2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

ධනවතකු වේදැයි ඔබම කේන්ද්‍රයෙන් බලාගන්න

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 12:30 511

අපි සැමදෙනාම සෑහෙන ධනයක් උපයාගෙන සුව පහසු ජීවිතයක් ගත කිරීමට කැමැත්තෙමු. ඇතැමුන්ට කොතරම් වෙහෙස මහන්සියෙන් ධනය හම්බ කළත් ධනවතකු වීමට හැකි නොවේ. දිවා රාත්‍රී දෙකේම ඉතා මහන්සියෙන් මුදල් හම්බ කළද ජීවිතයේ කිසිදු සාර්ථකභාවයක් නොලැබ මානසික දුකකින් කාලය ගෙවන අය බොහෝය. එහෙත් ඇතැමුන් කිසිදු වෙහෙස මහන්සියක් නොලැබ නිදහසේ කාලය ගත කළ ද ඔවුන් වෙත කොහෝ හෝ සිට මුදල් ගලා එන බවක් දක්නට ඇත.

කෙනකුගේ ධනවන්තභාවය සටහන්ව ඇත්තේ කේන්ද්‍රයේ දෙවැනි කොටුවයි. ඔබේ කේන්ද්‍රයේ දෙවැනි කොටුවේ තැන්පත් වී ඇති ග්‍රහයන් පිළිබඳ අධ්‍යයනයක යෙදුණුහොත් ලැබෙන ධනය පිළිබඳ අදහසක් ඇතිකරගත හැකිය.

 දෙවැනි භාවස්ථානය අධිපති ග්‍රහයා 5 – 9 – 11 යන භාවස්ථානයක අධිපතියන් සමඟ යහපත්ව සිටීමෙන් එම කේන්ද්‍රයේ හිමියා මුදල් අතින් ඉහළ තත්ත්වයක වැජඹේ. යම් ලෙසකින් මෙම ග්‍රහයා 6 – 8 – 12 යන දුෂ්ඨ ස්ථාන අධිපතියන් සමඟ සංයෝග වී ඇති නම් කේන්ද්‍ර හිමියා මුදල් ලැබීම් අතින් අන්ත අසරණ තත්ත්වයට පත්වනවා ඇත.

 ලග්න ස්ථානයේ සතුරු ග්‍රහයකු සිටියදී 2 වැනි භාවය අධිපති ග්‍රහයා ද එම ස්ථානයේ තැන්පත්ව ඇතිවිට ඔහුට මුදල් අතින් අඟහිඟකම් ඇතිවෙයි. යම් ලෙසකින් ලග්නස්ථානයේ සුබ ග්‍රහයකු තැන්පත්ව සිට එම ග්‍රහයා සමඟ 2 අධිපති ග්‍රහයා පිහිටා ඇති විටෙක මුදල් අතින් අඟහිඟකම් ඇති නොවනවා ඇත.

 දෙවැනි භාවස්ථානය අධිපති ග්‍රහයා එම ස්ථානයේම සිටීමෙන් මුදල් අඟහිඟකම් ඇති නොවේ. යම් විධියකින් කේන්ද්‍රයේ සිකුරු ග්‍රහයා පාප ග්‍රහයන්ගේ පීඩාවට පත්ව සිටී නම්, වෙනත් අයථා සම්බන්ධකම්වලට යොමුව මුදල් නැති නාස්ති කර ගන්නා අයකු වේ. මෙහි සිකුරැ ග්‍රහයා යහපත් ලෙස පිහිටා ඇතිනම් සැප සම්පතින් පිරි යුග දිවියක් ගත කිරීමේ වාසනාව උදා වේ.

 දෙවැනි භාවස්ථානය අධිපතියා 3 වැනි භාවයේ සිටින විට ඔහුට හැකියාවෙන් හා ශක්තියෙන් මුදල් හම්බ කර ගැනීමට හැකිවෙයි. යම් ලෙසකින් මෙම ග්‍රහයාට එම ස්ථානය අසුබ වූ විට තනි මතයට කටයුතු කරන මුරණ්ඩු කෙනකු වෙනවා ඇත. යහපත්ව පිහිටි විට සැප සම්පත් පිරි යුග දිවියක් ගෙවයි.

 දෙවැනි භාවස්ථානය අධිපති ග්‍රහයා 3 වැනි භාවයේ සිටී නම් හැකියාවෙන් සහ ශක්තියෙන් මුදල් උපයා ගැනීමට හැකියාව ලැබේ. යම් විදියකින් මෙම ග්‍රහයාට එම ස්ථානය අසුබ නම් තනි මතයට ක්‍රියා කරන මුරණ්ඩු පුද්ගලයකු වෙයි. යහපත් ලෙස ඇති විටකදී මුදල් වැය කිරීමට ලෝබ වනවා ඇත.

 පවුලේ යහපත ගැන සලකා ඉතා සැකසුරුවමින් මුදල් වැය කරයි නම් ඔහු හෝ ඇයගේ ජන්ම පත්‍රයේ 2 වැනි භාවස්ථානය අධිපති ග්‍රහයා 4 වැනි භාව ස්ථානයේ තැන්පත්ව ඇත. මේ ග්‍රහයා දුර්වල වූ විට මවුපස ඥාතීන් සමඟ විරැද්ධවාදීකම් ඇතිකරගනී.

 පාප බලපෑමෙන් තොරව 2 වැනි භාවාධිපතියා 5 වැනි භාවස්ථානයේ සිටී නම් කේන්ද්‍ර හිමියාට ලොතරුයි දිනුමක් ලැබෙනු ඇත. කෙසේ වුවද ධනවත් අයකු වනවා ඇත.

2 වැනි භාවස්ථාන අධිපතියා 8 වැනි ස්ථානයේ 3 වැන්න අධිපති ග්‍රහයා සමඟ පාප ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක්වී සිටින විට ඒ අය ඉතා දුක් මහන්සියෙන් මුදල් උපයාගන්නා අයකු වේ.

ජ්‍යොතිෂවේදී සමන් කළුආරච්චි
කෙරවලපිටිය