2017 ජුලි 15 වන සෙනසුරාදා

මරණය පෙනි පෙනී බෝට්ටුවේ එල්ලිලා හිටියා

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 274

හම්බන්තොට ධීවර වරායෙන් ඉකුත් දින මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රා දෙකක් ඈත දියඹේ ධීවර කටයුතු වල නියැලෙමින් සිටින අවස්ථාවේ නැවක ගැටීමෙන් ධීවර යාත්‍රා දෙකම කුඩු පට්ටම් වී ගියේ ධීවරයන් 05 දෙනකුගේ ජීවිත අනූනවයෙන් බේරා තවත් ධීවරයන්  දෙදෙනකු පිළිබදව කිසිදු තොරතුරක් නෑදෑ හිතවතුන්ට අහිමි කරමිනි.  මෙසේ අනතුරට පත් වූයේ හම්බන්තොට ධීවර වරායට අයත් ධීවරයන් සිව් දෙනකු රුගත් ෆායික් පුතා 02  යාත්‍රාව හා කුඩාවැල්ල ධීවර වරායට අයත් ධීවරයන් තිදෙනකු රැගත් හෂාන් 03 යාත්‍රාවයි. 

අනතුරට පත් ධීවර යාත්‍රා දෙකම හම්බන්තොට ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබුණි. ඒ ෆායික් පුතා 02 යාත්‍රාව ජුනි 30 වන දිනත් හා හෂාන් 03 යාත්‍රාව පසුගිය 02 වන දිනත්ය. හම්බන්තොට ධීවර වරායෙන් ධීවර රැකියාවට ගිය මේ ධීවරයන් හත් දෙනා සහිත බෝට්ටු දෙක හම්බන්තොට ධීවර වරායේ සිට නාවික සැතපුම් 15ක් පමණ දුරින් ධීවර කටයුතුවල නියැළෙමින් සිටින අවස්ථාවේ මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී තිබේ.

අනතුර සිදුවන විට ෆායික් පුතා 02 බහුදින යාත්‍රාවේ හතළිස් දෙහැවිරිදි ඒ. ඒ.රොහාන් සංජීව, හතළිස් හත්හැවිරිදි ජී.එම්. සුජීව, පනස් හතර හැවිරිදි බී.එච්.ගාමිණි හා තිස්අට හැවිරිදි මොහොමඩ් නිසාර් යන ධීවරයන් සිව්දෙනා සිට ඇති අතර හෂාන් 03 යාත්‍රාවේ හතළිස් නව හැවිරිදි ජුවාන් හැන්නදිගේ ශාන්ත, ඩබ්ලිව්.බී. සුනිල් ශාන්ත හා කුඩාවැල්ල මෝදර වත්ත පදිංචි සේකර යන ධීවරයන් තිදෙනා ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබුණි.

මෙම බහුදින යාත්‍රා දෙක නැවේ ගැටීමත් සමඟ ගිලෙමින් පවතින අවස්ථාවේ එහි සිටි ධීවරයින් මෙම අනතුර පිළිබඳව ළඟම ඇති වෙනත් ධීවර යාත්‍රා වෙත හා ධීවර මධ්‍යස්ථාන වෙතද දැනුම් දීමට කටයුතු කර තිබේ. එමෙන්ම අනතුර සම්බන්ධයෙන් රේඩියෝ සංඥා මගින් නාවික හමුදාවටද දැන් වූ බවත් විනාඩි 20කින් දෙවිනුවර සිට නාවික හමුදාව ධීවරයින්ගේ සහායට එන බව දැන්වූවත් කිසිවකුත් එම ස්ථානයට නොපැමිණි බවත් දිවි බේරාගත් ධීවරයෝ පැවසූහ.
මෙම අනතුර සම්බන්ධයෙන් අනතුරට පත් ධීවරයින් අනෙකුත් ධීවරයින්ට දැනුම් දීමෙන් පසු විනාඩි 20ක් 30ක් වගේ කාලයකින් මල්ෂාන් නැමති බහුදින යාත්‍රාව පැමිණ අනතුරට පත් ධීවරයන් පස් දෙනකු බේරාගෙන තිබූ අතර ධීවරයන් දෙදෙනෙක් ඒ වනවිටත් අතුරැදන් වී සිටියහ. අනතුරින් දිවි බේරා ගැනීමට හැකි වූයේ ඒ.ඒ. රොහාන් සංජීව, ජී.එම්.සුජිව, බී.එච්. ගාමිණී හා මොහොමඩ් නිසාර්, ඩබ්ලිව්.බී. සුනිල් ශාන්ත යන ධීවරයන් පස් දෙනාය. අනතුරින් අතුරුදහන් වී ඇත්තේ හෂාන් 03 යාත්‍රාවෙන් ධීවර කටයුතු සඳහා ගිය දික්වැල්ල මාලියද්ද පදිංචි සිව් දරු පියකු වන  ජුවාන් හැන්නදිගේ ශාන්ත හා කුඩාවැල්ල මෝදර වත්ත පදිංචි සේකර යන දෙදෙනායි. හෂාන් 03 යාත්‍රාවේ ගමන් ගත් ධීවරයන් තිදෙනාගෙන් දිවි බේරාගැනීමට හැකි වී තිබුණේ එහි ස්කිපර් ලෙස කටයුතු කළ ඩබ්ලිව්.බී. සුනිල් ශාන්තට පමණි. ඔහුද අනූනමයෙන් දිවි බේරාගෙන තිබූ අතර ඔවුන්ගේ බහුදින යාත්‍රාව නැවේ ගැටීමත් සමඟ ඔහුගේ අතක් අනතුරට ලක්ව ගොඩබිමට රැගෙන ඒමෙන් පසු ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලේ 04 වැනි වාට්ටුවට ඇතුළත් කිරිමට කටයුතු කළ බවයි හම්බන්තොට පොලීසිය පැවසුවේ.

අනතුරින් දිවි බේරාගත් හම්බන්තොට ධීවර වරායට අයත් ෆායික් 03 බහුදින යාත්‍රාවේ ස්කීපර් ලෙස කටයුතු කළ හතළිස් හත් හැවිරිදි ජී.එම්. සුජීව මහතා මෙසේ පැවසීය.

අපි හම්බන්තොට ධිවර වරායෙන් මුහුදු ගියේ පසුගිය 30 වැනිදා. අපි 04 දෙනෙකු තමයි ධීවර කටයුතුවලට ගියේ. මම තමයි ධීවර යාත්‍රාවේ ස්කීපර් ලෙස කටයුතු කළේ. මම පදවාගෙන ගිය යාත්‍රාව එක සැරේටම නැවක ගැටුණා. ඒත් එක්කම බෝට්ටුව ගිලෙන්න ගත්තා. ඒ අවස්ථාව වනවිට අපේ බෝට්ටුවේ සිටිය අනිත් තුන්දෙනාම නිදාගෙන හිටියේ. අපේ යාත්‍රාව නැවේ වැදීමත් එක්ක යට යන්න පටන් ගත්තා. මම ඉක්මනට නිදාගෙන හිටිය තුන්දෙනාට කතා කරලා කිව්වා අපේ බෝට්ටුව නැවක ගැටුණා. අපි ගිලෙන්න යන්නේ කියලා. ඒත් එක්කම මම රෝඩියෝවෙන් දෙවිනුවරට කතා කළා. මට ඒ වෙලාවේ එහි සිටිය අය කිව්වා සුදු මල්ලී බය වෙන්න එපා. අපි අනතුර පිළිබඳව නේවි එකට කිව්වා. විනාඩි විස්සෙන් ඔයාලා ඉන්න තැනට නාවික හමුදාවේ ඩෝරා එකක් ඒවි කිව්වා. කොහොම හරි වැඩි වෙලාවක් ගියේ නෑ අපේ බෝට්ටුව පෙරළිලාම ගියා. අපි බෝට්ටුවේ එල්ලිලා හිටියේ ජිවිතෙත් මරණෙත් අතර සටනක් කරමිනුයි. විනාඩි විස්සෙන් එනවා කියු නේවි එකේ ඩෝරා පැය විසිහතරක් ගෙවිලත් අපි බේරගන්න තියා අපිට මොකද වුණේ කියලාවත් බලන්න ආවේ නෑ. මරණය පෙනි පෙනී සිටිය අපිට පිහිට වුණේ අපේම ධීවර සහෝදරයෝ විතරයි. අපි බෝට්ටුව අනතුරට පත් වුණ බව නේවි එකට විතරක් කියලා හිටිය නම් අපිට වෙන්නේ මහ මුහුද මැදදීම මියැදෙන්නයි. අපේ වෙලාවට අපි දන්න හැමෝටම මේ අනතුර පිළිබඳව දැනුම් දුන්නා. ඒ නිසා තමයි අපේ සහෝදර ධීවරයින් නේවි එක එනකම් බලා නොසිට අපේ සහායට ආවේ. ඇත්තටම මෙච්චර අනතුරක් වෙලා ජීවිත 07ක් මහ මුහුද මැද මරණයත් එක්ක සටන් කරද්දි නාවික හමුදාවට දැනුම් දීලත් ඒ ගැන කිසිදු සැලකිල්ලක් නොදැක්වීම ගැන අපිට තියෙන්නේ පුදුම කලකිරීමක්.

ෆායික් පුතා 02 යාත්‍රාවේ සිට දිවි බේරාගත් තිස්අට හැවිරිදි මොහොමඩ් නිසාර් සිද්ධිය පිළිබඳව පැවසුවේ මෙසේය.
අනතුර සිදුවෙනකොට මන් හිටියේ නිදාගෙන. සිදු වුණේ මොකද්ද කියලා මම දන්නේ නෑ. මේ ඔක්කොම හරියට හීනයක් වගෙයි. මම නම් හිතුවේ නෑ අපිට දිවි බේරගෙන නැවත ගොඩට එන්න පුළුවන් කම තියේවි කියලා. මම නිදාගෙන හිටිය තැනට ඇවිත් සුජිව අයියා කිව්වා බෝට්ටුව නැවක ගැටුණා. ඉක්මනට නැගිටලා ඉස්සරහට යන්න කියලා. නින්දෙන් නැගිට්ට මට කිසි දෙයක් අදහාගන්න බැරි වුණා. ඒ සිද්ධිය නම් කියන්න තියා මතක් වෙනකොටත් බය හිතෙනවා.

ෆායික් පුතා 02 බහුදින යාත්‍රාවේ හිමිකරු වන හම්බන්තොට සාමෝදාගම පදිංචි රාජාබ්දින් මොහොමඩ් මිස්රාම් මහතා මෙසේ පැවසීය.

පසුගිය දින හම්බන්තොට ධීවර වරායෙන් තමා යාත්‍රාව ධීවර කටයුතු වලට පිටත්ව ගියේ. පසුව බෝට්ටුව අනතුරට පත්වෙලා කියලා මට දැනගන්න ලැබුණා. ඒ අනුව අනතුර සම්බන්ධයෙන් මම හම්බන්තොට පොලීසියට දැන්වීමට කටයුතු කරා. පසුව මම තවත් කුඩා බෝට්ටුවක් කඩිනමින් එම ස්ථානයට පිටත් කර හැරියා. මම ඒ යන අයට කිව්වේ කොහොම හරි ජිවිත බේරගන්න කියලා විතරයි. දේපළ නම් ඕන හැටියේ හම්බකරගන්න පුළුවන්. නමුත් ජිවිතයක් නැති වුණොත් නැවත ගන්න බෑ. කොහොම නමුත් මම දෙවියන්ට ස්තූතිවන්ත වෙනවා. මගේ බෝට්ටුවේ ගිය හතරදෙනාගේම ජීවිත බේරාගන්න අපිට පුළුවන් වුණා.

කුඩාවැල්ල ඩබ්ලිව්.එච්. මහින්ද මහතාට අයත් හෂාන් 03 බහුදින යාත්‍රාවද පසුගිය 02 වන දින කුඩාවැල්ල ධීවර වරයේ සිට හම්බන්තොටට පැමිණ නැවත හම්බන්තොට ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබුණි. එහි ගමන්ගත් ධීවරයින් තිදෙනාගෙන් එක් ධීවරයකු පමණක් දිවි ගලවාගෙන තිබුණු අතර අනෙකුත් ධීවරයින් දෙදෙනා අතුරුදන්ව සිටිති. හෂාන් 03 යාත්‍රාවේ ධීවර කටයුතු සඳහා ගිය ජේ.එච්. ශාන්ත මහතාගේ බිරිඳ වන කෝට්ටෙගොඩ ආර්.පී. කුසුමාවති මහත්මිය හැඬූ කඳුළින් යුතුව පැවසුවේ තම ස්වාමි පුරුෂයාද ඉකුත් දින ධීවර කටුයුතු වලට තවත් දෙදෙනෙකු සමග පිටත්ව ගිය බවත් යාත්‍රාව අනතුරට පත්වීමත්  සමග ඔහු අතුරුදන් වී ඇති බවත්ය.

♦ කතාව හා සේයාරූ - සූරියවැව නුවන් ජයසේකර