2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

හුරේ දමා සමරන Top Class උත්සවය

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:05 200

අලුත් අවුරුද්ද යනු සැමදෙනාගේ සිත් අලුත් කරවන අලුත් ආරම්භයකට පණ දෙන මොහොතකි. මේ නිසා ලොව සෑම රටක්ම පාහේ අලුත් අවුරුද්දක උදාව සමරන්නේ මහත් වූ ප්‍රබෝධජනක හැඟීමෙනි. එසේ වුවද ලොව ඇතැම් රටවල අලුත් අවුරුදු එකක් නොව දෙක තුනක් පවතින අවස්ථාද දැකීමට පුළුවන. හොඳම නිදසුන අප රටය. ජනවාරි පළමුවැනිදායින් කැලැන්ඩර් වර්ෂ උදාව සමරන අපි නැවතත් අප්‍රේල් මාසයේදී අලුත් අවුරුද්දක් සමරන්නෙමු. එසේ ජනවාරි පළමුවැනිදායින් ලෝකයට නව වසර උදා වූවාට තම තමන්ගේ රටවල අලුත් අවුරුද්ද වෙනත් දිනවල සමරන රටවල් ගොන්නකි. මෙසේ දෙවැනි අලුත් අවුරුද්දක් ලැබෙන්නට පදනම් වී ඇත්තේ අනිකක් නොව ඒ ඒ රටවලට හා ඒ ඒ ජන කොට්ඨාසවල සංස්කෘතීන් ය. 

චීනය ද ඊට නිදසුනකි. චීනය චන්ද්‍රයාගේ ගමන් මාර්ගය අනුව යමින් චීන වර්ෂයක් සමරයි.  චන්ද්‍ර වර්ෂ උදාව ලෙස ද චීන ජාතිකයින් හඳුන්වන මේ නව වසර ඇරඹෙන්නේ වසන්ත අස්වනු සමයට සමගාමීව ය. එනම් පෙබරවාරි මාසයේදී ය. රතු පැහැ ලියුම් කවරවල මුදල් බහා පවුලේ සාමාජිකයන් මෙන්ම හිතමිත්‍රාදීන් අතරත් බෙදාගැනීම මේ කාලය තුළදී චීන්නුන්ගේ සිරිත ය. උත්සවය සඳ හා බැඳී ඇති හෙයින් moon cake ලෙස නම්කළ විශේෂ කේක් වර්ගයක් ද ඔවුහු සාදති. වෛවර්ණ රුගත් මකර රූප හා පහන් කූඩු එම දිනවලදී චීනයේ වීථි පුරා දැකිය හැක. සාමාන්‍යයෙන් ඒ ඒ වසර විවිධ සතුන්ගේ නමින් ඔවුහු නම් කරන අතර 2017 පෙබරවාරි 15 දායින්ඇරඹි වර්ෂය නම් කර ඇත්තේ කුකුළාගේ වර්ෂය ලෙසිනි. 

චීන ජාතිකයන් මෙන්ම කොරියානුවෝ ද නව චන්ද්‍ර වර්ෂය තම සම්ප්‍රදායික නව වසර ලෙස සලකති. විවිධ පැහැ රැගත් සම්ප්‍රදායික ඇඳුම් පැළඳුම් ඇඳීමටත් අමුත්තන් සමඟ විශේෂ තේ පැන් සංග්‍රහ කිරීම්වලට සහභාගී වීමටත් මෙම කාලය තුළ කොරියානුවෝ වැඩි උනන්දුවක් දක්වති. 

ඉන්දුනීසියාවේ බාලි දූපත් වාසීන් හා ජාවා වැසියන් නව වසර සමරන්නේ මාර්තුවේදීය. ගිනි මැළ ගසා සම්ප්‍රදායික ඇඳුම් ඇඟලා ගෙන නැටුම් ප්‍රදර්ශනය කිරීම මෙහිදී සිදුවේ. නමුත් ඔවුහු මෙම කාලය යොදාගන්නේ සැමරුම් අවස්ථාවන්ට වඩා හුදෙකලාව විවේකීව කාලය ගතකිරීමට ය. බොහෝ ආයතන වසා තැබෙන අතර අත්‍යවශ්‍ය සේවා ආයතන පමණක් විවෘතව පවතී. 

ඉරාන ජාතිකයන් හෙවත් පර්සියානුවන් තම සංස්කෘතික අලුත් අවුරුද්ද සමරන්නේ මාර්තුවේදී ය. ඉස්ලාම් ආගම අදහන ජනතාවක් වුවත් ඉරානයේ සිටින සොරොස්ත්‍රියන් හා බහායි ජන කොටස් මෙම අලුත් අවුරුද්ද සමරයි. ඔවුහු අලුත් අවුරුද්ද පිළිගන්නේ ට්‍රම්පට් වාදනයක ද නිරත වෙමිනි. එමෙන්ම වර්ණ ගැන්වූ බිත්තර, දලුලන පැළ සහිත හැළි, ඈස් ඊ රෙෂ්ටෙක් නම් සුප් වර්ගය ආදී තවත් සංස්කෘතිකාංග කිහිපයක් ඊට එක්ව ඇත්තේ සම්ප්‍රදායික ඉරාන වැසියන්ගේ අනන්‍යතාව පිළිබිඹු කරමිනි. 

කර්ණාටක, ආන්ද්‍රා සහ තෙළඟනා යන සෙසු දකුණු ඉන්දියානු ප්‍රාන්ත වැසියන් අලුත් අවුරුද්ද සමරන්නේ අප්‍රේල් අට වැනිදාය. එය උගාදි ලෙස නම් කෙරෙන අතර රසකැවිලි සෑදීම, අලුත් ඇඳුම් ඇඳීම, ගිනි කෙළි සංදර්ශන පැවැත්වීම ආදිය ඔවුන් ද සිදුකරයි. මේ කාලයේදී අඹ වලින් සෑදූ රසකැවිලි ඉතා ජනප්‍රිය ය. 

ලොව පුරා වෙසෙන හින්දූන්, ජෛනයින් හා සීක්වරුන් තම අලුත් අවුරුද්ද ලෙස සලකන්නේ දිවාලි දිනය ය. සාමාන්‍යයෙන් ඔක්තෝබර් මාසයට යෙදෙන දිවාලි දිනය ආලෝකයේ උත්සවය යන අරැත දනවයි. විශේෂයෙන්ම උතුරු ඉන්දියාවේ වෙසෙන මර්වරි සහ ගුජරාටි ජන කොටස් දිවාලි සමරන්නේ මහත් ඉහළිනි. අතීත ඉන්දියාවේ වෙළෙඳ සහ ව්‍යාපාරික කැලෑසිය ලෙස සැලකෙන මෙම උතුරු ඉන්දියානු ජන කොටස් අදටත් දිවාලි දිනයේදී ධනයටත් සමෘද්ධියටත් අධිපති දෙවඟන වන ලක්ෂ්මී වෙනුවෙන් දේව පූජාවක් සිදුකරති. 

යුදෙව් ආගමේ එන උප්පත්ති කතාවට අනුව මහා නිර්මාණයේ දින හත අවසන් වන දිනය සමරමින් රොෂ් හෂානා නමින් නව අවුරුදු උදාවක් සැමරීමට ලොව පුරා යුදෙව් ජාතිකයෝ හුරුවී සිටිති. යුදෙව් ආගමේ දැක්වෙන පරිදි දින හතක් ඇතුළත සිදුවූ මහා මැවුමෙන් පසුද දෙවියන් වහන්සේ මිනිස් වර්ගයාගේ අනාගත පැවැත්ම පිළිබඳ නිශ්චිත තීරණයක් ගෙන තිබුණේ නැත. එනිසා යුදෙව්වන් මෙම උත්සවය සමරන්නේ නිහඬ හා චාම් ස්වරූපයකිනි. මීළඟ වසර සඳහා මිනිස් වර්ගයාගේ පැවැත්ම ගැන තීරණය කිරීමට දෙවියන් වහන්සේට ඉඩ සැලසීම එසේ චාම් උත්සවයක් සැමරීමේ අරමුණ වී තිබේ. මේ සමයේදී මී පැණි සහ ඇපල් ඔවුන්ගේ ප්‍රධානම ආහාරයක් වේ. පැණි ආහාරවලට එකතු කරගැන්මට හේතු වී තිබෙන්නේ ඉන් සුබවාදී බවක් ආරෝපණය වන නිසා ය.

මුස්ලිම්වරුන්ගේ අලුත් අවුරුද්ද යෙදෙන්නේ සාමාන්‍යයෙන් ඔක්තෝබර් මසදීය. නබිතුමන් මක්කමේ සිට මදීනා දක්වා ගිය ගමන සමරමින් යෙදෙන හිජ්රා මෙම අවුරුද්දේ උපත යි. ඉස්ලාම් ආගමේ උපත හා බැඳී පවතින මෙම උත්සවය අරාබිකරයේ ඇතුළු සකල මුස්ලිම්වරුන්ම මහත් බැතියෙන් සමරනු ලබන්නකි. එය මුහාරම් නම් ඉස්ලාම් කැලැන්ඩරයේ පළමු මාසයේ ආරම්භයද වේ. ඉස්ලාම් කැලැන්ඩරයේ විශේෂත්වයක් වන්නේ දිනයක උදාව සන්ධ්‍යාවේ හිරු බැස යාමෙන් පසු උදාවීමය. එනම් චන්ද්‍රයාගේ උදාව සමඟ ඔවුන්ගේ කැලැන්ඩරය බැඳී පවතී. 

බටහිර ඕස්ට්‍රේලියාවේ වෙසෙන ආදිවාසි අබ්‍රොජින් ගෝත්‍රයක් වන මුරාදෝර්වරු තම අලුත් අවුරුද්ද සමරන්නේ ඔක්තෝබර් 30 වැනිදාය. දැනට වඳවී යමින් සිටින ජන කොටසක් වන මොවුහු, අලුත් අවුරුදු උදාව නව මිතුදම් ඇතිකරගැනීමටත්, සාමය පවත්වාගෙන යාමටත් ගතවුණු අවුරුද්දට කෘතවේදී වීමටත් අවස්ථාවක් කරගෙන තිබේ. 

 රජිත ජාගොඩආරච්චි

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00