2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

එඩ්ගා ඇලන් පෝ 1842දී දුටු රතු කොරෝනාව

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:31 704

‍වසන්තයට පෙර පැමිණි වසංගතයට මුහුණ දෙන්නට බොහෝවුන් මුහුණ වසා සිටියදී වසංගතයක් ගැන කියැවෙන කතාවක් වෙත මගේ මතකය දිවයයි. එඩ්ගාර් ඇලන් පෝගේ කෙටිකතාවක් වන එය මුලින්ම ප්‍රකාශයට පත්වූයේ 1842දීය. මුලින්ම එම කෙටිකතාව පළවූයේ Mask of the Red Death (රතු මරණයේ වෙස්මුහුණ) යනුවෙනි. පසුව එය Masque of the Red Death (රතු මරණයේ රාජකීය නැටුම් සාදය) යනුවෙන් පළවූයේය.

වෙස් මුහුණ නැත්නම් මුහුණු වැස්ම Mask යනුවෙන් හැඳින්වේ. වසංගතයෙන් බේරෙන්නට අප පළඳින මුකවාඩම හෙවත් මුවවැස්ම ද Mask යනුවෙන් හැඳින්වේ. Masque යනු 16 හා 17 වැනි සියවස්වල රාජ මාළිගාවන්හි පැවැත්වූ වෙස් මුහුණු ලාගෙන කරන සාද විශේෂයකි. නැටුම්, ගැයුම්, වැයුම්, දෙබස් අභිරූපණ ආදී නාට්‍යමය අංග එම සාදවලට අයත් විය.

කෙසේ වුවද Mask of the Red Death නම් කෙටිකතාවට වෙස් මුහුණත්, රාජකීය නැටුම් සාදයත්, වසංගතයත් යන මේ සියල්ල අයත්ය. ඇමෙරිකාවේ මැසර්චුසෙට්ස් ප්‍රාන්තයේ බොස්ටන්හිදී 1809 දී උපත ලැබූ එඩ්ගාර් ඇලන් පෝ (Edgar Allan Poe) ලේඛකයෙකි. කවියෙකි. සාහිත්‍ය විචාරකයෙකි. එඩ්ගාර් ඇලන් පෝ වඩාත්ම ප්‍රසිද්ධියට පත්වූයේ කෙටිකතාකරුවකු ලෙසයි. The Black Cat හා The tell-tale heart, The Fall of the House of Usher ඔහුගේ සුප්‍රසිද්ධ කෙටිකතා කිහිපයකි.
එඩ්ගාර් ඇලන් පෝ ගේ ඉංග්‍රීසි කෙටිකතා සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගන්නා කාලයේදීම කියවා රස විඳීමේ වාසනාව මට උදාවූයේ එකල මගේ ඉංග්‍රීසි ගුරුවරයාට පිං සිද්ද වෙන්නටයි. එකල මා ඉගෙන ගත්තේ මොරටුවේ වේල්ස් කුමර විද්‍යාලයේය. හේමාල් මෙන්ඩිස්, සාන්ත තෝමස් විද්‍යාලය, ශාන්ත ජෝශප් විද්‍යාලය, රාජකීය විද්‍යාලය ඇතුළු පාසල් 10කට එරෙහිව ශතක ලබා වාර්තාවක් පිහිටවූයේ ඒ කාලයේය. එකල සාමාන්‍ය පෙළ පන්තියේ සිටි අපට ඉංග්‍රීසි ඉගැන්වූයේ සිල්වා නැමැති ගුරු මහතෙකි. (ඔහුගේ නමේ මුලකුරු අමතක වීම ගැන ඔහු මට සමාව දේවා)

ඒ කාලයේ අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයට සාර්ථකව පිළිතුරු දෙන්නට හොඳ ඉංග්‍රීසි දැනුමක් අවශ්‍යව තිබිය යුතු වුවත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ඒ සඳහා නියම කර තිබූ ආණ්ඩුවේ ඉංග්‍රීසි පෙළ පොත පමණක් හැදෑරීම ඊට ප්‍රමාණවත් නොවීය. ඊට පිළියමක් ලෙස ඉංග්‍රීසි ගුරුතුමා පන්තියේ ඉංග්‍රීසි විෂය ඉගැන්වීමට අමතර පොත් 3ක් ඉවහල් කර ගත්තේය. අප සඳුදා දිනයට සමරනායක රචනා කළ English with a Smile පොත පංතියට ගෙන ආ යුතු විය. යාපනයේ සිසුන් ඉවහල් කරගත් පොතක් ඉංග්‍රීසි බහුවරණ ප්‍රශ්න සඳහා අපට ඔහු නියම කළේය. වැල්ලවත්තෙන් මිලදී ගත් එම පොත අඟහරුවාදාට නියම විය. බදාදා රුගෙන යා යුතු වූයේ ආණ්ඩුවේ පෙළ පොතයි. බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනවලට නියම වූයේ එඩ්ගාර් ඇලන් පෝගේ කෙටිකතා පොතකි. එම පොත ඇමෙරිකානු තානාපති කාර්යාලය හරහා ඔහු අප පන්තියේ සියලු සිසුන්ට ත්‍යාගයක් ලෙස ලබා දුන්නේය.

එඩ්ගාර් ඇලන් පෝගේ කෙටිකතා තරමක් සරල ලෙස ඉංග්‍රීසියෙන් එම පොතේ සඳහන් විය. අපේ ගුරුවරයා එම කෙටිකතා පෙළින් පෙළ කියවා අපට පහදා දුන්නේය. ඉංග්‍රීසි අරහංව සිටි අපි ඉංග්‍රීසියේ සාහිත්‍ය රසය ඔහුට පිං සිදුවන්නට නොමඳව විඳ ගත්තෙමු. The Black Cat, The tell tale heart ආදී කෙටිකතාවල ගූඪ රසය වැඩිමල් වියට එළඹෙන, තුරුම සිතේ සනිටුහන් විය.

කලින් කී Mask of the Red Death නම් කෙටිකතාවේ Red Death හෙවත් රතු මරණය යනුවෙන් හඳුන්වන්නේ කල්පිත බෝවන රෝගයක් බව ඇතැම් විද්වතුන්ගේ අදහසය. එඩ්ගාර් ඇලන් පෝ කියන ආකාරයට එම රෝගයේ රෝග ලක්ෂණ වන්නේ තියුණු වේදනාවක් දැනෙන්නට ගැනීම, හිස බමන්නා සේ දැනෙන්නට ගැනීම, ලේ වමනය ආදියයි. රෝගියාගේ මුහුණේත් සිරුරේත් ලේ පැල්ලම් හටගනී. රෝගය වැළඳෙන තැනැත්තා පැය භාගයක් තුළ මියයයි.

මෙය ක්ෂය රෝගයට සමාන වේ යැයි ඇතැමෙක් අදහස් දක්වා සිටිති.

කොරෝනා රෝ බිය පැතිර යද්දී ඊයේ පෙරේදා ඇතැමෙක් කඩසාප්පු හිස්කොට කලක් හුදෙකලා වන්නට අවශ්‍ය පියවර ගත්හ. හුදෙකලා වීම රෝගය පැතිර යාම වළක්වා ගැනීමේ ක්‍රමවේදයක් බව සැබවි. එහෙත් සම්පත් ඇත්තවුන් වෙළඳ පොළ හිස් කළ විට සම්පත් නැත්තෝ කුසගින්නේ සිටින්නට සිදුවේදෝයි තැවුලෙන් පසුවූවෝය. වාසනාවට අවුරැදු ළඟ එන නිසාදෝ ආහාර තොග හිඟ නොවීය. අප රටේ පමණක් නොව වෙනත් බොහෝ රටවලද තත්ත්වය එසේ විය. රෝගය බෝවන්නට සාමූහිකව දරන ප්‍රයත්නයකට වඩා ඒ තුළ සියුම් ආත්මාර්ථයක් පවතින බව පෙනේ. මරබිය දැනෙන විට සාමූහිකත්වය පසෙක තබා ආත්මාර්ථය වැළඳ ගැනීම සාධාරණ වේ යැයි අයෙකුට තර්ක කළ හැකිය.

මෙහිදී අතුරු කතාවක් කියන්නට සිතේ පසුගියදා සුපර් මාර්කට් කරත්තයක් පුරා දියර කිරි පැකට්ටු පුරවාගත් මැදිවියේ අයකුගෙන් තරැණයකු අසන ප්‍රශ්නයක් සමාජ මාධ්‍යයක තිබිණි.

“අංකල් ඔයිට වැඩිය හොඳ නැද්ද එළදෙනෙක් ගත්ත නං?”

එඩ්ගා ඇලන් පෝගේ කෙටිකතාව කෙටියෙන් මෙසේය.

“රතු මරණය බොහෝකලක සටන් රටපුරා පැතිරේ. කිසිම ව්‍යාධියක් එතරම් මාරාන්තික නොවේ. එය ජන සංහාරක රෝගයකි. දකින්නට බිය උපදවන්නකි. එහි සලකුණ රැධිරයයි. රක්ත වර්ණ ලේ වල බිහිසුණු බව ඒ හා බැඳී පවතී. එය වැළඳුණු විට තියුණු ලෙස ඇඟ කකියා යයි. සැනෙකින් මනස හිස තුළට වැද එතුල බමන්නා සේ දැනේ. ඉන්පසු සම මගින් ලේ කාන්දු වන්නට ගන්නේ සමේ කැපුමක් හෝ සීරීමක් නැතිවමය. ඉන්පසු රෝගියා මැරී වැටේ! විශේෂයෙන් රෝගියාගේ මුහුණ මතත් සිරුර පුරාත් ලේ පැල්ලම් හටගනී. එවර ඔහුව දකින අනෙක් මිනිස්සු ඔහු වෙතින් ඉවත හැරී යති. ඔහුට උපස්ථාන කරන්නට බියවෙති. රෝගය වැළඳී රෝගියා මැරී වැටෙන්නට පැය භාගයක් ගත වන්නේ නැත.

එහෙත් රටේ පාලකයා වූ ප්‍රොස්පෙරෝ ප්‍රීතියෙන් කල් ගෙවමින් සවිමත්ව කටයුතු කළේය. ඔහුගේ රටේ ජනයාගෙන් අඩක් ලෙඩින් මැරී වැටුණු පසු, ඔහු නිරෝගීව ප්‍රීතියෙන් කල් ගෙවමින් හුන් තම මිතුරු ජනයා කැඳවා උන් කැටුව ඈත දුරක පිහිටි මාලිගාවකට වැදී දිවි ගෙවූයේය. එය ඔහු තමාටම කියා සැලසුම් කොට ඉදිකළ ගලින් තැනූ අලංකාර මන්දිරයකි. උස්කොට තැනූ ශක්තිමත් පවුරකින් එය වටවූයේය. එකී පවුරේ අයෝමය දොරටු තිබිණි. ඒ තුළට ඇතුළුවෙන මහත්වරු ගිනි රැගෙන විත් දොරටුවල යකඩ ගිනියම් කළෝ, ඒවා දැඩිව සවිමත් වූ කළ කිසිවකු ඇතුළු නොවන්නටය. ඇතුළට වැදීගත් ඔවුනට රතු මරණය නම් රෝ බිය අමතක කළ හැකි විය. ඕනෑ කුදයක් ගහගන්නට කියා පිටත ලෝකයා ඔවුහු නොතකා හැරියෝය.
ඔවුන් හට තුටු වෙන්නට ඇවැසි සියලු දෑ ප්‍රොස්පෙරෝ සපයා දුන්නේය. නටන නැටුම්, වයන වැයුම්, ගයන ගැයුම් මැද සියලු කෑමෙන් බීමෙන් මන්දිරය පිරී ඉතිරී ගියේය. මේ සියලු දෑ පැවතියේ පවුර ඇතුළතය. පවුර ඇතුළත ඔවුහු සියල්ලෝ සුරැකුණෝය. පවුරෙන් පිටත රුදුරු රතු මරණය ඇවිද ගියේය.

නැටුම් සාදයකට එක්වෙන ලෙස තම මිතුරන් සියල්ලන් හට ප්‍රොස්පෙරෝ දැනුම් දෙනවිට පස් මසක් ගෙවී යමින් තිබිණි. එය සැවොම වෙස් මුහුණු ලාගෙන නටන බාල් නැටුමකි. හොඳම ඇඳුමෙන් සැරසී එන ලෙසත්. රෙදිවලින් තැනූ වෙස් මුහුණුවලින් දෑස පමණක් හෝ වැසෙන සේ මුහුණ වසාගෙන පැමිණෙන ලෙසත් සැමදෙනා හට දැනුම් දෙන ලදී.

වෙස් මුහුණු ලාගෙන කරන එම බාල් නැටුම ධනවත් බව පෙන්වන දර්ශනයකි. ප්‍රොස්පෙරෝගේ මිතුරන් නැටුම් නැටූ කාමර 7ක් විය. බොහෝ පැරණි මාලිගාවල කාමර 7ක් පමණ එකවිට පෙනෙන ආකාරයෙන් විවර කළ හැකි දොරටු තිබුණේය. එහෙත් මේ මාලිගය ඊට වෙනස්ය. මෙහි එකවිට දැකිය හැකිවූයේ කාමර දෙක තුනකි. එතුළ යාර විස්සක් තිහක් ගිය කළ හැමතැනින්ම හැරෙන තැන් තිබුණේය. සෑම බිත්තියකම මැද, දකුණට සහ වමට උසට විහිදෙන උල්ව ගිය ජනෙල් තිබිණි. එම ජනේලවල තිබුණේ පාට වීදුරුය.

සෑම කාමරයකම ඊට ආවේණික පාටක් භාවිත විය. ජනේල වීදුරු ගත්තේ එම කාමරයේ වර්ණයයි. පළමු කාමරයේ බිත්තිවල එල්ලා තිබුණේ නිල්පාටින් සැරසිලි කළ රෙදියි. එහි ජනේල වීදුරුද නිල් පැහැ ගත්තේය. දෙවැනි කාමරයේ බිත්තිවල එල්ලා තිබුණේ නිල්-රතු කලවම් දම්පාට රෙදිය. එහි ජනේල වීදුරු දම්පාටය. තුන්වැන්න කොළ පාටය. එහි ජනේල වීදුරු කොළ පාටය. හතර වැනි කාමරයේ බිත්තිවල රෙදි සහ ජනේල කහ පාටය. පස්වැන්න සුදු පාටය. හයවැන්න වයලට් පාටය.

එහෙත් හත්වැනි කාමරයේ එල්ලා තිබූ බිත්ති රෙදි අගනා සිනිඳු කාල වර්ණ රෙදිය. එය රාත්‍රිය සේ කළුවන්ය. බිමටද අතුරා තිබුණේ තද කළු පාට රෙදිය. මෙම කාමරයේ ජනෙල් වීදුරු එම පාටින් තැනූ ඒවා නොවේ. ඒවා රක්ත වර්ණයෙන් යුතු වීදුරුය. ඒවා තද ලේ රතු පැහැය ගත්තේය.

සියලුම කාමර එළිය වී තිබුණේ පිටත ජනේල තුලිනි. ඒ නිසා ඇතුළට එන එළිය සැබවින්ම වෙනත් පාටකි. ඒ අතරම ඒ ඒ කාමර තුළ නර්තනයේ යෙදෙන අයගේ හැඩතලවලට පාට ලැබිණි. එහෙත් කළුපාට බිත්ති රෙදි මත වැටුණු රත් පෑ ජනෙල් වීදුරු තුළින් එන එළිය අන් සියලු ඒවාට වඩා භයංකර විය. එම කාමර තුළට පිවිසි අයගේ මුහුණට එකී ආලෝකය වැටෙන විට රුදුරු පෙනුමක් මුහුණුවල හටගත් නිසා එම කාමරයට ඇතුළු වී අඳුරු බිත්ති අතර රැඳී ඉන්නට තරම් එඩිතර වූයේ ටික දෙනෙකි.
මෙම කාමරයේ කළුවර ලීයෙන් කළ මහා ඔරලෝසුවක් තිබිණි. ගතවෙන සෑම තත්ත්පරයකම ඉන් හඬක් නික්මිණි. හෝරාවක් ගතවෙද්දී ඔරලෝසුව පැහැදිලි හඬක් නංවා ඒ බව කීවේය. එය මියුරැ සංගීතයක් වන් ගැඹුරු ස්වරයකි. එහෙත් මහ අමුත්තක් සිදුවූ ලෙස, සංගීතයත් නැටුමත් නවතා, නැටුම් නැටුවෝ ඉද්ද ගැසී එය අසා සිටියහ. ඉන්පසු තවත් විනාඩි හැටක් හෙවත් තත්ත්පර තුන්දහස් හයසියයක් ගතවූ කළ ඔරලෝසුව නැවත නද දුන්නේය. එවරද නැටුම් නැටුවෝ පෙර පරිදිම නැටුම නවතා ඔරලෝසුවේ හඬ අසා සිටියහ.

ඒ කෙසේ වෙතත් එය ප්‍රීතිමත් වූ සුන්දර වෙස් නැටුම් සාදයක් විය. නැටුමට සහභාගී වූ අය ගත දවටාගෙන උන් ඇඳුම් රංගනයට උචිත සුන්දර රංග වස්ත්‍ර බව නම් සහතික කොට කිව හැකිය. ඒවා රෑ සිහිනෙන් දකින රංගන සේමය. ඒ සිහින තුළ රැඟුවෝ කාමරයේ පාටම උරාගෙන හෙමිහිට එහෙ මෙහෙ සළිත වෙමින් රඟ දුන්නෝය. පෙනුණේ ඔවුන්ගේ දෙපා සංගීතයට අනුව සළිත වන සෙයක්නොව, සංගීතය ඔවුන්ගේ දෙපා තුළින් නික්මෙන්නා වාගේය. එහෙත් හත් වැනි කාමරයේ ජනෙල් තුළින් ගලා එන රතුඑළිය ඇඟ වදින්නට නර්තනයේ යෙදෙන්නෝ නොගියහ. බිත්තිවල එල්ලා තිබූ රෙදිවල කාල වර්ණයට ඔවුහු බියපත් වූවෝය. එතුළට පැමිණෙන්නන් හට මහා කළුවර ඔරලෝසුවේ නාදය ඇසුණේ මහා ගාම්භීර නාදයක් ලෙසයි.

එහෙත් අනෙක් කාමර සෙනඟින් පිරී තිබිණි. හද ගැහෙන රිද්මය උණු උණුවේ ඒවායේ නාද විය. අන්තිමේ ඔරලෝසුවේ දොළහේ කණිසම වදිනතුරු බාල් නැටුම පැවතියේය. එවර නැවත සංගීතය ඇණ හිටිණි. කණිසම වැදෙද්දී නැටූ අය නිසොල්මනේ අසා උන්නෝය. ඔරලෝසුව නැවත නිහඬ වන්නට කළින් පළමු (නීල වර්ණ) කාමරයේ සෙනඟ අතර, කළින් නොසිටි අමුතු වෙස් මුහුණක් ලා ගත්තකු සිටිනවා ඇතැමෙක් දුටුවෝය. ඒ ගැන එකිනෙකා කසු කුසු ගා මුමුණන අතරේම සැමදෙනා අතර විමතියක් පැතිර ගියේය. ඉන්පසු ඔවුන්ට දැනුණේ බියයි. අනතුරුව ඔවුන් තුළ රෝග භීතිය හට ගත්තේය.

මෙවැනි සමූහයක් තුළ එවැනි හැඟුමක් හට ගන්නේ අමුත්තා ඔවුනට වඩා වෙනස් ආකාරයේ වෙස් මුහුණක් ලූ නර්තනයක් නම් පමණකි. ජීවිතය හා මරණය වැද සිනාසෙන අයට පවා සමහර දේට සිනාසෙන්නට නොහැකිය. එවැනි ඇඳුම් ඇඟ දවටාගත් අයකු තමන් අතරට වැද්ද ගතයුතු නැතැයි හැමදෙනාම දැඩිව සිතූ බව පෙනුණේය. අමුත්තා සිහින් සිරුරක් ඇති උස අයෙකි. ඔහුගේ හිස සිට දෙපතුළ දක්වා වළ දමන්නට සූදානම් කළ මිනියක එතූ පිළියෙන් වැසී ගියා සේ දිස් වූයේය. ඔහුගේ මුහුණ වැසුණු වෙස්මුහුණ සැබෑ වෙස් මුහුණක් දැයි පැනයකි. එය මළ අයකුගේ මුහුණක් මෙනි. ළඟ සිට බැලුවත් පෙනුණේ එසේමය. මේ වෙස් ලූ මිනිසා රතු මරණයෙන් මියගිය අයකු වාගේ බව ඒ කිසි අයෙක් නොදැන උන්නෝද? ඔහුගේ ඇඳුම් ලේ පැල්ලම් සහිතය. වෙස් මුහුණේ බියකරු ලේ පැල්ලම්ය. සමහරවිට එය ඔහුගේ සැබෑ මුහුණම විය හැකිය.

මේ බියකරු මුහුණ දුටුවිට මුලින්ම බියෙන් තැතිගත්තේ ප්‍රොස්පෙරෝය. ඉන්පසු ඔහු කෝප වූයේය. “මොකාද මේ?” ඔහු කෑ ගැසුවේය. “අල්ලාපියව් ඕකා! කුදලාගෙන පළයව් ඕකා! ඕකගෙ වෙස් මූණ ගලවාපිය. ඉර උදාවෙද්දී අල්ලන්නේ මොකාද කියලා එතකොට අපට දැනගන්න පුළුවනි.”

මෙවදන් කියා බණින විට ප්‍රෙස්පෙරෝ සිටියේ නිල් කාමරයේය. ඒ හඬ කාමර හත පුරාම පැහැදිලිව, සද්දෙට ඇසුණේය. මුලින්ම ඔහු බණින විට ඇතැම් නැට්ටුවෝ අමුතු වෙස්ලා ගත් එකා වෙත දිවගියහ. එහෙත් ඔවුහු බියෙන් නැවතුණෝය. කිසිවෙක් අමුත්තා අතින් අල්ලන්ට තරම් එඩිතර නොවූහ. අමුත්තා දෙවැනි කාමරයට යන්නට ගත්තේය. ප්‍රොස්පෙරෝ ගල් ගැසී බලා සිටියදී අමුත්තා ඔහු ළඟින්ම ගියේය. නැට්ටුවෝ පසුබාද්දී අමුත්තා කිසිදු බාධාවක් නැතිව නිල් කාමරය මැදින් පියමැන දම්පාට කාමරයට ගියේය. දම් කාමරයෙන් කොළ කාමරයට ගියේය. කොළ කාමරයෙන් කහ කාමරයට ගියේය. ඉන් සුදු කාමරයටත් අනතුරුව වයලට් පාට කාමරයටත් වැදුණේය.

අමුත්තා හත්වැනි කාමරයට පිවිසෙද්දී කෝප වූ ප්‍රොස්පෙරෝ සැනෙකින් හයවැනි කාමරයෙන් පැන ගත්තේය. කිසිවෙක් ඔහු පසුපස යන්නට තරම් එඩිතර නොවූහ. ඔහු අමුත්තාට අණින අටියෙන් තියුණු පිහියක් හිසට ඉහළින් අල්ලා සිටියේය. ඔහුට අඩි තුන හතරක් ඉදිරියට ආ අමුත්තා ප්‍රොස්පෙරෝගේ දෑස දෙස එක එල්ලේ බලා උන්නේය. ගිරියෙන් නික්මෙන මොරගැසීමක් එවට ඇසුණේය. අනතුරැව පිහිය බිම වැටී කළු පොළොව මත දිළිසිනි. එසැණින්ම වාගේ ප්‍රොස්පෙරෝද මැරී වැටුණේය.

එවර නැට්ටුවෝ ලහි ලහියේ කළු කාමරයට කඩා වැදුණෝය. සෙනඟ අතර සිටි ශක්තිවන්තයෙක් කළු ලෝගුවක් පොරවා සිටි ඒ අමුත්තා අල්ලන්නට බැලුවේය. එහෙත් හේ ලෝගුවට අත තැබූ විට පෙනුණේ ඒ තුළ පිළිය තුළ මිනිස් රැවක් නැති බවය. ඒ තුළ කිසිවෙක් නැත. එය හිස්ය.

රැයේ ආවේ රතු මරණය බව ඔවුහු දැනගත්හ. නර්තනයේ යෙදී සිටි අය එකා පිට එකා වැටුණෝය. වැටුණු සැණින් ඔවුහු මළෝය. එවර එළි නිවී ගියේය. ඔරලෝසුව නැවතුණි. අඳුරේ සියල්ල කුණු වී යද්දී රතු මරණය පාලනය සියතට ගත්තේය.”
පෝ ගේ කතාව එතැනින් හමාරය. බියවෙන්නට දෙයක් නැත. කොරෝනා රතු මරණය තරම් දරැණු  නැත. අපිද ප්‍රොස්පෙරෝගේ පිරිසට අයත් වූවෝ නොවෙමු. අපි සැමට මානව දයාව පතුරන්නෝ වෙමු. අප Mask දමාගෙන ඉන්නේ බාල් නටන්නට නොව අනෙකා බේරාගන්නටය.

 සමන් පුෂ්ප ලියනගේ