2020 ජුනි 20 වන සෙනසුරාදා

ටී.වී. නිව්ස් ගැන බ්‍රේකිං නිව්ස් එකක්

 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 234

නූතන මිනිසා පමණක් නොව, නූතන ආදිවාසියා පවා නිව්ස් බලති. අසති. නිව්ස් යනු ප්‍රවෘත්තිය. එහෙත් මේ සිරිලංකාවේ ප්‍රවෘත්ති බලමුදැයි අසන කිසිවෙක් නැත.

ඒ කාලයේ නම්, නිව්ස් කිව්වෙ තනි පුද්ගලයෙකි. මේ කාලයේ, බොහෝවිට දක්නට ඇත්තේ ආසන දෙකේ ප්‍රවෘත්ති*ය. එසේ වීමට හේතුව, බෙදාහදාගෙන කියැවීමට තරම් නිව්ස් කන්දරාවක් තිබෙන නිසා විය යුතුය.
නිවේදක - නිවේදිකා යුවළ, නිව්ස් ආරම්භයේදීම තමන්ගේ නම් කියා, නිහතමානීව හෝ ආඩම්බරයෙන්, ස්වයං හැඳින්වීමක යෙදීම පිළිගත් සිරිතකි. එහෙත් ඇතැම් තැනක, ඔවුන් දෙදෙනාටත් කලින් එඩ්වඩ් බාන්ස්ගේ හෝ රොබට් බ්‍රවුන්රිග්ගේ හඬින්, ඔවුන්ගේ නම් කියාපෑම අමුතු සිරිතකි. සිංහල නිව්ස්, සමස්ත ලෝක ධාතුවටම ඇසෙන්නේ යැයි ඔවුන් කල්පනා කරනවා විය හැකිය.

ඒ කෙසේ වෙතත්, අනුන්ගේ නම් ගම්වලින් අපිට වැඩක් නැත. ඔවුන්ට අපහාසයක්, සිත් රිදවීමක් කිරීමේ අරමුණක් අපේ තුන් හිතකවත් නැත. අපට වැදගත් වන්නේ නිව්ස්මය. විශ්වාසනීය වූද, සත්‍යගරැක වූද, අපක්ෂපාතී වූද, කාලීන වූද, සමබර වූද ප්‍රවෘත්තිමය.

නිව්ස් ඔවුන්ගේ වුවද, කාලය අපේය. එහෙත් ඇතැම් නිව්ස්කාරයෝ, එකම දේ වටේ ගනිමින්ද, වැල් වටාරම් සහ ආගිය මුලගිය තැන් දොඩමින්ද අපගේ වටිනා කාලය නාස්ති කරති. ප්‍රකාශකයා මුලින්ම කියන පුවත, නැවත ඇමැතිවරයෙකු හෝ වෙනත් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලවාද කියවති.

ප්‍රවෘත්ති ප්‍රකාශයේදී හෝ මාධ්‍ය හමුවකදී ඇතැම් නිවේදකයින්ගේ කථන ශෛලිය, උපහාසයට ලක්කරනාසුළු, කතාවක් පසුගියදා සමාජ මාධ්‍ය ජාලයක් තුළ දුටුවෙමි.
නිවේදක මහතෙක්, ගොවි මහතෙකු සමඟ සංවාදයක යෙදෙයි.
නිවේදක: මේ ගොවි මහත්මයාට හරක් කී දෙනෙක් ඉන්නවද?

ගොවියා: දෙන්නයි.
නිවේදක: හරකුන්ට කෑමට දෙන්න මොනවාද?
ගොවියා: සුදු එකාටද, කළු එකාටද?
නිවේදක: සුදු එකාට කියමුකො.
ගොවියා: තණකොළ
නිවේදක: එතකොට, කළු හරකට?
ගොවියා: තණකොළම තමයි.
නිවේදක: හරකුන් ගාල් කරන්නෙ කොහෙද?
ගොවියා: කළු එකාද- සුදු එකාද?
නිවේදක: සුදු එකාය කියමුකො.
ගොවියා. මඩුව ඇතුළෙ.
නිවේදක: එතකොට කළු එකා?
ගොවියා: ඌත් ඒ මඩුවෙම තමයි.
නිවේදක: හරක් නාවන්නෙ කොහොමද?
ගොවියා: කළු එකාද - සුදු එකාද?
නිවේදක: සුදු එකාය කියමුකො?
ගොවියා: ඇළෙන්
නිවේදක: කළු එකා....?
ගොවියා: ඇළෙන්ම තමයි.
මෙසේ මොහොතක් යද්දී නිවේදකයාගේ ඉවසීමේ සීමාව පැන්නේය. ඔහු ගොවියාට කඩා පැන්නේය.
මුන්නැහේ, හරක් ජෝඩුවටම එකම දේ නම් කරන්නේ. හැමතිස්සෙම මගෙන්, කළු එකාද සුදු එකාද කියල අහන්නේ ඇයි?
සුදු එකා මගෙ හරකෙක් නිසානේ මහත්තයෝ.
එතකොට, කළු එකා?
ඌත් මගේ තමයි...

මොන වප් මඟුලක්ද ඕයි, තමුසේ මේ කතා කරන්නේ?
එසේ කියමින් නිවේදකයා වැඩසටහනට කෙටි විරාමයක් දුන්නේය.
නිවේදක මහත්වරැ හෝ ප්‍රවෘත්ති ප්‍රකාශකයින් එකම දේ, සෝද සෝදා ගලේ ගසනා විටද එකම කණුව වටා සෙක්කු පදින විටද, අසන්නාට දැනෙන්නේත් එදා ඒ නිවේදක මහතාට දැනුණු නොඉවසිල්ල හා නොරිස්සුම බව අමුතුවෙන් කිවයුතු නැත.
නිව්ස් නොහොත් ප්‍රවෘත්ති ප්‍රකාශනය යනු විහිළුවක් නොවේ. එය ඉතා බැරූරැම් කටයුත්තකි. ඇලපිල්ලක්, ඉස්පිල්ලක් හෝ වැරදිය නොහැකිය. එහෙත්, උපහාස කතා කාරයන්ගෙන් නිවේදක මහත්වරුනටද ගැලවීමක් නැත. මේ එබඳු නිර්මාණයකි.

මුළු ලොවම ලොක්ඩවුන් වී සිටි කාලයේ එක්තරා රටක රූපවාහිනී ආයතනයක ප්‍රවෘත්ති ප්‍රචාරය වෙමින් තිබියදී අයාලේ යමින් සිටි සිංහයෙක් මැදිරියට රිංගා ගත්තේය. දැඩි කුසගින්නෙන් පෙළුණු සිංහයා, කිසිදු අනුකම්පාවකින් තොරව, කැමරා ශිල්පීන්, සංස්කාරකවරුන් හා කාර්මික ශිල්පීන් ගිල දැමුවේය. නිවේදකයා, බියෙන් ගැහෙමින් වුව, දිගටම විකාශනය කරගෙන ගියේය. අවසානයේ, ඔහු දෙස බලා සිටි සිංහයා, ආපසු යාමට සැරසුණේය. නිවේදකයාට පුදුම සිතුණි. වෙන දෙයක් වෙද්දෙන් යැයි සිතා ඔහු මෙසේ ඇසුවේය.

සිංහයෝ, උඹ මාව විතරක් කෑවේ නැත්තෙ ඇයි?
මට තමුසෙව දිරවන්නෙ නෑ...

එසේ කියූ සිංහයා පල් ගොරෝනාවක් දාගෙන පිටවී ගියේය.
ඉන්දියානු රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති නිවේදකයෙකුගේ බිරිඳක්, ඔහුගෙන් දික්කසාද වීම සඳහා නඩු පැවරැවාය. උසාවියේදී නඩුකාරතුමා ඊට හේතුව විමසීය. ඇය මෙසේ පිළිතුරැ දුන්නාය.
ස්වාමීනි, මගේ මනුස්සයා ගෙදරදි හැසිරෙන්නෙත්, ප්‍රවෘත්ති කියනකොට වගේමයි. හැම වැඩක්ම පටන් ගනිද්දිත්, අවසන් කරද්දිත්, අත්දෙක එකතු කරල මට ආචාර කරනවා. ඒ විතරක් නෙවෙයි, හැමතිස්සෙම මගේ වචන උච්චාරණය හදන්න යනවා.

පමණට වඩා බීමත් පුද්ගලයෙක් අවන්හලක බීම කවුන්ටරය අසල හිඳ රෑපවාහිනිය දෙස බලා සිටියේය. එහි ප්‍රවෘත්ති තුළින්, කිසියම් ප්‍රශ්නයකට, වහලයකින් පැන දිවි නසා ගැනීමට තැත් කරන තරුණයෙකු පෙන්වයි.
පන්දාහක් ඔට්ටුයි? මේ යකා පනින්නේ නෑ...

බීමත් පුද්ගලයා, අවන්හල් සේවකයාට කීය. සේවකයාද ඔට්ටුව බාර ගත්තේය. තරුණයා වහලයෙන් පැන්නේය. බීමත් පුද්ගලයා, පන්දාහ ගෙවීමට පසුම්බිය ඇද්දේය. සේවකයා එය ප්‍රතික්ෂේප කළේය.
එපා... එපා... මං දවල් නිව්ස්වලට දැක්කා ඔය මිනිහා පනිනවා...

මාත් දැක්කා ඕයි... ඒත් කවුද හිතුවෙ මේ යකා හවසත් පනීවි කියලා. බීමත් පුද්ගලයා කනස්සල්ලෙන් කීය.

- කපිල කුමාර කාලිංග

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00