2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

කැන්වසින් සමය නිමා විය

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 173

මේ අවුරුද්දෙ මුල් කාර්තුවෙ, අපේ රටේ රස්සාවක් නැති අයගෙ ගණන, හාරලක්ෂ අසූතුන් දාහකටත් වැඩිලු.

වේයන්ගොඩින් දුම්රියට ගොඩවන සෝමේ, අලුත්ම ප්‍රවෘත්තියක් ඉදිරිපත් කළේය. එය ඔහුගේ සිරිතකි. මේ නිසා, කිසියම් පුවතක් හෝ ආරංචියක් ගැන නිශ්චිතව දැනගත යුතු වූ විට, කන්තෝරු කෝච්චියේ මිතුරැ පිරිස, පවසන්නේ &සෝමේ නගිනකල් ඉමු කියාය.

සෝමේ කියූ අලුත් පුවත ගැන නොයෙක් ප්‍රතිචාර ලැබෙන්නට විය. එය නවතින්නේ, මරදානේ හෝ කොටුවේ දුම්රියපළට ළඟාවීමත් සමඟය.

කුඩු බිස්නස් කරන්නෙ, ඔය හාරලක්ෂෙන් කට්ටියක් වෙන්ඩැති. උපහාස කථිකයෙක් වන ජනදාස කීය.

රෑ දොළහට මෝටර් බයිසිකල් රේස් පදින්නෙත් ඒ අයම වෙන්ඩැති. වැඩක් පලක් තියෙන අය, ඔහොම පිස්සු කෙළීයැ. ජනදාසට මීටරයක් දුරින් හිඳ සිටි, නන්දසේන කීය.

තවත් සමහරු, දෙසිය විසිපහකට රස්සාවල් හොයල දෙන්ඩ, කැන්වසින් යනව ඇති.

ඔව්. ඒකත් මේ කාලේ දිනපතා වැටුප් ලැබෙන හොඳ රස්සාවක් තමයි.

තවත් ආසනයකින්, ඒ අදහස් මතුවුණි. සමහරැන්ගේ මුහුණු නොපෙනෙතත්, කටහඬින් ඔවුන් හඳුනාගත හැක. මල්රාජිනීගේ කට සැරය. ඇය දුම්රිය පෙට්ටියේ, එක කෙළවරක සිට කියන දෙයක් අනිත් කෙළවරට ද ඇසෙන තරම්ය.
ඇය ද, කතාබහට එක්වූවාය.

ගිය සෙනසුරාදා, අලියට ඡන්දෙ දෙන්ඩ කියල ඉල්ලන්ඩ ආපු කට්ටියෙ හිටපු කෙනෙක්ම, ඉරිදා ආවා පොහොට්ටුවෙ කට්ටිය එක්ක... මං ඇහුව ඔයා හෙට එන්නෙ කා එක්කද කියලා.

ඉතින්!

ඒ වෙනුවට වෙන කෙනෙක් උත්තර දුන්නා.

එයා මොකද කියන්නෙ?

ඒගොල්ලො රැකියා විරහිත උපාධිධාරියොලු. හැම පක්ෂෙකටම වැඩ කරල බලනවලු. එතකොට දිනන කාගෙන් හරි රස්සාවක් ඉල්ලගත්තැකිලු.

මැදිරියේ තැන් තැන්වලින් සිනා හඬ ද, කසුකුසු ද නැගුණි.

ඔය වගේම කතාවක් මටත් අහන්න ලැබුණා. මංගලසිරි ද කතාවට ඈඳුණේය.

අපේ දිහාට ආවා ස්වාධීන අපේක්ෂකයෙක්. මං මිනිහගෙන් ඇහුවා, ඇයි පක්ෂෙකට නොගිහින් ස්වාධීනව ඉන්නෙ කියලා. මිනිහ කියනවා, එයාගෙ පක්ෂෙ තීරණය වෙන්නෙ දිනුවට පස්සෙලු.

ආහ්... මිනිහ ගෙඹි පක්ෂෙ කෙනෙක්. 

යළිත් තැන තැන සිනා හඬ...

එතැන් සිට තව තවත් කැන්වසින් රසකතා පෙළක්ම අසන්නට ලැබුණි.

සෑම මැතිවරණයක් ආසන්නයේම කැන්වසින් සමයක් ද උදාවෙයි. ඉන් අදහස් වනුයේ, අපේක්ෂකයා හෝ ඔහුගේ ආධාරකරුවන්, ගෙයින් ගෙට ගොස්, ප්‍රචාරක පත්‍රිකා යනාදිය බෙදා දෙමින්, තමන්ට හෝ තම පක්ෂයේ අපේක්ෂකයාට ඡන්දය දෙන මෙන් ඉල්ලා සිටීමය.

මීට කලකට ඉහත බස්නාහිර පළාතේ, දේශපාලනඥයෙක්, තම කැන්වසින් නඩය හැඳින්වීමට යොදාගත් සරදම් නාමය වූයේ කොන්ක්‍රීට් බාස්ලාය. (එය සමීප හිතවතුන් අතරේ පමණක් භාවිත වුණු නමකි).

ඔහු ජීවත් වූ නගරයේ, ප්‍රධාන මංසන්ධියෙහි මාර ගසක් යට, උදෑසනම දැකිය හැකි කණ්ඩායමක් වෙයි. ඒ, කොතැනක හෝ ඉදිවන ගොඩනැගිල්ලක කොන්ක්‍රීටයක් දැමීමට යාමේ බලාපොරොත්තුවෙන් සිටින, බාස්වරු සහ අත්උදව්කාරයෝය. කොන්ත්‍රාත්කාරයන්ගේ ට්‍රක් රථ, උදෑසනම එහි ළඟා වෙයි. පිරිස, කොටස් වශයෙන්, එම රථවල නැගී යති. සවස ආපසු, ඔවුන් නංවාගත් මාර ගස අසලටම ගෙනැවිත් හැරලනු ලැබේ.

ඉහත කී, අපේක්ෂකයා ද, එවැනිම වැඩපිළිවෙලක් අනුගමනය කළේය. ඔහුගේ ආධාරකරුවන්ගේ වාහන දෙක තුනක් උදෑසනම නගරයේ සැරිසරමින්, තැන තැන රස්තියාදු වෙමින් සිටිනවුන්ගෙන් කැන්වසින් යාමට කැමැතිදැයි අසා, නංවාගනී. දින දෙක තුනක් යන විට, එම පිරිස ස්ථිර කණ්ඩායමක් වී, පොරොන්දු වේලාවට, මාර ගස යටට පැමිණ සිටිති. ඒ කාලයේ හැටියට ඔවුන්ට, රුපියල් පන්සියයක දෛනික දීමනාවක් ද, කෑම පාර්සල් ද, රාත්‍රියේ දී මත්පැන් ද ලැබුණි.

මැතිවරණයෙන් පසු, ඒ කොන්ක්‍රීට් බාස්ලා නොහොත් කැන්වසින් සපෝටර්ස්ලාට එළඹෙන්නේ වාරකන් කාලයයි. අපේක්ෂකයා පරාජය වී නම්, සියලු සබඳකම් එතැනින් අවසන්ය. ජය ගත්තේ නම්, සපෝටර්ලා මන්ත්‍රීවරයාගේ කාර්යාලය හෝ නිවෙස වටා කැරකෙමින්, රුකියාවක් ලබාගැනීමට වෙහෙසෙති. එහෙත් ඒ බලාපොරොත්තු ඉෂ්ට වන්නේ, එහෙමත් කෙනකුට පමණි.

කැන්වසින් යාමේදී, එක් දවසක දී කවර් කළ යුතු ගමක්, නගරයක කොටසක් හෝ වීදියක් දෙකක්, එසේත් නැතිනම් නිවාස සංඛ්‍යාවක් වෙයි. ඇත්තෙන්ම, එය තරමක් වෙහෙසකර කටයුත්තකි. එසේම, නියමිත ඉලක්කය සපුරාගැනීම සඳහා කාලය කළමනාකරණය කර ගැනීම ද වැදගත්ය.

අගනුවරට නුදුරු ආසනයකට ඉදිරිපත්ව සිටි, හිටපු මන්ත්‍රීවරයකු තම පක්ෂයටත් වඩා ඇළුම් කළේ මත්පැනට බව කා හටත් රහසක් නොවීය. මේ නිසා, ඔහුගේ කැන්වසින් චාරිකාවේදී, ඇතැම් නිවෙසක දී මත්පැනින් ද සංග්‍රහයක් ලැබෙයි. සමහර විට, එක බෝතලය, දෙක තුන වෙයි. ඒ දවසේ කැන්වසින් යාම එතැනින්ම නතර වෙයි. අපේක්ෂකයාටම ගැලපෙන, මද්‍යලෝලී කණ්ඩායමක් ද සිටි හෙයින්, එය ගැටලුවක් ද නොවීය. එහෙත්, එවර ඒ හිටපු මන්ත්‍රීවරයාට රුකගත හැකි වූයේ %හිටපු^ කෑල්ලම පමණි.

ඈත පළාත්වලින් ද රසවත් කැන්වසින් සිදුවීම් අසන්නට ලැබෙයි.

අනුරාධපුර පළාතේ ගමක, කැපුවත් නිල් වර්ගයේ ශ්‍රීල.නි.ප. ආධාරකරැවෙක් සිටියේය. ඔහුට යූ.ඇන්.පී.කාරයන්, නයාට අඳුකොළ වගේය. අපේක්ෂකයා සමඟ කැන්වසින් යන ඔහු, රාත්‍රියේ ආපසු නිවෙසට එන්නේ කටගොන්නක් බීගෙනය. එය වනගත පාරකි. රාත්‍රියේ වල්අලි ද පාරට එති. එක් දිනක්, රාත්‍රියේ ඔහු එසේ වැනි වැනී එද්දී, පාර හරහා සිටි තනි අලියකු දුටුවේය. අලියා, අඩි දෙක තුනක් ඉදිරියට ආවේ, හොඬවැලත් ඔසවාගෙනය. කැපුවත් නිල් ආධාරකාරයාගේ වෙරි හිඳුණි. ඔහු වැටි වැටී දිව යන්නට වූයේ අලියට දෙන්නං, අලියට දෙන්නං, මට ගහන්නෙපෝ යැයි කියමින්ලු. මේ කතාව ගම පුරා පැතිරැණි. පසු කාලයක, ඔහු අවුස්සනු කැමති අය, අලියට දෙන්නං, අලියට දෙන්නං යැයි කියූ විට, අලි කුණුහරැප වැලක් අසාගැනීමට ලැබේ.

දැන් කැන්වසින් සමය අවසානය. උදාවන්නේ වාරකන් කාලයයි. පසුගිය මැතිවරණයක ප්‍රතිඵල අසන රාත්‍රියක, අපගේ පාර්ලිමේන්තු වාර්තාකාර මිත්‍රයකු කියූ දෙයකින්, මෙවර හීසරය නිමා කරමි.
කවුරු දින්නත් අපිට මොකෝ. අපි හැමදාම ගැලරියේ.

කපිල කුමාර කාලිංග