2017 මැයි 13 වන සෙනසුරාදා

වේදිකාවේ හැරී පොටර් හොල්මන්

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 350

හැරී පොටර් පොත් සාප්පුවල, පුස්තකාලවල වගේම සිනමා තිරයේද හෝල්මං කළේය. මේ අපූරු තරුණයා ඉන් නැවතී නැති බව පෙනුණේ ඔහු වේදිකාවෙත් කරණම් ගැසීමට පටන්ගත් හෙයිනි. හැරී පොටර් එංගලන්තයේ වේදිකාගත කෙරැණේ පසුගිය වසරේදීය.

ඒ සමඟම වේදිකා නාට්‍ය පිටපතද ඇතුළත් හැරී පොටර් ඇන්ඩ් ද කර්ස්ඩ් චයිල්ඩ් කෘතියද එළිදැක්විණි. එය හැරී පොටර් කතාමාලාවේ 8 වැනි කෘතියයි. වේදිකා නාට්‍යයේදී මැජික් සේවකයෙක් ලෙස කටයුතු කරන හැරී පියාගේ චරිතයට පණ පොවයි. ජේ.කේ. රෝලිංග්ගේ මුල්ම නවකතාවට අනුව නාට්‍යයේ පිටපත රචනා කර ඇත්තේ ජේ.කේ. රෝලිංග්, ජැක් තෝන් සහ ජෝන් මිතනි විසිනි. ලන්ඩනයේ පැලස් රඟහලේ එය මුල්වරට රංගගත කෙරිණි. හැරී පොටර් ඇන්ඩ් ද කර්ස්ඩ් චයිල්ඩ් විසාර්ඩ් ස්ටෝරි තුළ පිරිමි ළමයා ගැන නොකියූ කොටස් සහ ඔහුගේ මරා දැමුණු දෙමාපියන් ගැන තොරතුරුද ඇතුළත්ය.

නාට්‍යය ලන්ඩනයේ ඔලිවියර් සම්මාන උළෙලේ වාර්තා බිඳ දමමින් සම්මාන 9ක් හිමිකරගත් අතර හොඳම නව වේදිකා නාට්‍යය සහ හොඳම අධ්‍යක්ෂණය සම්මානයද එයට හිමිවිය.
වර්ෂ ගණනාවක් ගතවීත් හැරී පොටර් තවමත් පාඨකයන් විශාල පිරිසකගේ සිහින කුමාරයා බව පසක් කරවමින් නාට්‍ය පිටපතද සහිතව නවකෘතිය නිකුත් වූ පළමු දින තුළම පිටපත් 680,000ක් අ‍ලෙවි වී ඇත. එය බිඳ දැමුවේ 2012 වසරේ ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රේ (සිංහල පරිවර්තනය: ප්‍රේම සැඳෑවෝ) කෘතිය සතියක් තුළ පිටපත් 664,478ක් අලෙවි වීමෙන් තබා තිබූ වාර්තාවයි. හැරී පොටර් නවකතා මෙන්ම චිත්‍රපටද අප රටේ ජනප්‍රිය විය. ෆැන්ටසිමය මෙම නවකතා මාලාව ග්‍රන්ථ හතකින් යුක්තය. එහි පළමු නවකතාව Harry Potter and the Philosophers Stone ය. (සිංහල පරිවර්තනය, හැරී පොටර් සහ මායාගල) එය මුලින්ම එංගලන්තයේ පළවූයේ 1997 ජූනි 26දාය. හැරී පොටර් පොත් මාලාව සිංහලද ඇතුළු භාෂා 68කට පරිවර්තනය වී තිබේ. දිළිඳු ජීවිතයක් ගතකළ එහි ලේඛිකා රෝලිංග් ඉහළම ධන කුවේරයන් අතරට ගෙන යාමට ඇගේ මනසේ පිළිසිඳගත් හැරී පොටර් සමත් විය.

හැරී පොටර් කෘති ලොව පුරා පිටපත් මිලියන 450ක් අලෙවි වී තිබේ. පොත් අට ඇසුරෙන් චිත්‍රපට මාලාවක්ද නිර්මාණය විය. එම චිත්‍රපට අමෙරිකානු ඩොලර් බිලියන 7.7ක ආදායමක් උපයමින් ලොව වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට අතරට එක්ව ඇත. චිත්‍රපටවල හැරී පොටර්ගේ චරිතයට පණ පෙව්වේ ඩැනියල් රුඩ්ක්ලින්ය.
චිත්‍රපටය මෙන් හැරී පොටර් නාට්‍යය ලොව පුරා වේදිකාගත කිරීමට අපහසුය. නමුත් හැරීගේ රසිකයන්ට ඔහුගේ වේදිකාවේ මැජික්ද දැක ගැනීමට අවශ්‍යව ඇත. නාට්‍ය පිටපත ඇතුළත් කෘතිය මෙතරම් ජනප්‍රියව ඇත්තේ එනිසාය.

පාඨක