2020 මාර්තු 14 වන සෙනසුරාදා

12 හැවිරිදි සිසුවෙක් පැහැර ගැනීමට ගොස් කොටු වූ බංගලි කල්ලිය

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 48

මෙරට පැමිණ සිටින ඇතැම් විදේශිකයන් රන් අභරණ නිෂ්පාදන කර්මාන්තයේද, පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ ද, පෞද්ගලික ඉදිකිරීම් ව්‍යාපෘති සමාගම්වල ද, ගොවිපළවල්වල ද, හෝටල්වල ද තාවකාලිකව සේවය කරති.

මෙම පිරිස් අතරින් වැඩි සංඛ්‍යාවක් කොළඹ නගරය අවට ද, තවත් පිරිසක් කොළඹින් බැහැර වෙනත් ප්‍රධාන නගරවල ද රැඳී සිටිති. මොවුන් අතරින් බොහෝ දෙනකුට මෙරට රැඳී සිටීමේ නීත්‍යානුකූල වීසා බලපත්‍රය තිබෙන අතර ඇතැමුන්ට මෙරට රැඳී සිටීමේ වලංගු කාල සීමාව ද අහෝසි වී ගොස් ඇතත් ඔවුන් රහසිගතව අයථා ක්‍රම ඔස්සේ ශ්‍රී ලාංකික අතැමුන්ගේ සහයෙන් මෙරට රැඳී සිටිති.

විදෙස් රටවලින් සංචාරක වීසා ලබාගෙන මෙරටට පැමිණ සිටින සමහර කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදෙන බවද ඇතැමුන් මත්ද්‍රව්‍ය ජාවාරමේ ද යෙදෙන බවට පොලීසියට තොරතුරු ලැබේ. එවන් පිරිස් පොලීසිය මගින් වැටලීම් කර අත්අඩංගුවට ගෙන නීතිය හමුවට යොමුකර පසුව අධිකරණ නියෝග මත මෙරටින් පිටුවහල් කිරීමට ද පියවර ගෙන තිබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙරටට පැමිණෙන විදේශිකයන් නොබියව මෙරටේදී විවිධ අපචාර, සමාජ විරෝධී ක්‍රියාවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීම සඳහා ජාති, ආගම්, කුල බේදයකින් තොරව සිංහල, මුස්ලිම් හා දෙමළ ශ්‍රී ලාංකිකයන් බොහෝ සේ උදව් උපකාර කිරීම ද සිදුවෙයි. එවැනි සිද්ධියක් පසුගියදා මහනුවර කටුගස්තොට නගරයේදී මහ දවල් ඇතිවූයේ ද මෙරට පුද්ගලයන් දෙදෙනකු විසින් විදේශිකයන් හතරදෙනකුට ලබාදුන් සහාය නිසාය.

පසුගිය සෙනසුරාදා (07) පස්වරු 2.45ට පමණ සිය පියා සමඟ නිවසට යමින් සිටි 12 හැවිරිදි පාසල් සිසුවෙකු දෙනෝදාහක් ජනතාව බලා සිටියදී වෑන් රියකින් පැමිණි විදේශිකයන් කිහිපදෙනකු බලහත්කාරයෙන් පැහැරගෙන යෑමට කටයුතු කරද්දී එම සිසුවාගේ පියා වහා දුවවිත් පැහැර ගැනීම සිදුකළ පුද්ගලයන් හා පොර බදා තම පුත්‍රයා බේරාගෙන %කටුගස්තොට පොලීසියට ගොස් සිද්ධිය දැනුම්දෙන තුරු එම පියාගේ සහායට සිද්ධිය බලා සිටි කිසිවකුත් ඉදිරිපත් නොවීම මවිතයට කරුණක් බව එම පැහැර ගැනීමට ලක්වූ සිසුවාගේ පියා මාධ්‍ය හරහා ප්‍රකාශ කළේය.

මහනුවර කටුගස්තොට උඩුවාවල ප්‍රදේශයේ පදිංචි ඒ. ජී. ප්‍රේමරත්න මහතා චිත්‍රපටියක ජවනිකාවක් සේ තමන් දුටු සිද්ධිය තමන් මුහුණ දුන් ත්‍රාසජනක අවස්ථාව ප්‍රකාශ කළේ මෙසේය.

“මගේ පුතා අමතර පන්තියක ඉගෙනීමට ගොස් එද්දී මම ඔහු එක්කගෙන යාමට පැමිණියා. මමයි පුතයි කටුගස්තොට නගරයට ඇවිත් පුතාට බීම එකක් අවශ්‍ය නිසා පුතාව කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ රඳවා කඩේකට ගියා. පුතා පාරේ සිටියා. මම කඩේ ඉඳලා එනවිට කළු ඇඳුමක් හැඳගත්ත පුද්ගලයෙක් පුතාගේ බෙල්ලෙන් අල්ලගෙන ඇදගෙන යනවා දුටුවා. ඒ අවස්ථාවේ මම දුවගෙන ඇවිත් පුතාව බෙල්ලෙන් අල්ලගෙන ඇදගෙන ගියපු පුද්ගලයා අසලට පැන ඔහු සමඟ පොර බදලා ළමයා බේරගන්න උත්සාහ කළා. ඒ අවස්ථාවේ ඒ අසල වෑන් රියකුත් තිබුණා. ඒ වෑන් එකේ තවත් කීපදෙනෙක්ම හිටියා. අහළ පහළ සිටි කිසිකෙනෙක් මගේ උදව්වට ආවේ නැහැ. මගේ ළමයා පැහැරගන්න තැත් කරපු අය මටත් පහර දුන්නා. ඒත් මම දරුවා පැහැරගන්න උත්සාහ දැරෑ අය සමඟ පොර බදලා ළමයා බේරගත්තා. මම 119 හදිසි දුරකථන අංකයට ඇමතුමක් දුන්නා. ඒත් එයින් පිළිතුරක් ලැබුණේ නැහැ. මම ඒ මොහොතේම කටුගස්තොට පොලිස් ස්ථානයට දුවගොස් පැමිණිලි කළා.

ඒ මොහොතේ කටුගස්තොට පොලීසියේ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී පලා යමින් සිටි පිරිස වෑන් රියත් සමඟ අල්ලා ගත්තා. ඒ අවස්ථාවේ පොලීසියේ නිලධාරීන් ක්ෂණිකව ක්‍රියා කළ නිසා පුතා පැහැරගෙන යන්න ආ පිරිස වෑන් රියත් සමඟ අල්ලාගත්තා. ඒ ගැන පොලීසියට ස්තූතිය පුද කරනවා. මේ සිද්ධියෙන් පසුව මගේ දුරකථන අංකයට කෙනෙක් ඇමතුමක් අරගෙන කතා කරලා පැවසුවා මේ ප්‍රශ්නය දුරදිග ගෙනයන්න එපා කියලා. එහෙම පවසලා මට කෙටි පණිවුඩයකුත් එවලා තිබුණා.”

පැහැර ගැනීමට ලක්වූ ගනේෂ් සිසුවා කුමන හේතුවක් සඳහා මෙසේ පැහැරගෙන යන්නට තැත් කළාදැයි පොලීසියට ද කිසිදු තොරතුරක් වාර්තා වී නැති බව මේ සම්බන්ධව කළ විමසීමකදී මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති ඩී. එල්. ආර්. රණවීර මහතා ද ප්‍රකාශ කළේය. දරැවා පැහැර ගැනීමට පැමිණි පුද්ගලයන් වෑන් රියද පොලීසිය සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධියට සෘජුව සම්බන්ධ වූ බංග්ලාදේශ ජාතිකයන් සිවුදෙනා මෙරට පෞද්ගලික දුරකථන සමාගමකට සම්බන්ධව සේවය කරන අය බවටද පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත. බංග්ලාදේශ ජාතිකයන් සිවුදෙනාට මෙරට රැඳී සිටීමේ වීසා කාලය එක් අයෙකුට 2020.03.15 දක්වාද තවත් අයෙකුට 2020.06.23 දක්වාද අනෙකාට 2020.02.06 (වීසා කාල සීමාව සිද්ධිය වනවිට අවසන් වී තිබේ) දක්වාද සඳහන් වන බව කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරගෙන යද්දී අනාවරණය වී තිබේ.

පොලිස් අත්අඩංගුවට පත්වන විට ඔවුන් සතුව විදේශ ගමන් බලපත්‍රද නොතිබූ බව පොලීසිය වාර්තා කර තිබිණි. මෙම බංග්ලාදේශ ජාතිකයන් සිවුදෙනාට සහාය දී ඇත්තේ කඩවත සූරියපාලුව ප්‍රදේශයේ පදිංචි අයෙක් සහ ගලගෙදර මඬිගේ පෙතිගේවෙල පදිංචි පුද්ගලයෙකි.

කිසිදු හේතුවක් නොමැතිව පළාතක්, ගමක් නොදන්නා ප්‍රදේශයකට පැමිණි විදේශීය ජාතිකයන් මෙම පිරිමි දරුවා පැහැරගත්තේ කුමන හේතුවකටදැයි මෙතෙක් හෙළි නොවීම ද තවත් අභිරහසකි. ඇතැම් පිරිස් ප්‍රකාශ කළේ සිරුරේ අවයව ලබාගැනීමට මෙම දරුවා පැහැර ගන්නට ඇති බවයි. තවත් පිරිසක් පැවසුවේ කප්පම් මුදලක් ලබාගැනීමට පැහැර ගත්තාදැයි සැක සහිත බවයි. සැකකරුවන් සිසුවා පැහැර ගත් හේතුව පොලීසිය කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි නොකිරීමද පොලීසියට විශාල ප්‍රශ්නයක් වී තිබේ.

බංග්ලාදේශ ජාතිකයන් හතරදෙනකුට නොබියව ඔවුන් නන්නාඳුනන පළාතක නගරයකදී මෙම සිසුවා පැහැරගෙන යෑමට තරම් එඩිතර භාවයක් ලැබී ඇත්තේ කඩවත පදිංචි සිංහල ජාතිකයෙක් සහ ගලගෙදර මඬිගේ පදිංචි මුස්ලිම් ජාතිකයකු ඔවුනට පූර්ණ සහයත්, ආරක්ෂාවත් ලබාදීම නිසා බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.එල්. චන්ද්‍රසිරි මහතාගෙන් වැඩිදුර තොරතුරු විමසූ අවස්ථාවේ ස්ථානාධිපතිවරයා මෙසේ කීය.

“පැහැර ගැනීමේ සිද්ධිය සිදුකළ පිරිස වෑන් රියෙන් පලායද්දී මගේ නිලධාරීන් දෙදෙනකු වන පොලිස් සැරයන් රත්නායක (16859) සහ පොලිස් සැරයන් සුමිත් (50925) යන දෙදෙනා එදින අපරාධ අංශයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආනන්ද මහතා හා එක්ව වාහනය ලුහුබැඳ ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ලංකාවේ ප්‍රධාන පෙළේ ජංගම දුරකථන සමාගමකට සම්බන්ධව සේවය කරන අය බවටත් කරුණු අනාවරණය වුණා. මෙම පිරිමි ළමයා ඔවුන් පැහැර නොගත් බව ප්‍රකාශ කර සිටියත් ළමයාගේ පියා සියලු තොරතුරු පොලීසියට දැනුම් දී තිබෙනවා.”

පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් බංගලාදේශ ජාතිකයන් වන මසුම් හුසේයින්, එම්. ඩී. හබ්බුල්ලා දානු, ටිටෝන් හුසේන්, එම්. ඩී. මාර්ෆුර් රහ්මාන් යන අයත් ඔවුනට සහාය දුන් ශ්‍රී ලාංකිකයන් වන කඩවත සූරියපාලුවේ පදිංචි තුෂාර ගයාන් අනුරුද්ධ සහ ගලගෙදර මඬිගේපෙතිගේවෙල පදිංචි මොහොමඩ් අර්ෂාඩ් අර්කම් යන සැකකරුවන් කටුගස්තොට පොලීසියේ නිලධාරීන් විසින් මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රභාත් ඉන්දික මුදුන්කොටුව මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මාර්තු 17 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය.

සිද්ධිය සම්බන්ධව පොලිස් අත්අඩංගුවට පත් බංග්ලාදේශ ජාතික සැකකරැවන් මුදාගැනීම සඳහා පෞද්ගලික දුරකථන සමාගමේ මෙරට නිලධාරීන් කිහිපදෙනෙක් කටුගස්තොට පොලීසිය වෙත පැමිණ විවිධ බලපෑම් සිදුකළ බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මධ්‍යම දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජෙෂාන් ප්‍රනාන්දු, නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු, නියෝජ්‍ය පොලිස්පති ඩී. එල්. ආර්. රණවීර (මධ්‍යම පළාත) මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ, සහකාර පොලිස් අධිකාරී සමන් අගම්මන යන මහත්වරුන්ගේ අධීක්ෂන හා උපදෙස් මත කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පො. ප. ඩබ්. එස්. උවින්දසිරි අපරාධ අංශයේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආනන්ද පොලිස් සැරයන්වරැන් වන රත්නායක (16859) හා සුමිත් (50925) යන නිලධාරීන් සිද්ධිය පිළිබඳව විශේෂ පරීක්ෂණ පවත්වා සැකකරැවන්ට එරෙහිව අධිකරණයට කරුණා වාර්තා කොට ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත්හ. 

► ජේ.ඒ.එල්. ජයසිංහ

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00