2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

ඩ්‍රෝන සංදේශය

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 201

එක්තරා පෞද්ගලික ආයතනයක ප්‍රධානියෙක් කොරෝනාවෙන් ආරක්ෂා වනු පිණිස තම සේවක මණ්ඩලයේ පැමිණීම සීමා කළේය. ඒ අනුව එක් එක් දිනවල සේවයට වාර්තා කළේ අත්‍යවශ්‍ය අංශ භාර නිලධාරීන් පමණි. එක් දිනෙක එබඳු නිලධාරියෙක් පැමිණ නොසිටි බව දුටු ප්‍රධානියා ඔහු ගැන සොයාබලන මෙන් කනිෂ්ඨ නිලධාරියකුට නියෝග කළේය.

දුරකථනය වෙත ගිය එම නිලධාරියා සේවයට නොපැමිණි නිලධාරියාගේ නිවසට ඇමතුමක් දුන්නේය. ඊට පිළිතුරු දුන්නේ කුඩා ළමයෙකි.

පුතා, තාත්තට කතාකරන්න පුළුවන්ද?

නිලධාරියා ඇසීය.

බෑ...

ළමයා ඉතා සෙමින් පිළිතුරු දුන්නේය.

එහෙනම්, අම්මට කතා කරන්න පුළුවන්ද?

දැන් බෑ.

ගෙදර වෙන කවුරු හරි ඉන්නවද?

ඔව්.

ඒ කවුද?

පොලිස් අන්කල් කෙනෙක්.

එයාට පොඩ්ඩක් කතා කරන්ඩකො.

දැන් බෑ. එයා බර කතාවක.

කතාවක? කා එක්කද?

අපෙ අම්මයි, තාත්තයි එක්ක.

කුතුහලයට පත් නිලධාරියා, වෙනත් ප්‍රශ්නයක් අසන්නට සැරසෙද්දීම ඔහුට රිසිවරය තුළින්, අමුතු හඬක් ඇසුණි.

මොකක්ද පුතා ඒ සද්දෙ?

එළියෙ ඉන්න අන්කල්ලා වගයක් ඩ්‍රෝන කැමරා එකක් යවන්න හදනවා.

ඒ මොකද? ඔය පැත්තේ කොරෝනා රෝගියෝ හැංගිලා ඉන්නවද?

නෑ.... නෑ...

එහෙනං මොනවද සොයන්නෙ?

මාව.

අලුත්ම සිනා කතා අතරට, මෙවැනි ඩ්‍රෝන ජෝක්ස්ද එකතුවෙමින් පවතින්නේ, මෙරට කොරෝනා වසංගත මර්දන ක්‍රියාවලියටද %ඩ්‍රෝන කැමරා^ යොදාගැනීමේ පුවතක් සමඟිනි.

විනයගරුක හමුදාවක මෙන් නොව, රටක සාමාන්‍ය ජනතාව අතර, නියෝග ක්‍රියාත්මක කිරීම පහසු කටයුත්තක් නොවන බව දැන් කාට කාටත් වැටහී ගොස් ඇති සේය. කොරෝනා තහංචි මැද්දේ මිනිස්සු හැසිරෙන ආකාරය නිරීක්ෂණය කිරීමට නව තාක්ෂණය යොදාගැනීමට සිදුව ඇත්තේ එහෙයිනි.

ගොඩින් බැරි නං උඩින් යැයි කියා ගෙන, ගෙවතු උඩින් එන රහස්, අහස් යානා දකින ගැමියන්ට නම්, උඩින් උඩින් වර පෙත්තප්පු යන රබන් පදයද සිහියට එනු ඇත.

ඩ්‍රෝන පෙත්තප්පුගේ රාජකාරිය වන්නේ, නීතියක්, රීතියක් නොතකන, දඩබ්බර, හිතුවක්කාර, නොහික්මුණු පුරවැසියන්ගේ කල්කිරියාව විපරම් කර බැලීම වුවත්, තව තවත් රහස් කටයුතුද, ඒ ඇසට හසුවනු නිසැකය.

මුට්ට හංගන හාල්මෝල්, සුපිරි හෝටල් ඇතුළේ ප්‍රියසාද, වන උද්‍යාන තුළ කෙරෙන දඩ කෙළි සහ වෙනත් කෙළි, මත්ද්‍රව්‍ය සහ පාතාල කල්ලි, අල්ලස් සහ කොමිස් ගැහැලි ආදියද, ඩ්‍රෝන උකුසු ඇසට ලක්වනු ඇත. එසේම, හුදෙකලා රාත්‍රී කාලයන්හි ගුවනේ සරණ ඩ්‍රෝනයට අහස් මාළිගාවන්හි කවුළු තුළින් කොරෝනා කාලේ අනඟ රැඟුම්ද දැකගත හැකිවනු නොඅනුමානය.

ඒ රහස් තොරතුරු තම විචිත්‍ර කල්පනා ලෝකය තුළ මවාගන්නා නව සාමාන්‍ය යුගයේ කවිකාරයෙකු අතින් ඩ්‍රෝන සංදේශ කාව්‍යයක් ලියැවිමටද එයට රජත පුස්තක සම්මානයක් හිමිවිමටද බැරිකමක් නැත.

පුරවැසියන්ගේ පමණක් නොව පුරඟනන්ගේද රහස් දැනගැනීමට ඇති කුතුහලය හා ආශාව පුරාණයේ සිට පැවත එන රාජකීය සිරිතකි. පැරණි රජදරුවන්, වෙස් වලාගෙන නගර ගම් නියම්ගම්හි සංචාරයෙහි යෙදී ඇත්තේ එහෙයිනි. දිවා කාලයේ හිරු එළියට නොදිස්වන අහුමුළු රාත්‍රී කාලයේ සඳපහනට නිරාවරණය වන බව කවීන් පවසා ඇත්තේ අත්දැකීමෙන් විය යුතුය.

වර්තමානයේ ඩ්‍රෝන කුරුල්ලාද කරන්නේ එබඳු වෙස්වළාගත් රහස් සංචාරයකි. සංදේශ රැගෙන ගිය පැරණි කවි කුරුල්ලන් කළේ රහස් සෙවීමක් නොවුණත් කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් ඉෂ්ට කිරීමකි. අසවල් අසවල් දේ දැක ගනිමින්, අසවල් තැනට ගොස් අසවලාට අසවල් දේ කියවයි අණකළ කල්හි මයුර, පරෙවි, කෝකිල, සැළලිහිණි ආදී පක්ෂීහු එම කාර්ය ඉටුකළාහුය.

ඩ්‍රෝනයාට සිතක් නැත. ගන්නන් වාලේ පින්තූර ගන්නවා පමණි. එහෙත්, ඩ්‍රෝන හිමියාට ඒ පින්තූර වැඩදායකය. සිරි ලංකාවට ඩ්‍රෝන කැමරා ආ මුල් කාලයේ ඉන් වැඩ ගැනිමට පෙරට ආවේ ටෙලි හා සිනමා කැමරාකරුවන්ය. එහෙත්, යුද්ධ කාලයේදී ඩ්‍රෝන භාවිතය තහනම් කෙරුණි. අනවසර ඩ්‍රෝන යානා අත්අඩංගුවටද ගැනුණි.

ජෝර්ජ් ඕවල් (George Orwell) නැමැති සුප්‍රකට ඉංග්‍රීසි ලේඛකයා 1949 දී 1984 නමැති නවකතාවක් ලියුවේය. එය කල්පිත රාජ්‍යයක් පසුබිම් කරගත්, විද්‍යා ප්‍රබන්ධයකට සමාන කථා වස්තුවකින් යුතුය. එම රාජ්‍යයේ, සෑම තැනකම, සෑම නිවසකම කැමරාවක් සවිකර ඇත. එමගින් පාලකයනට තම වැසියන්ගේ සියලු රහස් දැනගත හැකිය. ඕවල්ගේ කතාව දන්නා කෙනෙකුට, වර්තමාන ඩ්‍රෝන කැමරා ඇස ගැනද තිගැස්මක් ඇතිවුවහොත් පුදුම විය යුතු නැත. නිදහස් පුරවැසියෙකුට, සෞඛ්‍යය මෙන්ම පෞද්ගලිකත්වයද එකසේ වැදගත්ය.

ඇමෙරිකාවෙන් ඇසුණු ඩ්‍රෝන කතාවකි මේ. ජනාධිපතිවරණය සමයේ, ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ආ ආරක්ෂක නිලධාරියෙක් මෙසේ කීය.

අපේ ඩ්‍රෝන එකක් කඩා වැටිල. ජෝ බයිඩන්ගෙ ආධාර කාරයෝ දෙන්නෙක් මැරිලා.

ඒ ඇසූ ට්‍රම්ප් කට උල්කර, මෙසේ ඇසීය.

අපිට තව ඩ්‍රෝන කොච්චර විතර ඕන වෙයිද?

කපිල කුමාර කාලිංග