2017 මැයි 13 වන සෙනසුරාදා

මුළු ලෝකෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවය එපා කියන්නේ ඇයි?

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 1294

රටේ අභිමානය ශ‍්‍රීලන්කන් ගුවන් සේවාවයි. එය පෞද්ගලීකකරණය කිරීම ජාතික සම්පත් විකිණීමකි. එසේ කියන්නේ දේශපාලන වේදිකාවේදීය. බරපතළ චෝදනා නැගෙන බව දැනගෙන සිටි ආණ්ඩුව මෙරට ජාතික ගුවන් සේවය ප‍්‍රතිව්‍යුහකරණය කරන්නට තීරණය කළේය. ජාත්‍යන්තර සමාගම් තුනක් එයට යෝජනා ඉදිරිපත් කළ නමුත් අවසානයේ දිර්ඝ සාකච්ඡාවක් කරන්නට ඉදිරිපත් වූයේ එක සමාගමකි. ශ‍්‍රීලන්කන් ගුවන් සේවය එපා යැයි එකී සමාගම ද අද වන විට නිල වශයෙන් රටට දැනුම් දී තිබේ. මහා වටිනාකමක් ඇති ජාතික සම්පත් බව කියන නමුත් ඇත්ත තත්ත්වය මෙයයි. ශ‍්‍රීලන්කන් සමාගමේ කොටස් මිලදී ගෙන එය ලාභදායී සේ පවත්වාගෙන යන්නට ආයෝජකයන් අතර එපමණ උනන්දුවක් නැත. 

අමෙරිකාවේ සැන් ප‍්‍රැන්සිස්කෝ නගරය මූලස්ථානය කරගත් පෞද්ගලික ආයෝජන සමාගමක් වන ටී.පී.ජී. ආයතනය ශ්‍රී ලන්කන් කෙරෙහි සිය අවධානය යොමු කර තිබිණ. බ්ලැක්කොක් සහ පීස් එයාර් නමැති සමාගම් දෙකක් ද සිය අභිලාශය දක්වන ලද නමුත් රජය පත් කරන ලද සාකච්ඡා පාර්ශව දීර්ඝ අදහස් හුවමාරුවකට සුදුසු ටී.පී.ජී. සමාගම පමණක් බව කියා සිටියේය. ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ප‍්‍රකට ජාත්‍යන්තර විගණන සමාගමක් වූ කේ.පී.එම්.ජී සහ තවත් සමාගමක නියෝජිතයන් මෙම මූලික ඉල්ලීම් සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කරන්නට තෝරාගෙන සිටියේය. ඔවුන්ගේ අදහස වූයේ ටී.පී.ජී. ආයතනය හැර සෙසු සමාගම් බැහැර කළ යුතු බවය. අන්තිමේ දී එම ටී.පී.ජී. සමූහ ව්‍යාපාරය ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයෙන් සියයට හතළිස් නවයක කොටස් හා එහි කළමනාකාරීත්වය ගන්නට සූදානම් නැති බව ප‍්‍රකාශ කර තිබේ. 

ටී.පී.ජි. සමාගම ශ්‍රීලන්කන් නිකම් දුන්නත් එපා කියයි

ටී.පී.ජී. ආයතනයට කොන්ටිනෙන්ටල් ගුවන් සමාගමට ආයෝජනය කිරීමෙන් පසු අත්පත් කරගත අත්දැකීම් ඇති හෙයින් එයින් පසු අමෙරිකන් ගුවන් සේවය, රයන් එයාර්, මිඩ් ලයින් එයාර් ලයින් ඇතුළු ලෝකයේ ගුවන් සමාගම් ගණනාවක සෘජු හා වක‍්‍ර ආයෝජන කරන ලද ප‍්‍රකට සමාගමකි. ඔවුන්ගේ ක‍්‍රියා කලාපය තද ප‍්‍රතිසංස්කරණ මගින් අසාර්ථක ව්‍යවසාය නගා සිටුවීමය. ලාභ හැරෙන්නට වෙනත් යමක් ආයෝජනයෙන් අපේක්ෂා නොකරන අතර ඒ වෙනුවෙන් ගන්නා කළමනාකරණ තීරණ ගුවන් සේවයක පැවැත්ම වෙනුවෙන් වැදගත් ඒවා සේ සැලකෙයි. ටී.පී.ජී. ආයතනය සමඟ ගිවිසුමකට එන්නට හැකි වූවා නම් මෙරට ගුවන් සේවයේ පවතින නරක ව්‍යාපාරික අදහස් වෙනස්කර ප‍්‍රායෝගික පැති වගට නැඹුරු වෙන්නට ඉඩ ලැබෙන අතර එය මෙරටට ඉතා වාසිදායක ආර්ථික පරිසරයක් සකස් කරන්නට හේතු විය හැකිව තිබුණි.

ටී.පී.ජී. සමූහ ව්‍යාපාරය මෙරට ජාතික ගවන් සේවාව ශ‍්‍රී ලන්කන් හි කොටස් එපා කියන්නේ ඇයි? එය රටට දෙන පණිවුඩය ඉතාම වැදගත්ය. අද වන විට නිකුත්ව ඇති අලුත් මූල්‍ය වාර්තා අනුව ශ‍්‍රී ලන්කන් සමාගමේ 2016-17 මූල්‍ය වසරේ අලාභය රුපියල් බිලියන 6.4 කි. එය කලින් මූල්‍ය වසරට වඩා රුපියල් බිලියන 2.9 ක වැඩිවීමක් බව පෙන්වයි. මෙරට ගුවන් යානා ඉන්ධන මිල වැඩි බව හා කටුනායක ධාවන පථය අලුත්වැඩියාව හෙයින් ගමන් වාර 600ක් පමණ අවලංගු කිරීම මෙම දැවැන්ත අලාභයට හේතුව බව සමාගම කියා සිටී. නමුත් ඇත්ත එයම නොවේ. 2008 වසරේ සිට සමාගම දිගින් දිගටම අලාභ වාර්තා කරයි. එමිරේට්ස් සමාගම යටතේ පවතින විට ලාභ ලැබූ ශ‍්‍රීලන්කන් සම්පූර්ණයෙන්ම මෙරට පාලනයට නතු වූ  අවස්ථාවේ සිට අසාර්ථක වෙන්නේ මන්ද? පාලකයන්ගේ දක්ෂතාවට එයින් අවබෝධ කරගත හැකිය.

බිලියනපතියකුට මිලියනපතියකු වෙන්න අවශ්‍ය නම් ගුවන් සේවාවක් ආරම්භ කරන්නැයි ප‍්‍රකට අමෙරිකානු ආයෝජකයකු වන රිචර්ඩ් බ්‍රෙන්සන් කියා තිබේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එයාර් සිලෝන් ආරම්භ කරන්නට තැත් දරන විට එවකට සිංගප්පූරු ගුවන් සේවය නඩත්තු කරමින් විශාල අවාසි ලබා සිටි  එරට අගමැති ලී ක්වාන් යූ මෙරටට වෙනම ගුවන් සේවයක් වුවමනා නැති බවට උපදෙස් දී තිබේ. නමුත් එය නොඇසූ මෙරට දේශපාලනඥයන් ලංකා ගුවන් සේවය ආරම්භ කරන ලද අතර එයින් නතර නොවී මිහින් ලංකා සමාගමද ආරම්භ කළේ දෙවැනි ගුවන් සේවයක් වශයෙන් ආණ්ඩුවේ වියදමෙන්ය. මේ අතරවාරයේ 2017 අය වැය ලේඛනය නව අභ්‍යන්තර ගුවන් සෙවයක් ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන පනහක් වෙන් කර ඇත. එයින් පෙන්වන්නේ රටේ ජාතික ධනය විනාශ වන බවට දේශපාලනඥයන්ට දැක්මක් නැති බවයි.

ශ‍්‍රීලන්කන් ගුවන් සේවාව මෑත කාලය තුළ ලැබූ අලාභ ගෙවන ලද්දේ මහා භාණ්ඩාගාරයයි

එමිරේට්ස් සමාගම ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය දස වසරක ඒකාධිකාරයක් සහිතව මිලදී ගත්තේ 1998 වසරේ දීය. එකී කාලය අවසානයේ දී ගිවිසුම දීර්ඝ කළ හැකිව තිබූ නමුත් පැවැති ආණ්ඩුව එය අහෝසි කළේය. එමිරේට්ස් ආයතනය සතුව තිබූ කොටස් ප‍්‍රමාණය රුපියල් බිලියන 53ක් ගෙවා මිල දී ගන්නට තීරණය කළේය. එයට ණයකරයක් නිකුත් කළේ ලංකා බැංකුවයි. ශ‍්‍රීලන්කන් සේවාව එමිරේට්ස් වෙතින් ආපසු ලබාගන්නා 2008 මූල්‍ය වර්ෂයේ දී සමාගම රුපියල් බිලියන 4.9ක ලාභයක් පැවැති බව අමතක කළ යුතු නැත. එයින් කියන්නේ ඒ වන විට සමාගමේ කළමනාකරණයේ සාර්ථකත්වයයි. 2011 අවුරුද්ද අවසන් වන විට රුපියල් මිලියන 202.3 ක පාඩු බලන ආයතනයක් බවට පත්වූ අතර තවත් අවුරුද්දක් ඇතුළත එනම් 2012 දී රුපියල් බිලියන 17ක අලාභයක් තෙක් එය ගමන් කළේය. ගමනාන්නත තිස් හයකට සතියකට ගමන්වාර තුන්සියයක් පවත්වා ගෙන යන ශ‍්‍රීලන්කන් හි සේවය කරන පිරිස 6,900කි. මෙම පිරිස එක්ව පවත්වාගෙන යන්නට රටට ඇත්තේ යානා විසි හතරක් පමණකි. අද කොටස් විකුණා කළමනාකරණය පවරන්නට සූදානම්වන නමුත් මෙයින් අවුරුදු දෙකකට කලින් අමෙරිකානු ඩොලර් බිලියන දහයක් ආයෝජනය කර නැවත ශ‍්‍රීලන්කන් ගොඩගන්නට පැවැති ආණ්ඩුව සූදානමක සිටියේය. ඒ අනුව ගුවන් යානා ඇනවුම් කරන ලද අතර වත්මන් රජය බලයට පත් වූ වහා අවලංගු කළේ ඒ ඇනවුම්ය. පළමු ගුවන් යානය කල්බදු ගැනීමේ ගිවිසුම අවලංගු කිරීමෙන් පසු ඒ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 17.5 ක් ගෙවන්නට රටට සිදුවිය. අද වන විට තත්ත්වය අනුව තවත් ගුවන් යානා තුනක් අවලංගු කිරීම වෙනුවෙන් ගෙවන්නට නියමිත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 98 කි. සමාගම සතු ණය හා පාඩුව සහිතව ශේෂ පත‍්‍රයේ ඇති සම්පූර්ණයෙන් ගෙවිය යුතු ණය බර ඩොලර් බිලියන දෙකක් පමණ වන බව ප‍්‍රකාශ වෙයි. ඉතින් මේ හා සමාන අවාසිදායක ව්‍යවසායයක් මහා ජාතික වැදගත් කමක් ඇති සමාගමක් සේ දකින්නේ කෙසේද? ණය බර ඇති, අනාගතය ගැන සුරක්ෂිතතාවයක් නොපෙන්වන, නඩත්තු කළ යුතු විශාල කාර්ය මණ්ඩලය සහිතව ශ‍්‍රී ලන්කන් වනුවෙන් ආයෝජනය කරන්නේ කවුද?

2016-17 මූල්‍ය වසරේ අලාභය රුපියල් බිලියන 6.4 ක්. එය කලින් මූල්‍ය වසරට වඩා රුපියල් බිලියන 2.9 ක වැඩිවීමක්

ටී.පී.ජී. සමාගම මෙම තත්ත්වය නොදන්නවා නොවේ. ආයෝජකයකු වශයෙන් ගුවන් සේවාව මිල දී ගන්නට තීරණය කළහොත් එය විශාල ප‍්‍රතිසංස්කරණයකට ලක් කරනු නිසැකය. මෙහි දැන් සේවය කරන කාර්ය මණ්ඩලය හරි අඩකින් අඩු කරනු නිසැකය. වන්දිගෙවා සේවයෙන් ඉවත්කරන අතර ආයතනයේ එක් එක් දෙපාර්තමේන්තු කාර්යක්ෂම හා ඵලදායීතත්ත්වයට ගෙන ඒම සඳහා නොයෙක් කොන්දේසි පනවන්නට ඉඩ තිබේ. ආයෝජනය කළ වහා මෙරටින් කරන ඉන්ධන මිලදී ගැනීම අත්හිටුවන්නට ඉඩ තිබිණ. ඛනිජ තෙල් සංස්ථාව ශ‍්‍රීලන්කන් සමාගමට ගුවන් යානා ඉන්ධන විකුණන්නේ අවට ගුවන් තොටුපොළවල මිලට වඩා සියයට විස්සක් වැඩි මිලකටය. ලංකාවට එන බාහිර සමාගම්වල ගුවන් යානා මෙරටින් ඉන්ධන මිලදී ගන්නේ නැති බව ප‍්‍රසිද්ධ රහසකි.  එමිරේට්ස් සමාගම තමන් පාලනය කරන ලද දස වසරක කාලය තුද තද මූල්‍ය විනයක් පවත්වාගෙන ගිය අතර ආණ්ඩුවකට එවැනි පාලනයක් කරගෙන යා නොහැකිය. තද තීන්දු ගන්නට අකැමැති දේශපාලනඥයෝ අසාර්ථක වන ආයතනයේ පාඩු වක‍්‍රව මෙරට ආර්ථිකයට බැර කරති. ශ‍්‍රීලන්කන් ගුවන් සේවාව මෑත කාලය තුළ ලැබූ අලාභ ගෙවන ලද්දේ මහා භාණ්ඩාගාරයයි. ජනතාවගේ සීනි, පරිප්පු හා කිරි පිටි වලට බදු පනවන ආණ්ඩුව ඒවායෙන් ලැබෙන ආදායම මෙන් පාඩු ලබන ශ‍්‍රී ලන්කන් නඩත්තු කළේය. 

දැන් අනාවරණය වන කරුණු අනුව ශ‍්‍රී ලන්කන් ගුවන් සේවාවේ කොටස් මිල දී ගන්නට අමෙරිකානු ටී.පී.ජී. සමාගම සූදානම් නැත. මෙම සේවකපිරිස නඩත්තු කරමින්, මෙරට විනිමය අනුපාතිකය අවප‍්‍රමාණය වන තරම අනුව ගුවන් සේවය පවත්වා ගෙන යෑම පහසු නැත. ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල දී ගතහොත් තත්ත්වය තවත් නරක් වෙන බව  ටී.පී.ජී. සමාගම දනී. ගෙවන්නට ඇති ණය හා පවතින තත්ත්වය වෙනස් කරනන්ට ආයෝජනය කළ යුතු මුදල ගැන හිතන විට ශ‍්‍රී ලන්කන් සමාගම නිකම් දුන්නත් එපා කියනවා නිසැකය. 

ශ‍්‍රීලන්කන් ගුවන් සේවාවේ කොටස් හා කළමනාකරණය පැවරීමට ලෝක ව්‍යාපාර දරන ලද උත්සාහය කෙළවරකට පැමිණි මෙම තීරණාත්මක අවස්ථාවේ දී මෙරට රාජ්‍ය ව්‍යවසායවල තත්ත්වය අවබෝධ කරගැනීමට සුදුසුය. ශ‍්‍රී ලන්කන් පමණක් නොව, ඛනිජ තෙල්, විදුලිය, දුම්රිය හෝ ජල පවාහනය වැනි වෙනත්  ඕනෑම ආර්ථික ව්‍යවසායයක අභ්‍යන්තරය මෙයයි.

♦ ගාමිණී සරත් ගොඩකන්ද

විකල්ප යෝජනා සොයාබැලීමට ඇමැති කමිටුවක්

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම සම්බන්ධයෙන් උද්ගතව තිබෙන තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ඉහළ පෙළේ ඇමැති කමිටුවක් පත්කරනු ලැබ තිබේ. සංවර්ධන ක්‍රමෝපායික ඇමැති මලික් සමරවික්‍රම, මහජන ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් සහ විශේෂ ව්‍යාපෘති ඇමැති සරත් අමුණුගම මහත්වරුන්ගෙන් සමන්විත එම කමිටුව මගින් ගුවන් සමාගම පවත්වාගෙන යාමේදී මුහුණ දෙන ගැටලුවලට විසඳුම් සොයා බලනු ඇත.

“එම කමිටුව එමිරෙට්ස් සමාගම යළිත් සළකාබලන අතර එයාර් ඒෂියා සහ කටාර් එයාර්වේස් සමාගම් සෙසු විකල්ප අතර වෙනවා” විශ්වාසදායක ආරංචි මාර්ගයක් සඳහන් කරයි. එමිරේට්ස් සභාපති ටිම් ක්ලාර්ක් මෑතකදී මෙරට සිදුකළ පෞද්ගලික සංචාරයකදී සාකච්ඡාවකට සහභාගි වුවද තමන්ගේ සමාගම ශ්‍රීලංකන් සමාගම වෙනුවෙන් ආයෝජනය කිරීමට තවදුරටත් කිසිදු කැමැත්තක් නැතැයි ප්‍රකාශ කර තිබුණු බවද පැවැසෙයි. ඒ සඳහා යෝජනාවලියක් එවන්නැයි කෙරැණු ඉල්ලීමට මේ දක්වා ප්‍රතිචාරයක් නැතැයිද ඩුබායිහිදී අවස්ථා ගණනාවකදී අමාත්‍ය සමරවික්‍රම මහතා ඔහු මුණගැසී ඇතැයිද සඳහන් වේ.

මූලාශ්‍ර - සන්ඩේ ටයිම්ස්

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00