2020 මාර්තු 14 වන සෙනසුරාදා

අවුරුදු හතරෙන් පැන්ෂන් ඉල්ලන ලංකාවේ මහජන සේවකයෝ

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 160

ලෝකයේ දියුණු රටවල බොහෝ මහජන නියෝජිතයන් සිය රටවැසියන්ගේ යහපත උදෙසා බොහෝ පරිත්‍යාග කරති. එම නියෝජිතයන් මහජන ව්‍යාපෘති සිය ගණනක් සාර්ථකව ඉටුකර මහජන අයිතියට පත් කරනා අයුරු විවිධ මාධ්‍යයන් ඔස්සේ අපි දැක ඇත්තෙමු. තම වැටුපෙන් කොටසක් මහජන සුභසාධනය සඳහා යොදවන මන්ත්‍රීවරු ද එම රටවල්වල කොතෙකුත් සිටිති. දියුණු රටවල දේශපාලනය ක්‍රියාත්මක වන්නේ ඒ අයුරිනි. එහෙත් ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, නේපාලය, පාකිස්ථානය වැනි රටවල්වල දේශපාලනය ඊට වඩා වෙනස්ය. මෙම රටවල බොහෝ මහජන නියෝජිතයන් බලයට පත්වන්නේ තමන්ගේ බඩ, කට සහ පවුල තර කර ගැනීමටය. අප රටෙහිද ඇතැම් මැති ඇමැතිවරුන්ගේ කෙරැවාවන් දෙස බලනවිට එම තත්ත්වය පෙනී යයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුප් සඳහා හිමිකම් කීමට පාර්ලිමේන්තුවේ වසර පහක කාලයක් සම්පූර්ණ විය යුතුය. එය පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාදයකි. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල හා 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වැනි වගන්තියේ විධිවිධානවලට අනුව වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට 08 වැනි පාර්ලිමේන්තුව පසුගිය 02 වැනිදා විසුරුවනු ලැබුවේ පාර්ලිමේන්තුවේ ධූර කාලය තවත් මාස 06ක් පමණ කල් තිබියදීය. මේ තත්ත්වය මත පසුගිය යහපාලන රජයේ 08 වැනි පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරැන් 60කට වැඩි පිරිසකට මන්ත්‍රී වරප්‍රසාදයක් වූ මන්ත්‍රී විශ්‍රාම වැටුප හිමිවන්නේ නැත.

1977 අංක 01 දරන පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත අනුව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමිවන්නේ සිය වැටුප මෙන් තුනෙන් එකක ප්‍රමාණයකි. ඒ අනුව වත්මන් මන්ත්‍රීවරයකුගේ දීමනා හැර වැටුප වනුයේ රුපියල් 54,000ක මුදලකි. ඊට අමතරව හිටපු කතා නායක කරැ ජයසූරිය මහතාගේ මැදිහත්වීමෙන් මන්ත්‍රී දීමනාව ලෙස රුපියල් 25,000ක මුදලක් ද ලබාදෙනු ලැබේ. ඒ අනුව වැටුපෙන් තුනෙන් එකක් වන රුපියල් 18,000ක් සහ 25,000ක් එකතුව රුපියල් 43000ක මුදල් විශ්‍රාම වැටුප ලෙස මන්ත්‍රීවරයකුට හිමිවනු ඇත. එහෙත් නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් මන්ත්‍රීවරුන් 62 මෙම මුදල හිමි නොවන අතර එමගින් රජයට මාසිකව රුපියල් විසිහය ලක්ෂ හැටහය දහසක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ වැටුප් හිමිකම් ලැබීමේ සේවා කාලය වසර පහේ සිට වසර හතර දක්වා අඩු කරන ලෙස විශ්‍රාම වැටුප් අහිමි වන මන්ත්‍රීවරුන් හිටපු කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. පාර්ලිමේන්තුවේ නිල කාලය වසර හයේ සිට පහ දක්වා අඩුවීම හේතුවෙන් විශ්‍රාම වැටුප හිමිවිය යුතු කාලය ද වසර පහේ සිට හතර දක්වා අඩුවිය යුතු බවට එම මන්ත්‍රීවරුන්ගේ යෝජනාව වී තිබේ.

පසුගිය මාර්තු 02 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය විසුරුවා හැරීමෙන් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 35ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 20ක්, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 06ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයකු සිටිති.

ජනතා මනාපයෙන් පාර්ලිමේන්තුවට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කිසිසේත්ම විශ්‍රාම වැටුපක් අනවශ්‍ය බවත් ඔවුන් තමන්ගේ ධූර කාල සීමාව තුළදී ජනතාවට සේවය නොකර තමන් සහ සිය පවුල් නඩත්තු කරමින් හැකිතාක් මුදල් සහ දේපල රැස්කරගෙන ඇති බව ජනතාවගේ අදහසය.

රවීන්ද්‍ර - ඇතුල්කෝට්ටේ
ජනතාවට සේවය කරන්න, ජනතාවගේ මනාපයෙන් තමයි මුලින්ම මේ කවුරුත් පාර්ලිමේන්තුවට යන්නේ. නමුත් ජනතා ප්‍රශ්න කතා කරන්න තියා ඔවුන් නැවත ගමට එන්නේ ඡන්දයක් කිට්ටු වුණාම පමණයි. එවැනි ජනතා නායකයන් තමයි අද ඉන්නේ. ඔවුන් ඔවුන්ගේ ධූර කාලවලදී තමන්ගේ බඩ ගැන විතරයි හිතන්නේ. එහෙම අයට අවුරුදු හතරෙන් නෙවෙයි කොහෙත්ම විශ්‍රාම වැටුපක් ලබාදෙන්න ඕන නැහැ. ඒ ලබාදෙන මුදල්වලින් රටට, ජනතාවට වැඩක් කරගන්න පුළුවන්. මගේ මතය නම් පාර්ලිමේන්තුවේ සිටින කිසිම අයකුට විශ්‍රාම වැටුපක් ලබාදෙන්න හොඳ නැහැ. එහෙම ලබාදීපු අයටත් ඒ ක්‍රමවේදය නතර කරන්න ඕන. එහෙම නතර කරලා ඒ ලැබෙන මුදලෙන් රටට සේවයක් කරන්න ඕන. ජනතාවට සේවය කරන්න මුදල් අවශ්‍ය වන්නේ නැහැ.

සමන් - මාතර
මන්ත්‍රීවරුන්ට නෙවෙයි විශ්‍රාම වැටුපක් දෙන්න ඕන. මේ රටේ ඉන්න අවුරුදු 60 පැනපු උදවියට තමයි විශාම වැටුපක් ලබාදිය යුත්තේ. අපේ ඡන්ද අරගෙන බලයට ඇවිත් රජයෙන් දෙන පඩියයි, වාහනයයි අරගෙන ඒ පර්මිට් එකත් විකුණනවා. හම්බෙන රස්සාවල් ටිකත් බෙදලා දෙනවා. ඒ ඔක්කොම සල්ලි තම තමන්ගේ බැංකු ගිණුම්වල තර කරලා ගමට එන්න බැරි වුණාම තමන්ට හිමිවිය යුතු විශ්‍රාම වැටුපක් ඉල්ලනවා. මේ දේශපාලකයන්ට විශ්‍රාම වැටුප නෙවෙයි පඩියවත් දෙන්න හොඳ නැහැ. ඒ සල්ලිවලින් මේ රටට, ජනතාවට සේවයක් කළ යුතුයි. අවුරුදු පහෙන් දුන්න පෙන්ෂන් එක අවුරුදු හතරට අඩු කරන්න කියලා කියන්නේ මොවුන්ගේ වාසියට. ජනතාවට උවමනා දෙයක් තිබුණොත් මොවුන් මේ විදිහට පාර්ලිමේන්තුව තුළ හඬක් නගනවද? නෑනේ. ඒ නිසා මේ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් දීමනාවටම අපි කැමති නැහැ.

සනත් - පොළොන්නරුව
ගමෙන් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේ අවුරුදු හතරක් පහක් ඉන්නකොට තට්ටු ගණන් උස බිල්ඩින්, පෙට්‍රල් ෂෙඩ්, බස් රඨ හිමිකරුවෝ උන අය ඕනතරම් අපි දැකලා තියෙනවා. නමුත් ඔවුන් කිසිම දෙයක් තමන්ට මනාප ලබාදුන් ජනතාව වෙනුවෙන් කරලා නැහැ. නමුත් ඔවුන් පාර්ලිමේන්තුවට ගිහින් විශ්‍රාම යද්දිත් අවුරැදු පහෙන් විශ්‍රාම වැටුපක් ඉල්ලනවා. රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුප් ලැබෙන්නේ අවුරුදු 20ක් 22ක් ගියාට පස්සේ. නමුත් සියලුම සැප පහසුකම් සුඛෝපභෝගී ලෙස ජනතාවගේ මනාපයෙන් පාර්ලිමේන්තු ගිහින් අවුරුදු පහක් ඉඳලා එද්දි විශ්‍රාම වැටුපකුත් ඉල්ලනවා. මේ නියෝජිතයන්ට දෙන්න ඕන පාඩම මෙවර මහ මැතිවරණයේ ජනතාවට පෙන්නන්න පුළුවන්. ඒ නිසා හැමෝම මේ තම තමන්ගේ බඩ, කට ගැන හිතන දේශපාලකයෝ ගෙදර යවන්න පෙල ගැහෙන්න ඕන.

ඩිල්ෂාන් - ඇල්පිටිය
වරදාන, වරප්‍රසාද ලබා ගනිමින් පාර්ලිමේන්තුවට ගිහින් දෙවන වර ප්‍රතික්ෂේප වන මේ මන්ත්‍රීවරුන්ට මෙන්ම දැනට විශ්‍රාම වැටුප් හිමිවන මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ වැටුප් ලබා නොදිය යුතුයි. මේ අය පාර්ලිමේන්තුවට ගිහින් සුර සැප විඳිනවා. නමුත් ජනතාවට නිසි දෙයක් ලැබෙන්නේ නැහැ. අද බඩු මිල ගිනි ගණන්: ජනතාවට ප්‍රශ්න එමට තියෙනවා. නමුත් ඒ ගැන කතා නොකර තමන්ගේ විශ්‍රාම වැටුප පමණක් අවුරුදු පහෙන් නතර කරන්න කියලා මොවුන් කියනවා. මේ මැති ඇමැතිවරැන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතුයි කියන මතයේ තමයි මම ඉන්නේ.

► හසිත් අංජන
     සේයා රූ - සුමුදු හේවාපතිරණ