2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

අලි 5000ක් ගොඩ දැමූ අලි ඉස්පිරිතාලේ

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 205

ආසියාතික අපි හැම මිහිපිට වෙසෙන විශාලතම සත්ත්වයා වන අලින්ට බොහෝ සෙයින් ආදරය කරන්නෙමු. විටින් විට අලි මිනිස් ගැටුම් වාර්තා වුණත් අප සෑම කෙනෙක්ම පාහේ ලොව විශාලතම හීලෑ අලි එකතුව ලෙසින් සැලකෙන පින්නවලට ඇදී යන්නේත්, යාල විල්පත්තු වනයේ සැරිසරන අලි නරඹන්නට යන්නේත් උන්ට අපි ආදරය කරන බැවිනි. අප තරමටම අලින්ට ආදරය කරන තවත් ජාතියක් තායිලන්තයේ සිටින බවට කදිම පුවතක් පසුගියදා අසන්නට ලැබිණ.

තායිලන්තයේ උතුරු දිග ලම්පාන්ග් ප්‍රාන්තයේ පිහිටා ඇති රෝගාබාධවලට ලක්වූ අලින්ට ප්‍රතිකාර කරන ස්ථානය සැලකෙන්නේ ලොව පළමු අලි රෝහල ලෙසිනි. ආසියානු අලි සුමිතුරෝ නම් සංවිධානයක් විසින් එය ආරම්භ කෙරුණේ 1993 වසරේදීය. ආරම්භක වකවානුවේ සිටම එරට තුළ විශාල ජනාදරයක් දිනාගත් මෙම අලි රෝහලට වැඩි ජාත්‍යන්තර අවධානයක් යොමුවන්නට පටන් ගැනුණේ, 2008 වසරේ පටන්ය. ලොව පළමු වරට සාර්ථක ලෙස අලියෙකුට කෘත්‍රීම පාදයක් බද්ධ කිරීමට මෙම තායි අලි රෝහල සමත්වීම ඊට හේතුවිය. 

එතැන් පටන් ජාත්‍යන්තර අවධානය දිනාගත් මේ අපූරු අලි රෝහලෙන් මේ දක්වා ප්‍රතිකාර ලැබූ සමස්ත අලි සංඛ්‍යාව 5000කට ආසන්නය. 
තායිලන්තයට පමණක් නොව ලෝකයටම වැදගත් සම්පතක් වන අලි සුරැකීම වෙනුවෙන් ආසියානු අලි සුමිතුරෝ සංවිධානය ගෙන ඇති තවත් පියවර බොහෝමයක්ම පවතී. ඒ අතර බැංකොක් ආදී නගරාශ්‍රිතව අලින් සිරකර ගෙන සිටීම වළක්වාලීමට ඔවුන් ක්‍රියාකිරීම සියලු සත්ත්වවේදීන්ගේ ප්‍රශංසාවට බඳුන්විය.
මෙසේ අලි සම්පත වෙනුවෙන් කැපවී සිටිය ද අවුරුදු 11ක කාලයක් තිස්සේ බරපතළ මූල්‍ය අවහිරතාවන්ට මෙම අලි රෝහල මුහුණ දී තිබේ. දැනට රෝහලේ ‍නේවාසිකව ප්‍රතිකාර ලබන අලි සංඛ්‍යාව පහකි. ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා වැය වන මුදල් මෙන්ම ආහාර පාන, සඳහා ද මාසිකව විශාල මුදලක් අවැසි වී තිබේ. 

තව ද රෝහල සතුව අලි පිළිබඳ විශේෂඥ දැනුමැති පශු වෛද්‍යවරුන් දෙදෙනෙකු ද ඇතුළුව අලි බලාගැනීමේ කාර්ය මණ්ඩලයක් ද වෙනම සිටී. මේ සියලු දෑ සමඟ රෝහල පවත්වාගෙන යෑම සඳහා එක් මාසයකට තායි බාට් මිලියනයක් පමණ අවශ්‍ය බව කියැවේ. එය දළ වශයෙන් රුපියල් මිලියන පහකට ආසන්න ගණනකි. නමුත් සාමාන්‍යයෙන් මාසිකව අලි රෝහල වෙනුවෙන් ආසියානු අලි සුමිතුරෝ සංවිධානය වෙත ලැබෙන ආධාර මුදල තායි බාට් ලක්ෂ 4ක් පමණ ය. 

මේ වනවිට සංවිධානයේ බැංකු ගිණුමේ ශේෂය බාට් මිලියනයට පහත වැටී ඇති හෙයින් නුදුරේදීම අලි රෝහල වසා දමන්නට සිදුවන බව දින කිහිපයකට ඉහතදී එහි බලධාරීන් විසින් පවසා තිබුණි. 

මිනිසුන් එකිනෙකා නැසීමට තනනා අවි ආයුධ වෙනුවෙන් ඩොලර් මිලියන නොව ට්‍රිලියන ගණන් වියපැහැදම් කරන ලෝකයේ මිනිසුන්ගේම වරදින් (මෙම රෝහ‍ලේ ප්‍රතිකාර ලැබූ අලින්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් බිම් බෝම්බ නිසා පාද බිඳීයාම්වලට ලක්ව තිබුණි) විපතට පත්වන සතුන් වෙනුවෙන් වියදම් කරන්නට මුදලක් වෙන් කිරීමට නොහැකි වන්නට නුපුළුවන. නමුත් එය එසේ සිදුවන නිසා අලි සම්පත වෙනුවෙන් ෆේස්බුක් හරහා මේ සංවේදී ආයාචනය සිදුකිරීමට ආසියානු අලි සුමිතුරෝ කටයුතු කර තිබිණ. 
ඔවුන් එහිදී වැඩිමනත්ම ඉල්ලා තිබුණේ තායි රජයේ සහායය. අලියා යනු තායි රට තායි වැසියා හා බැඳී පවතින සංකේතයකි. වරක් ඔවුන්ගේ ජාතික කොඩියේ පවා අලියාගේ රූපය දක්නට ලැබුණේ තායි රටත් අලියාත් අතර ඇති බැඳීම සනාථ කරවමිනි. 

ගතවූයේ දින කිහිපයකි. ෆේස්බුක් ආයාචනය මල් ඵල දරා තිබුණි. දින පහක් ඇතුළත තායි බාට් මිලියනයේ පැවැති බැංකු ගිණුම බාට් මිලියන 21 ඉක්මවීය. ආසියානු අලි සුමිතුරන්ට මෙය අදහාගතළ නොහැකි දෙයක් විය.
මේ වෙච්ච දේ මට හිතා ගන්නවත් බැහැ. මගේ ඇහේ පිරිලා තියෙන කඳුළු මගේ හැඟීම් පවසාවි එම සංවිධානයේ ලේකම් ලෙස කටයුතු කරන සොරයිඩා සල්වලා පවසන්නීය.
ෆේස්බුක් වෙබ් අඩවියට පින් සිදුවන්නට නිදා සිටියවුන්ගේ ඇස් ඇරිණ. ආණ්ඩුව සියල්ල කරනතුරු ඔවුන් බලා සිටියානම් තවත් දින කිහිපයකින් අලි රෝහල වැසී යන්නට ඉඩ තිබිණ. එහෙත් මිහිපිට සද්දන්තයාගේ රැකවරණය වෙනුවෙන් තවත් කාලයක් තායි අලි රෝහල ජීවමාන වනු ඇත.

 රජිත