2020 අගෝස්තු 29 වන සෙනසුරාදා

බෝට්ටුවෙන් මැති සබයට

 2020 අගෝස්තු 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 221

බොහෝ ඇසූ පිරූ තැන් ඇති පඬිවරයෙක් ගඟකින් එතෙර වීම පිණිස තොටුපොළකට පැමිණියේය. එහි වූ ඔරැවෙන් ගමන් කරන අතර ඔහු තොටියාගෙන් මෙසේ විමසීය.

අලංකාර ශාස්ත්‍රය ගැන තමුසෙගෙ දැනුම කොහොමද?

අපොයි මං දන්න අලංකාරයක් නෑ

තොටියා සිනාමුසුව පිළිතුරු දුන්නේය.

එහෙනම් තමුසෙගෙ ජීවිතෙන් බාගයක්ම අපතේ පඬිවරයා කීය.

ඔරුව සෙමින් සෙමින් ගඟ මැදට යාත්‍රා කළේය.

පඬිවරයා යළි ප්‍රශ්නයක් ඇසීය.

දර්ශනවාද ගැන තමුසෙගෙ දැනුම කොහොමද? මං ඒ ගැන ලියපු පොත් එහෙම කියවලා තියෙනවද?

අපොයි මං මළපොතේ අකුරක් දන්නවයැ, ඔව්වා කියවන්ඩ

තොටියා බුලත් කහට බැඳුණු දත් දෙපළ දක්වමින් සිනාසුණේය.

එහෙනම් තමුසෙගෙ ජීවිතෙන් තුන් කාලක්ම අපතේ

තොටියා කිසිත් නොකියා හිස සැලුවේය.

ඊට සුළු මොහොතකට පසු එක්වරම කලබලයට පත් තොටියා වෙවුලන හඬින් මෙසේ ඇසුවේය.

පඬිතුමා පීනන්න දන්නවද?

නෑ. මං දන්නෙ නෑ.

එහෙනම් ඔබතුමාගේ මුළු ජීවිතේම ඉවර වෙන්නයි යන්නේ.

ඒ මොකද?

ඔරුව පතුළෙ සිදුරකින් ඇතුළට වතුර දානවා. තව ටිකකින් ගිලෙයි.

එසේ කියූ තොටියා ගඟට පැන්නේය.

ප්‍රකට උපමා කතාවක් වන මෙය මගේ මතකයට නැගුණේ පළමු වරට පාර්ලිමේන්තු වරම් ලැබූ කෝට්ටේ හිටපු නගරාධිපතිතුමා බෝට්ටුවක නැගී මංගල සැසි වාරයට සහභාගී වන්නට යන ඡායාරූපය දැකීමෙනි.

එතුමාගේ බෝට්ටුවේ නාවික හමුදාවේ තොටියන් දෙදෙනෙකි. ඒ දෙදෙන ආරක්ෂක කබා පැළඳ සිටි අතර මන්ත්‍රීවරයා සූට් එකකින් සැරසී සිටියේය. එතුමා පිහිනීම දන්නවාදැයි අපි නොදනිමු.

ඒ කෙසේ වෙතත් නවක මන්ත්‍රීවරයා සැලසුම් කර තිබුණේ හොඳ ආරම්භයකි. එයින් එතුමාට මාධ්‍ය අවධානය යොමු වෙයි. අනෙක් අතට එතුමාම පැවසූ පරිදි කොළඹ රථවාහන තදබදයට විසඳුමක් වශයෙන් ආරම්භ කළ දියවන්නා මගී බෝට්ටු සේවාවටද ප්‍රචාරයක් ලැබෙයි.

ඉහත දැක්වූ උපමා කතාවේ ආදර්ශය වූයේ ප්‍රායෝගිකත්වයෙන් තොර දැනුම පලක් නොවන බවය. පොදු ජනතාව තම නියෝජිතයන්ගෙන්ද බලාපොරොත්තු වන්නේ ඉක්මන් විසඳුම් දෙන ප්‍රායෝගික වැඩපිළිවෙළවල්ය.

නවක මන්ත්‍රී මධුර විතානගේ මහතාට ද දිගින් දිගටම බෝට්ටුවෙන් රස්සාවට යාමට නොහැකි බව අපි දනිමු. එහෙත් එතුමාගේ මංගල බෝට්ටු චාරිකාව අර්ථවත් වනුයේ ඉදිරියේදී කෙරෙන අනෙකුත් වැඩ ව්‍යාපෘති ආදිය තුළිනි. නොඑසේනම් අත්වන්නේ ඉහත කතාවේ එන පඬිතුමාට අත් වූ ඉරණමය. අලුත් වැඩකින් ලකුණු දමාගත් මධුර මන්ත්‍රීතුමාට අපිදු සුබ පතමු.

තොටියා යනු එතෙර කරවන්නාය. එහෙත් බොහෝ විට සිදුවන්නේ එතෙර වූ පසු මගියාට තොටියා අමතක වීමය. මගියාට මෙන්ම තොටියාට ද වාරයක් එන බව අමතක නොකළ යුතුය. තොටියා හබලක් රැගෙන ගෙදර නතර වුවහොත් මගියාට සිදුවන්නේ තොටුපොළ අයිනට වී සුසුම් ලෑමටය. දියෙන් හෝ ගොඩින් දියවන්නාව තරණය කරන්නෝ මේ යථාර්ථය වටහාගෙන කටයුතු කළ මනාය.

තොටියන් ගැන ගැයුණු, ලියැවුණු ගීත බොහෝය. සිංහල තොටි ගීත^ අතරින් වික්ටර් රත්නායකයන් ගයන තොටුපොළ අයිනේ සහ ෂෙල්ටන් පෙරේරා ගැයූ එගොඩහ යන්නෝ වඩාත් ජනප්‍රියත්වයට ලක්විය.

ෂෙල්ටන් පෙරේරාගේ ගීතය රචනා කළේ ඩෝල්ටන් අල්විස්ය. එතුමාගේ පුත් රම්‍ය අල්විස් ස්වාධීන රෑපවාහිනියේ වැඩසටහනකදී කියූ කතාවක් මගේ මතකයට නැගෙයි.

එගොඩහ යන්නෝ ගීතයට තනු නිර්මාණය කරමින් සිටි අවස්ථාවේ ඩෝල්ටන් කවියා සංගීතඥ ෂෙල්ටන් පෙරේරා අමතා මෙසේ පවසා ඇත.

ෂෙල්ටන්... ඔය සින්දුවේ කියවෙන්නේ එසේ මෙසේ තොටියෙක් ගැන නෙවෙයි. ඒ අපේ බුදුරජාණන් වහන්සේ

ඒ ප්‍රකාශය අනුව එගොඩහ යන්නෝ ගීතය අසන්නෙකුට ඩෝල්ටන් අල්විස්ගේ ගේය පද රචනයෙහි සැඟවුණු ගැඹුරැ අරැත වටහාගත හැකි වෙයි.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස පත් වූ ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ තරුණ මහතා ද ආරම්භයේදීම ප්‍රවෘත්තියක් මැවූයේ දකු‍ණේ මුහුදු රළ මත සර්ෆ් නැමැති දිය කෙළියෙහි යෙදෙමිනි. එය සිදු කරන්නේ පුවරැවක නැගී උස් රළ පහර මත ගමන් කිරීමෙනි. ශරීරය සමබරව තබා ගැනීම මේ ක්‍රීඩාවේ අත්‍යවශ්‍ය අංගයකි.

ජීවිතයේදී මෙන්ම දේශපාලනයේදී ද සමබරව කටයුතු කිරීම ඉතා වැදගත්ය. නාමල් ඇමැතිවරයා මේ බව දන්නා බව පෙනෙයි. මුල සිටම ඔහු ඒ සඳහා අභ්‍යාස කරන්නේ එහෙයිනි.

ක්‍රීඩා ඇමැති ලෙස දිවුරැම් දුන් දා මාධ්‍යවේදියකු ඔහුගෙන් මෙසේ ඇසුවේය.

අපේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට ඔබතුමාට සැලසුමක් තිබෙනවද?

අවස්ථාවට නොගැලපෙන ප්‍රශ්නයක් ඇසූ ඒ මාධ්‍යවේදියාට නවක ක්‍රීඩා ඇමැතිගෙන් කදිම පිළිතුරක් ලැබුණි.

මතක තියාගන්න. මම ක්‍රීඩා ඇමැති මිස ක්‍රිකට් ඇමැති නෙවෙයි. ක්‍රිකට් ගැන බලාගන්න වෙනම මණ්ඩලයක් ඉන්නවා. ක්‍රිකට් විතරක් නෙවෙයි සියලුම ක්‍රීඩා නැංවීමට ප්‍රතිව්‍යූහගත වැඩපිළිවෙළකට යා යුතුව තිබෙනවා

මාධ්‍යවේදියා රගර් ක්‍රීඩාව ගැන ඇසුවේනම් ඔහුට වෙනස් පිළිතුරක් ලැබෙන්නටද ඉඩ තිබුණි.

නාමල් රාජපක්ෂ යනු දේශපාලන රළ පතර මැද දිගු කලක් සර්ෆ් ක්‍රීඩා කිරීමෙහි යෙදෙන සැලසුම් ඇත්තෙකි. මුහුදු රළට වඩා දේශපාලන රළ ප්‍රවේගකාරී බව ඔහු නොදන්නවා නොවේ. සැණෙන් නැගෙන උදම් රළ මත පවා සමබරව ලිස්සා යාමට ඔහු උගත යුතුය. 

සිරි ලංකා පොලීසියේ සුනඛ අංශය එහි විශ්‍රාම යාමට ආසන්න සුනඛයන් වෙන්දේසියේ දමා අමතරව ආදායමක් ලබා ගත්තේය. ක්‍රීඩා අමාත්‍යංශයට ද එය ආදර්ශයට ගෙන වැඩ බැරි ක්‍රීඩකයන් හා විශ්‍රාම යාමට ආසන්න ක්‍රිකට් තරු වෙන්දේසියේ දමා ක්‍රිකට් සංවර්ධන අරමුදලක් ඇති කළ හැකිය. විශ්‍රාමික ක්‍රිකට් ක්‍රීඩකයන් වන අර්ජුන රණතුංග මුත්තයියා මුරලිදරන් හා සනත් ජයසූරිය ආදීන්ට පවා සිරි ලංකාවේදී කෙසේ වෙතත් ඉන්දියාව, පාකිස්ථානය වැනි ක්‍රිකට් රටවලදී ඉහළ ලංසුවක් ලැබෙනු ඇතැයි සිතිය හැක.

කපිල කුමාර කාලිංග