2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

කුජ සිකුරු මාරු වේ: සේවකයන්ට වැඩට යාමට බැරිවීමේ අවදානමක්

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 265

2021 පෙබරවාරි මස 21 වැනි ඉරුදින සිකුරු තමාට මිත්‍ර රාශි භවනක් වූ සෙනසුරුට අයත් කුම්භ රාශියට පාන්දර 2 පසුවී විනාඩි 23ට පිවිස මාර්තු 17 වැනි බුධ දින පාන්දර 3 පසුවී විනාඩි 1 දක්වාම ගමන් කරයි. 2021 පෙබරවාරි මස 22 වැනි සඳු දින පාන්දර 4 පසුවී විනාඩි 36ට කිවිට අයත් වාෂභ රාශියට පිවිසෙන අඟහරු අප්‍රේල් 14 පාන්දර 1.14 දක්වා වෘෂභ රාශියෙහි ගමන් කරනු ඇත.

සිකුරු කුජ මාරුව අප රටට බලපෑම ගැන සලකා බලන විට වාතය තෙත ගතියෙන් යුක්ත වන කාලයක් බව පෙනේ. රට තුළ විවාහ වීම් වැඩිවන අතර මහජනතාව කෘෂිකාර්මික කටයුතුවලට නැඹුරු වීම වැඩිවන කාලයකි. පවුල් අතර ගැටුම් ඇතිවීම්ද ඝාතන කිරීම් සිදුවීම්ද වාර්තා වීම වැඩිවෙයි. විශේෂයෙන් කාන්තාවන්ට විපත් බහුල කාලයකි. භූමියේ සෙලවීමක් භූ චලනයක්ද ඇතිවන කාලයකි. ආගමික නායකයකුට මාරක අපල ඇතිවන අතර රාජ්‍ය නායකයකුට ඉතා අයහපත් වන කාලයකි. මෙම වකවානුව තුළ අවදානම් ස්ථාන කඳු බෑවුම්, ගංගා ආශ්‍රිතව ජීවත් වන අය සහ කඳු මුදුන්වල ජීවත්වන අයද ඉතා කල්පනාකාරීව සිටිය යුතු බවට අනතුරු හැඟවේ. පෞද්ගලික අංශයේ මෙන්ම ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින සේවකයින්ගේ රුකියා අවස්ථා අහිමි වී යාමක් හෝ සේවාවට යාමට නොහැකි වී යාමේ අවදානම් තත්ත්වයක්ද රට තුළ ඇතිවනු ඇත.

ඔබට බලපාන අයුරු.

• මේෂ - ලිංගික ආකර්ෂණය

ඔබට යහපත් ඵල අත්වන අතර තම දේ රැකගෙන කටයුතු කළ හැකිය. විරුද්ධ ලිංගික ආකර්ෂණයට ලක්වන අතර හවුල්කරුවන්ගෙන්ද උදව් උපකාර අත්වනු ඇත.

• වෘෂභ - කේන්ති වැඩියි

තම මතයට කටයුතු කරන කාලයක් වන අතර හදිසි කේන්ති ගතිද ඇතිවේ. තම කටයුතු සාර්ථක වන අතර තම දරුවකුගේ ජයග්‍රහණයක්ද අසන්නට ලැබෙනු ඇත. උත්සාහයෙන් කරන කටයුතු රුසක් සාර්ථක වේ.

• මිථුන - මිතුරන් වැඩිවේ

බොරු ආරංචිවලින් බිය වන අලුත් අය මිත්‍රවීමට එන කාලයක්ද වේ. ආගමික කටයුතුවලට නැඹුරුවන අතර නිර්මාණශීලී අදහස් ජනිත වෙයි. ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට ශුභඵල අත්වනු ඇත.

• කටක - ව්‍යාපාරවලට ශුභයි

 රථවාහන/භූමිය ආශ්‍රිතව රැකියාවල නිරත වී සිටින අයට ශුභඵල අත්වන අතර විශාල වියදම් කිරීම් නොකළ යුතු කාලයක්ද වේ. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට ශුභඵල අත්වනු ඇත. යම් යම් කටයුතුවලට විවිධ අයගෙන් බාධාවන්ද ඇතිවනු ඇත.

• සිංහ - මංගල යෝජනා

අවිවාහක අයට මංගල යෝජනා ස්ථීර වන කාලයක් වේ. හවුලේ කටයුතු වල නිරත වී සිටින අයටද ශුභඵල අත්වේ. ලියැවිල්ලකට අත්සන් කිරීමක් නිසා යම්කිසි ගැටලුවකට මැදිවිය හැකි බැවින් පරිස්සම් වන්න.

• කන්‍යා - තාක්ෂණය හොඳයි

යම්කිසි බලාපොරොත්තුවක් ඉෂ්ඨ කර ගැනීමට නොහැකිව සිටියේ නම් එය ඉෂ්ඨ කරගත හැකිවන කාලයක් වේ. තාක්ෂණික කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ශුභඵල අත්වනු ඇත.

• තුලා - ලේ විෂවීම්

විරුද්ධ ලිංගික ආකර්ෂණයට ලක්වන අතර ඔබගේ කලත්‍රයාට හදිසි ශරීර පීඩාද ඇතිවෙයි. ඔබ කිරීමට යන කටයුතු සඳහා බාධා ඇතිවන කාලයකි. දෙන ලේ විෂවීම් ද ඇතිවනු ඇත.

• වෘශ්චික - සමගියට බාධා

විශාල මුදල් යෙදවීම් නොකළ යුතු කාලයකි. ඉඩකඩම් හෝ වාහනයක් මිලට ගැනීමට සුදුසු කාලයක්ද වේ. පවුල් දිවියේ සමගියට බාධාවක්ද ඇතිවන කාලයක් වේ. මුත්‍රා ආශ්‍රිත රෝග පීඩාවක් ඇතිවනු ඇත.

• ධනු - කලාවට හොඳයි

ඔබට එරෙහි සතුරු බලවේග පරාජය කිරීමට හැකියාව ලැබෙන කාලයක්ද වේ. කලා හා ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් කාලයක් වේ. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට යම් බාධා ගෙන දේ.

• මකර  - කැපී පෙනේ

හදිසි කේන්ති ගති ඇතිවන අතර අන් අය අතර කැපී පෙනෙන කාලයක්ද වේ. තමන් සමඟ ළඟින් ඇසුරු කළ අයකු සමග සිත් බිඳීයාමක්ද සිදුවනු ඇත. උගුර ආශ්‍රිත පීඩාවක් මතුවෙයි.

• කුම්භ - අනුන්ගේ ආකර්ෂණයට

ඉඩකඩම් ප්‍රශ්න මගහැරී යන කාලයකි. සේවා ස්ථානයේ අනිකුත් සේවකයන් සමග පැවති ගැටලුද මගහැරී යනු ඇත. අන් අයගේ ආකර්ෂණයට ලක්වන කාලයක්ද වේ.

• මීන - සතුන්ගෙන් හිරිහැර

කාර්මික ක්ෂේත්‍රයේ නියැලි අයට ශුභඵල අත්වන අතර සතුන්ගෙන් යම් හිරිහැරයක් ඇතිවිය හැකි බැවින් පරිස්සම් වන්න. ඔබගේ යම් යම් කටයුතුවලට විරුද්ධවාදීන්ද ඇතිවනු ඇත.

 

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල