2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා

මන්ත්‍රීවරුන්ට නවාතැන් ප්‍රශ්නයක්

 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 123

70 දශකයේ අගභාගයේ පමණ මා නතරව සිටියේ, කොළඹ බොරුල්ලේ, කෝට්ටේ පාරේ  ගෙවල් පේළියක මැදට වෙන්නට පිහිටා තිබූ බෝඩිමකය. මා එයට නිවෙසක් නොකියා බෝඩිම යැයි සඳහන් කරන්නේ ඒ මුළු නිවෙසම බෝඩිංකාරයන්ට වෙන්ව තිබූ බැවිනි. ඒ නිවසේ හිමිකරැවා, පප්ප මහත්තයා යනුවෙන් හැඳින්වුණු වියපත් පුද්ගලයෙකි. කාත් කවුරුවත් නැති ඔහු ද, ඒ නිවෙසේම කෙළවර කාමරයක බෝඩිං වී සිටියේය.

ඒ බෝඩිමේ සිටි අය අද සමාජයේ උසස් තැන්වල පසුවන, ප්‍රකට පුද්ගලයන් බැවින්, මම ඔවුන්ගේ නම් ගම් සඳහන් නොකරමි. එහි ආ ගිය අපේ ඇතැම් මිතුරන් දැන් පාර්ලිමේන්තුවේය. නැත්නම් පළාත් සභාවේය.
මේ බෝඩිමේ කතා කියන්නට ගියහොත් මට තව සති කිහිපයක් එකදිගටම ලියන්නට වෙන්නේ ඒ ගැනමය. එහෙත් මා පිටපොට ගැසුවේ එහි එක් සිදුවීමක් කීමටය.
එක් වැසි දිනයකදී පොඩි විහිළුවක් කිරීමට සිතූ අපි, බෝඩිම ඉදිරියේ ලැටිස් බිත්තියෙහි දිග බැනරයක් සවි කළෙමු. එහි මෙසේ ලියා තිබුණි.

සියලුම බෝඩිං ජනසතු කරනු - සමස්ත ලංකා එක්සත් බෝඩිංකරුවන්ගේ සංගමය
බොරැල්ලේ පැවති මැයි දින රැස්වීම් කිහිපයක් සඳහා කෝට්ටේ පාරේ ඇවිද යමින් සිටි අය මේ බැනරය දැක විවිධ ප්‍රතිචාර දක්වන්නට වූහ. බොහෝ දෙනා එය විහිළුවකැයි සිතන්නට ඇත. එහෙත් එක් බීමත් පුද්ගලයකු බැනරය දැක ඕවා කවදා කෙරෙන වැඩදැයි කියමින් ගියේ අප තුළ සිනා උපදවමිනි. (පප්ප මහත්තයා ද විහිළු දන්නා කෙනකු වූ බැවින් අපට බෝඩිමෙන් යාමට සිදු වූයේද නැත.)
ඉකුත් වත එසේය. දැන් තිබෙන්නේ වර්තමාන කතාවය.

මෑතකදී පාර්ලිමේන්තුවට තේරීපත් වූ තරැණ මන්ත්‍රීවරැ හැටපස් දෙනකුම කොළඹින් නිල නිවාස ඉල්ලා තිබෙන බව පුවත්පත් මගින් දැනගන්නට ලැබුණි. කලකට ඉහත නම් ශ්‍රාවස්තිය නමින් මන්ත්‍රීවරුන්ගේ බෝඩිමක් කොළඹ තිබුණි. පිට පළාත්වලින් ආ මන්ත්‍රීන්ගේ නවාතැන වූයේ එතැනය. අද එතැන ඇත්තේ රජයේ ආයතන කිහිපයකි. (මඳ කලකට පෙර මහ ඇමැති නිල නිවෙසය.)
පොරක් වීමට නම් ගෙන්දගම් පොළවේ කට්ට කෑ යුතු යැයි කියුමක් ඇත. ගෙන්දගම් පොළොව යනු කොළඹය. අලුත් මන්ත්‍රීවරුන්ද කොළඹට එන්නේ එකී කට්ට කෑමටය. කොළඹින් බෝඩිමක් සොයාගැනීම ඉතා දුෂ්කර කාරියකි. එහෙත් ඒ අපටය. පිට පළාත්වලින් එන මන්ත්‍රීවරැන්ට නම් ආණ්ඩුවෙන් බෝඩිං ලැබීමට නියමිතය. ඒවාට කියන්නේ මන්ත්‍රී නිල නිවාසය. ආණ්ඩුවේ බෝඩිම (කලකට ඉහත නම් රුජනගේ බෝඩිම) යනුවෙන් හැඳින්වෙන තවත් තැනක් කොළඹ ඇත. ඒ හිරගෙදරය. පාර්ලිමේන්තුවට එන ගරු මන්ත්‍රීවරු ඇතැම්විට ඒ බෝඩිමේද නවතින අවස්ථා නැතුවා නොවේ. පසුගිය කාලේ හිරගෙදර ද එක් කොටසක් මන්ත්‍රී නිල නිවාස තත්ත්වයටම පත්වෙමින් තිබුණි. වර්තමානයේ ද ඒ නිල නිවාසයේ සිට පාර්ලිමේන්තුවේ රස්සාවට එන අය සිටිති.

අවාසනාවකට මෙන් හිරගෙදර දැන් ඉඩකඩ මදිය. නැත්නම් කොළඹ කට්ට කෑමට ආ අලුත් මන්ත්‍රීවරුන්ටත් නවක වදයක් වශයෙන් හෝ එහි නතරවීමට ඉඩ තිබුණි. එසේ නැතත් අනාගතයේදී යාළු මිත්‍රයන්ගේ දුක සැප බැලීම සඳහා එහි යාමට ඔවුනට අවස්ථාවන් උදාවිය හැකිය.

පිට පළාත්වලින් කොළඹට ඇදෙන බෝඩිංකාරයන්ගේ ජීවිතය දුෂ්කරය. හොඳ බෝඩිමක් සොයාගත හැක්කේ හොඳ පඩිකාරයන්ටය. බොහෝ දෙනකුට ඒ වරම නැත.
බෝඩිංකාරයන්ගේ ලොකුම ප්‍රශ්නය කෑමය. බොහෝ දෙනා කන්නේ කඩෙනි. කැන්ටිමෙනි. තවත් සමහරැ ආර්ථික හා සෞඛ්‍ය හේතූන් මත උයාගෙන කති. ගෙදරදී කිරි හොද්දක් සම්බෝලයක් හදාගැනීමට නොදැන සිටි පිරිමි, රුකියාවෙන් විශ්‍රාම යන්නේ හොඳ කෝකියන් බවට පත්වෙමිනි. මන්ත්‍රීවරුනට ඒ වාසිය ද අත්නොවන්නේ ඔවුන්ට පාර්ලිමේන්තුවෙන් රාජ භෝජන ලැබෙන බැවිනි. මහජන සේවාවක් සඳහා පැමිණි නමුදු මහජනයා කන කෑම බීමම, අනුභව කළ යුතු යැයි නියමයක් නැත. අනික් අතට නවක මන්ත්‍රීවරුද කවදා හෝ පැන්ෂන් එක ලැබෙනතුරැ දැනට ලැබෙන වැටුපෙන් ජීවත් විය යුතුය. ඔවුන්ට ද දරුපවුල් එකක් හෝ ඊට වැඩියෙන් සිටිය හැකිය. (මෙහිදී ආගම් පටලවාගත යුතු නැත.) එහෙයින් ලැබෙන වැටුප අරපරිස්සමින් වියදං කළ යුතුය.

පසුගිය මැතිවරණයෙන් මැතිසබයේ ආසන අහිමි වූ මැති ඇමැතිවරැන්ද මේ වන විට සිටින්නේ දුෂ්කර ජීවන තත්ත්වයෙන් විය යුතුය. සමහරැන්ගේ ඇපත් රාජසන්තක වූ බැවින් ආර්ථික දුෂ්කරතා දෙගුණ තෙගුණ වනු ඇත. ඒ නිසා ඔවුන්ට මේ කඩිමුඩියේ නිල නිවාස, රථවාහන ආදිය අතහැර දා යාමට ද නොහැකිය.
මෙහිදී අපට මෙවැනි යෝජනාවක් කළ හැකිය. පරාජිත මන්ත්‍රී - ඇමැති දෙගොල්ලන්ට, ඔවුන්ගේ නිවාසවල නවක මන්ත්‍රීන්ට නවාතැන් පහසුකම් ලබා දී අමතර ආදායමක් ඉපයිය හැකිය. පිට වාසි නැති මේ කාලේ ළඟ වාසි ලැබීම ගැන එතුමන්ලාගේ මැඩම්ලා පවා අකමැති නොවනු ඇත.
පරාජය නිසා විශාදියට පත්ව සිටින මැති ඇමැතිවරැනට, පාර්ලිමේන්තුවේ අලුත් කටයුතු පිළිබඳව දැනකියා ගැනීමටද මේ මගින් අවස්ථාව ලැබේ. තමන් පාර්ලිමේන්තු නොගියත් ගෙදර නැවතී සිටින බෝඩිංකාරයා හෝ එහි යාම ඔහුගේ මානසික සුවය සඳහා හේතු වනු ඇත.

ඉදිරියේදී අමාත්‍යධූර වැඩිවීමේ ආරංචියක් ඇත. එසේ වුවහොත් මන්ත්‍රී නිල නිවාස පිළිබඳව ද රාජ්‍ය අමාත්‍යධූරයක් පිහිටුවීම වැදගත්ය.
දැන් නිවාඩු පාඩුවේ සිටින හිටපු ඇතැම් ලොක්කන් ද තම නිවෙසේ නවක මන්ත්‍රීවරුන්ට නවාතැන් පහසුකම් දීමට කැමති වනු ඇත. එහෙත් තවම මඟුල් රැවුලවත් නොකැපූ තරුණ මන්ත්‍රී ගැටයන් නම් ඒවායේ බෝඩිං වීමට කැමති නොවන්නට ඉඩ ඇත.
එවැනි තරුණ, නවක මන්ත්‍රීවරයකුගේ පියකු, මට මේ ළඟදී පැවති උත්සවයකදී මුණගැසුණි.
පුතා උඩින්ම දිනුව නේද? ඔබතුමාට හුඟක් සන්තෝස ඇති. මම ඇසුවෙමි.
ඔව්. ඒත් මට බය, මගෙ පුතා ඔතනට ගිහිල්ල කොකේන් ගහන්ඩයි ක්ලබ් යන්ඩයි පටන්ගනීද කියලා. ඔහු කනස්සලු පෙනුමින් කීය.
පුතාට කොළඹ නවතින්න තැනක් තියෙනවද? මම ඇසුවෙමි.

නෑ නෑ, මම හරි වයිෆ් හරි, උදේම පුතාව පාර්ලිමන්ට් ඇරලලා, හවසට ආපහු ගෙදර එක්කං එනවා. දරුවා නරක් වෙනවා බලා ඉන්න අපිට බෑනෙ.

කපිල කුමාර කාලිංග

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00