවතී තිබුණේ මීටර් 22ක් ප්‍රපාතයට ඇද වැටීමෙනි. එහිදී බරපතළ තුවාල ලබා මියගොස් සිරුර නරක් වී ඉදිමී දුගඳ හමන තරමට පත් වී තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර වෙළෙන්දා අධිකරණයට ඉදිරිපත් කළ පසුව රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කෙරුණු අතර මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය තීන්දුව වැඩිදුර විමර්ශනයෙන් සුව ලබාදෙන බව දන්වා විවෘත තීන්දුවක් ලබා දුන්නේය.

සැකකාර පුද්ගලයා සමඟ සොහාන් ආගිය බවට සාක්ෂි කීපයක් පොලීසිය වෙත ලබාදෙන්නට පුද්ගලයන් කීපදෙනකු ඉදිරිපත්ව සිටි අතර සොහාන් භාවිත කළ දුරකථනය ඇසුරෙන් විද්‍යාත්මක සාක්ෂි ලබාගැනීමට පොලීසිය කටයුතු කළේය.

නව යොවුන් වියේ පසුවූ 14 හැවිරිදි හේවාගේ සොහාන් ලක්මාල් කරඳන ශ්‍රී ජිනරතන මහා විද්‍යාලයේ 9 වසරේ ඉගෙනුම ලබමින් සිටියෙකි. නමුත් පාසලට නොපැමිණ කට්ටි පනිමින් කලාතුරකින් පාසලට ගොස් තිබූ ඔහු නොමඟ ගිය දරුවෙක් බවට පැහැදිලිය. ඔහුගේ හිතුවක්කාරකම, මුරණ්ඩුකම කෙසේ වෙතත් සිය මවුපියන්ගේ වැඩිහිටියන්ගේ යුතුකම ඔහු වෙනුවෙන් ඉටු වී නැති බවත් පැහැදිලිය. යම් හෙයකින් තරවටු කර හෝ දඬුවම් කර හෝ දරුවාගේ මුරණ්ඩුව පාලනය කර පාසල් ගමනට හා හොඳ මිතුරු ඇසුරකට ඔහු යොමු කළේ නම් සොහාන් තවමත් ජීවතුන් අතරය.

සිද්ධිය පිළිබඳව කිරිඇල්ල පොලීසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගුණසේන, අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විජේරත්න, පොලිස් සැරයන්වරුන් වන 18808 සේනාධීර. 48707 රත්නසේකර යන අය විමර්ශන සිදුකළහ.

I සමන්ත ප්‍රදීප් විල්තෙර

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00