2020 ජනවාරි 11 වන සෙනසුරාදා

හපුතලේට කඩා වැදුණු Y-12

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 85

හපුතලේට ගුවන් යානයක් කඩා වැටුණේ තරුණ ජිවිත 4ක්ද බිලිගනිමිනි. ත්‍රස්ත මර්දන යුද සමයෙන් පසු සිදුවූ දරැණුතම ඛේදවාචකයක් ලෙස ගුවන් හමුදා ඉතිහාසයට මෙය එක්වේ. මේ සමඟ කඩාවැටුණු වයි 12 යානා ගැන විවිධ කතාබහ පැතිර ගොස් තිබේ. Y-12 බහුකාර්ය යානා විශේෂයකි. කවුරුන් කෙබඳු විවේචන ඉදිරිපත් කළත් එය පියසැරිය සම්බන්ධයෙන් යහපත් වාර්තා තැබූ යානයකි.

මුල් යුගයේ වයි 11 යානා 50ක් තැනූ පසු ඒ අනුව යමින් නිපදවා ඇති, දැන් ලෝකය පුරා පුළුල් ලෙස භාවිතයට ගැනෙන මේ Y-12 යානා මංගල ගමන ඇරඹුවේ 1982 ජූලි 14 තරම් ඈත දිනකදීය. රජයේ මෙහෙයුම්, ‍පෞද්ගලික භාවිතය මෙන්ම මිලිටරි භාවිතයටද මේ යානා යොදා ගන්නේ ඒවා ඉතා පහසු දායක ක්‍රියාකාරීත්වයකින් යුතු සහ මෙහෙයුම් කටයුතුවලදී ඉතා කාර්යක්ෂම නිසාය. එය ඉතා පහසුවෙන් ඉහළ නැංවීමට සහ ගොඩබෑමට හැකි යානයකි. Y-12 යානා මාදිලි ගණනාවක්ම විවිධ කාර්යය පහසුවට යොදා ගැනෙයි. නිදසුනක් හැටියට Y-12 ඩී පන්නය චීන හමුදාවේ පැරෂුට් පුහුණුවට යොදා ගනී. 2006දී නිපදවූ ආසන 18කින් යුත් මාදිලිය වයි 12 ‘ඊ‘  පන්නයයි. Y-12 එෆ් නවතම පන්නයේ යානය වැඩි ඉඩකඩක් සහ ජවයක් සහිතව නිපදවූවකි. එහි පළමු පරීක්ෂණ ගමන 2010දී සිදුවිය. මේ වනවිට මෙහි ‘ජී‘ මාදිලියද නිපදවා තිබේ.

මේ ගුවන් යානය සැලසුම්කර හදා ඇත්තේ Herbin නමැති චීන ගුවන් යානා නිෂ්පාදන සමාගමය. මේ සමාගම තවමත් ගුවන් යානා නිෂ්පාදනය කරන අතර මෙම ගුවන් යානා  සඳහා අමෙරිකානු FAA සහතිකයද ලැබී ඇත. ගුවන් යානයේ එන්ජින් නිර්මාණය කරන්නේ ලෝක ප්‍රසිද්ධ Pratt and Whitney යන ඇමෙරිකානු සහ කැනඩා සමාගමය. මෙම යානයේ එක් එන්ජිමක් ක්‍රියාවිරහිත වුවද අනෙක් එන්ජිම මගින් ගුවන් ගමන නිමකිරීමට සමත්ය. එක් එන්ජිමක බලය අශ්වබල 500කි.

Y-12 යානය අපේ ගුවන් හමුදාවේ සේවයට එක්වන්නේ 1986 වර්ෂයේ සිටයි. එවකට පැවති යුද සමයේ හෙළිකොප්ටර්වලට අමතරව ගුවන් හමුදාවේ කෝකටත් තෛලය (Work Horse) වූයේ මෙම ගුවන් යානයයි. අදටත් ගුවන් හමුදාවේ පියාසර කටයුතුවලින් ¼ට වඩා දායක වෙන්නේ මෙම ගුවන් යානයයි.

Y-12 යානය ඉතාම කෙටි දුරකින් ගුවන්ගත කිරීමට සහ ගොඩබෑමට හැකිය. එය  කඩතොලු සහිත කුඩා ඉඩක් ඇති භුමියක සිට වුවද ගුවන්ගත කළ හැකිය. අනෙක් විශේෂත්වය මෙම ගුවන් යානය මූලික මට්ටමේ එනම් Basic Aircraft එකක්  නිසා නඩත්තු කටයුතු ඉතා පහසුවීමයි. මේ නිසාම එය ශ්‍රී ලංකාවට මනාව ගැලපෙන ගුවන් යානයකි.  ත්‍රස්තවාදී සමයේදී හැර මීට පෙර Y-12 යානයක් ශ්‍රී ලංකාවේදී අනතුරට ලක්ව ඇත්තේ  1996 වසරේ පලාලිහිදීය. ඒ අනුව මේ ගුවන් යානයට ආරක්ෂිත බව සම්බන්ධයෙන් හොඳ ඉතිහාසයක් තිබේ. එම ආරක්ෂිත බව නිසාමදෝ ලෝකයේ Y-12 භාවිතා කරන රටවල් ගණන 25කටත් වැඩිය.

සාමාන්‍යයෙන් ගුවන් යානයක බඳ හෙවත් Air Frame එක භාවිත කළ හැකි නිශ්චිත පියාසර පැය ප්‍රමාණයක් තිබේ. පියාසර පැය අවසන් නොවී භාවිතා කළ හැකි උපරිම කාලය එළැඹී ඇත්නම් ගුවන් යානයේ Airframe එක නැවතත් නිෂ්පාදකයා ලවා පරීක්ෂා කරගත යුතුය. එහිදී ඔවුන් එය ගැන සෑහීමකට පත් නොවේ නම් එම ගුවන් යානය භාවිතයෙන් ඉවත් කරනු ඇත. එසේම Y-12 යානයේ එන්ජින් පියාසර පැය 3000 කට පසුව නැවතත් නිෂ්පාදකයා ලවා පූර්ණ පරීක්ෂාවකට (overhaul) ලක්කරයි. නැතිනම් අලුතෙන්ම Replace කරයි. මීට අමතරව නිශ්චිත පියාසර පැය ප්‍රමාණවලින් නිර්දේශිත සේවා හා නඩත්තු කටයුතුද සිදුවෙයි.

► සුගත්

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00