2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

පාසල් ගේට්ටු ළඟ අයිස් එක්ක මත්ප‍ෙති විකිණිල්ල

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 692

ප්‍රධාන පෙළේ නාගරික පාසල්වල සිසුන් මත්ද්‍රව්‍යවලට පොළඹවා ගැනීමේ සංවිධානාත්මක ජාවාරමක් සිදුවන බවට තොරතුරු ලැබෙමින් පවතී. මත්කුඩු, ගංජා, බාබුල්, මෝදක හා මත්පෙතිවලට සිසුන් ඇබ්බැහි කරවා ගැනීමේ උත්සාහය පිළිබඳව නව පාසල් වාරය අරඹන්නට පෙර දරු දැරියන්, ගුරුවරුන් මෙන්ම මවුපියන්ද අවබෝධ කරගැනීම ප්‍රබල අවශ්‍යතාවක් වී තිබේ. ජාත්‍යන්තර පාසල් හා ප්‍රධාන පෙළේ විද්‍යාල ආශ්‍රිතව සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් විශේෂිත පොලිස් කණ්ඩායම් මගින් වැටලීම් සිදුකරනු ලබයි. එවැනි මෙහෙයුමක නිරත විශේෂ පොලිස් කණ්ඩායමක් සමඟ ස්ථානගත වී සිටි අපට දකින්නට ලැබුණේ මෙවැන්නකි.  කොළඹ නගරයේ ප්‍රසිද්ධ ස්ථානයකි. ප්‍රධාන පෙළේ පාසලක ගේට්ටුව ආසන්නයේ එකම කලබලයකි. වෙලාව පස්වරු එකට ආසන්න නිසා ප්‍රාථමික පන්තිවල දරුවෝ පොදිකමින් ගේට්ටුවෙන් පිටවෙමින් සිටිති. දරුවන් කැටුව යාමට ආ මවුපියන්, යතුරුපැදි, මෝටර් රථ මෙන්ම පාසල් වෑන් රථ එකම තදබදයකි. පාසල් ගේට්ටුවට නුදුරින් ගැවසෙන වෙළෙන්දන් කීපදෙනෙකි. ඔවුන් අසලින් ගැවසෙන පාසල් දරුවන් නිසා වෙළෙඳාම ජය පාටය.

පැවති තදබදය නිමවෙද්දී එදින පාසල් කාලය හමාර විය. නැවතත් තත්ත්වය පෙර පරිදිය. පැණිබීම, කඩල, මුරුක්කු, ටොෆි, චොකලට්, බොම්බයි මොටයි ආදී රසකැවිලි වෙළෙන්දෝ රාශියකි. ඒ අතර පාසල් ගේට්ටුවට තරමක් ඈතින් අයිස්ක්‍රීම් වෙළෙඳාමේ නිරත අයෙකි. ඔහු පැමිණි පා පැදියේ පසුපස අයිස්ක්‍රීම් පෙට්ටියකි. ඉදිරිපස උසට ඇසිරූ අයිස් කෝන් පැකැට්ටුවකි.

ගේට්ටුවට තරමක් දුරින් සිටි නිසාදෝ ඔහු ළඟ එතරම් කලබලයක් නැත. එහෙත් නව යොවුන් වියේ සමහර ගැටවර සිසුවෝ ගේට්ටුවෙන් එළියට ආ ගමන් ඔහු දෙසට ගමන් කරති. ඔවුනට පරිසරයේ වෙනත් ස්ථානයක් ගැන අවබෝධයක් නැති තරමය. අයිස් වෙළෙන්දා අසලට ගිය ඔහු දිගු කළේ රුපියල් 120 කි. නමුත් මිලට ගත්තේ අයිස් කෝන් එකක් පමණය. මුදල් අතට ගත් සැණින් ඔහු අත වූ නලාව ඉහළට ඔසවා නාද කළේය. එසැණින් සිසු දරුවා වෙළෙන්දා පසුකරමින් යාර කීපයක් ඉදිරියට ගොස් එහි සිටි පුද්ගලයෙක් අසල නැවතුණේය. එසැණින් ඔහු අත වූ යමක් අයිස් කෝන් එක රැගත් ළමයා වෙත දිගු කෙරිණ. එය සාක්කුවේ ඔබාගත් දරුවා නොපෙනී ගියේය.

මේ සිසුවා කලිසම් සාක්කුවේ ඔබාගෙන තිබුණේ මත් පෙත්තකි. අයිස් එකක මිල රු. 20 කි. මත් පෙත්තක මිල රු. 100 කි. අයිස් වෙළෙන්දා රුපියල් 120ක් ලබාගත්තේ එබැවිනි. ඔහුගේ නලාව ජාවාරමේ සගයාට සංඥාවකි. අයිස් වෙළෙඳාම අතරේ මත්පෙති ජාවාරම පාසල් ගේට්ටුව අසල සිදුවන්නේ එසේය.

මේ ආකාරයට අලෙවි කෙරෙන්නේ මත්පෙති පමණක් නොවේ. කේරළ ගංජා, බාබුල්, සිගරුට්, මදන මෝදක සහ මත්කුඩු වර්ග අලෙවි කරන බව වාර්තා වේ. ඇතැම් පාසල් ආසන්නයේ විවිධ ප්‍රමාණයේ පෙට්ටි කඩ පවතී. මතට හුරුවූ ඇතැම් පාසල් ළමයින්ට මේ පෙට්ටි කඩය හුරුපුරුදුය. ඇතැම්විට එහි යන සිසුන් මුදල් ගෙවනවා පමණය. යමක් මිලට නොගෙනම පිටව යන්නේ අරමුණක් ඇතිවය. එසේ යන ළමයා මීටර් කීපයක් ගමන් කර නවතින්නේ වෙනත් පුද්ගලයකු ළඟය. ඔහු වෙතින් යමක් ලබාගන්නා ළමයා වහාම නොපෙනී යයි. මේ ආකාරයට තැරුවුකරුවන් හරහා පාසල් ළමුන්ට අලෙවි කරන්නේ ගංජා හෝ මත්කුඩුය.

ජාවාරම්කරුවන්ට සල්ලි ලැබෙනවානම් කවුරුන් හෝ කමක් නැත. පාසල් දරුවන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය විකුණන්නේ එබැවිනි. සෑම අවස්ථාවකදීම ජාවාරම්කරුවෝ සූක්ෂ්ම වෙති. කිසිවිටෙකත් ඔවුන් මත්ද්‍රව්‍ය අතැතිව ගැනුම්කරුගෙන් මුදල් නොගනිති. අදාළ ද්‍රව්‍ය අලෙවිය සඳහා තැරුවුකරුවන් යොදා ගනිති. මතට හුරුවන දරුවෝ මොවුන්ගේ ඇසුරට පත්වෙති.

මේ ආකාරයට ඇතැම් සිංහල බෙහෙත් බඩු අලෙවි කරන ස්ථාන සොයා යන ළමෝ සිටිති. ඔවුන් බොහොමයක් මතට ඇලුම් කරන්නෝ වෙති. එහි යන දරැවන් වෙළෙඳසලේ හිමිකරුට හෝ සේවකයකුට දික් කරන්නේ රු. 100 හෝ 150 කි. ඉන් පිටව යන දරුවා වෙළෙඳසලෙන් පිටතදී හමුවන අයකුගෙන් ලබාගන්නේ මදන මෝදක නමැති මත්ගුලි වර්ගයයි. යම් ලෙසකින් සිගරැට් බීමට පුරුදු වී සිටින ළමයි මත්පෙතිවලට ඇබ්බැහි වන්නේ එහි පවතින මත් ගතිය වැඩි නිසා බව කියති. ඇතැම් නගර ආශ්‍රිතව පවත්වාගෙන යන ෆාමසි හිමිකරුවෝද මත්පෙති ජාවාරමේ නියැලෙති. බොහෝවිට ඔවුහු පිළිකා රෝගීන්ට සහ මානසික රෝගීන්ට නිකුත් කරන ඖෂධ පෙති වර්ග මත්පෙති වශයෙන් අලෙවි කරති. පසුගිය දිනයන්හිදී පැවැත්වුණු “බිග් මැච්” සමඟ සියලු මාදිලියේ මත්පැන් හා මත්ද්‍රව්‍ය පාසල් සිසුන් වෙත අලෙවි කොට ඇති බවට තොරතුරු වාර්තා විය.

ඇතැම් ප්‍රදේශවල පාසල් සිසුන් මෙන්ම ප්‍රධාන නගර ආශ්‍රිතව ටියුෂන් පන්ති පැවැත්වෙන ස්ථානවල ගැවසෙන සිසුන් අතර මතට ලොල්වූවෝ කැස්සට භාවිත කරන පැණියක් අධික ලෙස පානයට හුරු වී සිටිති. ඊට පෙර කේරළ ගංජා පානය කරන බවද කියති. ගංජා භාවිතයෙන් පසු කැස්ස පැණිය බොනවිට මත් ගතිය වැඩිවන බවද කියති. 

 ජාත්‍යන්තර පාසල්වල මත්පෙති අලෙවිය වැඩියි 

මේ අතර මතට හුරැවූ ඇතැම් සිසුන් හිසේ ගල්වන ජෙල් පැකට් වර්ගයක් ගිල දමා අනතුරුව ශීතකළ කිරි පැකැට්ටුවක් පානය කරන බව කියති. එහිදී මත් ගතිය වැඩිවන බවක් කියන අතර කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් එය වාර්තා විය.
දිගින් දිගටම මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් සිදුවන නිසා හෙරොයින් අලෙවිය තරමක් අඩුය. මේ නිසා හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූ තරුණ ළමයි ඉන්ධන හල් වෙත ගොස් බෝතල්වලට පෙට්‍රල් මිලදී ගන්නා බවත් එහි පිටවන වාෂ්පය නාස් පුඬුවට හොඳින් ඇද ඉන් මත්වෙන්නට හුරුවී ඇති බවත් වාර්තා වේ. මේ නිසා ප්‍රදේශය ආශ්‍රිතව ත්‍රීරෝද රථවල පෙට්‍රල් සොරා ගැනීමේ කල්ලි බිහි වී ඇතැයිද සඳහන් වේ.

මෙවැනි මත්ද්‍රව්‍ය අලෙවිය සහ භාවිතය සාමාන්‍ය පාසල්වලට වඩා ජාත්‍යන්තර පාසල් ආශ්‍රිතව සිදුවන බව පෙනෙන්නට තිබේ. ඇතැම් සිසුන් මෙන්ම සිසුවියෝද මතට ඇබ්බැහි වී පාසල් පන්ති කාමරයේදී යම් මත්ද්‍රව්‍ය පානය කර සිටින බව කියති. මේ ආකාරයට හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් භාවිත වන්නේ කොළඹ ආශ්‍රිතව බවට වාර්තා වේ. එහිදී පෙරට වඩා කාන්තා පාර්ශ්වය මතට ඇබ්බැහි වීමේ වර්ධනයක් පවතින බවද කියති. මේ ප්‍රදේශවල හෙරොයින් සම්බන්ධ වැටලීම් බහුල නිසා ඊට හුරු වූ පුද්ගලයන් වෙනත් මත්ද්‍රව්‍ය මත්පෙති, කේරළ ගංජා, බාබුල්වලට පුරුදුව සිටිති. එබැවින් ගංජා, බාබුල්, මෝදකවල පරිභෝජනය ඉහළ ගොස් ඇතැයිද වාර්තා වේ. අරක්කු මිල ඉහළ යාමත් සමඟ බියර් භාවිත කරන ප්‍රමාණය වැඩි වී ඇතැයිද, සිගරැට් මිල ඉහළ යාමත් සමඟ විදේශීය නීතිවිරෝධී සිගරැට් සහ බීඩි භාවිතය වර්ධනය වී ඇතැයිද වාර්තා වේ.

ප්‍රධාන නගරවල ප්‍රසිද්ධ පාසල් අසල සහ එම පරිශ්‍රවල සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය අලෙවි ජාවාරම සිදුකෙරෙන බවට තොරතුරු හෙළිවෙද්දී මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය පිළිබඳවද අවධානය යොමුකළ යුතුය. ඒවායේ සිසුන් හා සිසුවියන් සුළු පිරිසක් මත්ද්‍රව්‍යයන්ට ගොදුරැ වී සිටින බවට තොරතුරු තිබේ. එවැනි ඇතැම් ළමයින් දේශනවලට සහභාගී වන්නේද මත්පෙති හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසුව බවද කියති. මේවායේ ඇතැම් සිසුවියන් විශ්වවිද්‍යාල භූමියේදී, ගස් යට, ආපන ශාලාවේ හෝ නේවාසිකාගාරයේදී මත්ද්‍රව්‍ය සහ බියර් පානය කරන බවද කියති. මේ හේතු මත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ විවිධ ස්වරෑපයෙන් එතුළට පැමිණෙන බවද කියති. මේ ආකාරයට හැසිරෙන ඇතැම් පිරිස් නිසා පාසල් හා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය විලාසිතාවක් තරමට ජනප්‍රිය වී තිබේ.

මේ සම්බන්ධයෙන් මිතුරු, මිතුරෝ සංසදයේ නිර්මාතෘ කුප්පියාවත්තේ බෝධානන්ද හිමියන් පෙන්වා දෙන්නේ 2016 වසරේ සහ 2017 මුල් මාස තුනේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී විශෝධනයට පැමිණ සිටින බහුතරය වයස අවුරුදු 15, 17, 18 හා 20 නොඉක්මවූ ළමයින් බවය. 

මත්ද්‍රව්‍යයට හුරු වූ බොහෝ දරුවෝ පවුලේ සාමාජිකයන්ගෙන් වෙන් වී හුදෙකලාව වාසය කරන්නට ප්‍රිය කරති. ඔවුන්ගේ තොල කට නිතර වියැ‍ළෙයි. තනියෙන් සිනාසෙති. බොහෝවිට නිදිකිරා වැටෙන සුලුය. ඇසේ දීප්තිය අඩුය. මඳ සිහියෙන් ඉන්නා සේම හුස්ම ගැනීමේ රිද්මය වේගවත්ය. දරුවන්ගේ ශරීරය නිකරුණේ කෙසඟ වන්නේ නම්, හෝ දැරිවියකගේ ඔසප් චක්‍රය දැඩි ලෙස අක්‍රමවත් වන්නේ නම් බොහෝවිට එය මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව විය හැකිය.

මේ නිසා ගුරුවරුන්, මවුපියන් හා වැඩිහිටියන් දරුවන් පිළිබඳව පෙරට වඩා අවධානයෙන් සිටීම අවශ්‍යය. මෙවැනි ජාවාරම් මැඩලන්නට වගකිවයුතු අංශවල දායකත්වය වඩාත් යොමුකළ යුතුය. පාසල් ළමුන් දැනුම්වත් කරන්නට පොලීසිය සිදුකරන අගනා දේශන හා වැඩමුළු සඳහා ඕනෑම පාසලකට පොලීසියේ සහාය ලබාගත හැකිය.

(වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සහ කොළඹ දූෂණ මර්දන ඒකකය සිදුකළ වැටලීම් ඇසුරෙනි.)

I සමන්ත ප්‍රදීප් විල්තෙර