2020 ජනවාරි 04 වන සෙනසුරාදා

ජාතික ගීය දමිළ බසින් ගැයීම හරිද? වැරදිද?

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:31 569

ශ්‍රී ලංකාව යනු බහු වාර්ගික, බහු ආගමික, බහු සංස්කෘතික රටකි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී ජාතිකත්ව රාශියක් නියෝජනය කරමින් රටේ ජනගහනය නිර්මාණය වී ඇත. ශ්‍රී ලාංකික ජාතිය නිර්මාණය වන්නේ මෙම ජාතිකත්ව සමූහයට ඒකාබද්ධ වීම තුළිනි.

කිසියම් දේශයක ජාතික කොඩිය හා ජාතික ගීය යනු එම දේශයේ අභිමානයේ සංකේතයයි. එමගින් සමස්ත ජනතාවගේත් රටේත් ස්වෛරීභාවය හා නිදහස මූර්තිමත් කෙරේ. දේශානුරාගය හා ජාත්‍යාලය උද්දීපනය කිරීමට ජාතික කොඩියත් ජාතික ගීයත් සමත් විය යුතුය. දේශයත් තවත් දේශයක යටත් විජිතව පත්ව සිටින විට නිදහස්, නිවහල් ස්වභාවයක් කිසිසේත් බලාපොරොත්තු විය නොහැක. ශ්‍රී ලංකාව මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිත භාවයෙන් නිදහස් වූවාට පසුව අපටම අනන්‍ය වූ වෙනම ජාතික ගීයක් හා ජාතික කොඩියක් පිළිබඳ දේශමාන්‍ය ජනතාව තුළ අදහසක් ඇති වී තිබේ.

ජාතික ගීයේ ඉතිහාසය

කිසියම් රටක ජාතික ගීය යනු එම රටේ සියලු පුරවැසියන් තුළ දේශාභිමානය වඩවන, නිදහස් නිවහල්භාවය තීව්‍ර කරවන, ජන මනස දේශප්‍රේමයෙන් ඔද වඩවන, දේශානුරාගී ගීතයයි. ජාතික ගීය නැමති සංකල්පය තුළ කිසිදු ආකාරයක අසමානතාවයක් පිළිබිඹු නොවිය යුතුය. කිසියම් රටක බහුවාර්ගික, බහු ආගමික, බහු සංස්කෘතික පසුබිමක් පවතීනම් එහි සියලුම ජන කොටස්වලට තමන්ගේම රටේ ජාතික ගීතය සමඟ හෘදයාංගමව සහ සම්බන්ධ විය හැකි විය යුතුය. ජාතික ගීය ගායනා කරනවිට, ඇසෙන විට එය තමන්ගේම ජාතික ගීය යන හැඟීම කාටත් එක සේ හදවතට කාවැදිය යුතුය.

“ශ්‍රී ලංකා මාතා” ජාතික ගීය පළමු වරට ගායනා කරන ලද්දේ 1949 නිදහස් දින උත්සවය වෙනුවෙනි. මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි නිදහස් දින උත්සවය විය. සුප්‍රකට සංගීතඥ ආනන්ද සමරකෝන් මහතා විසින් 1940 වසරේදී “නමෝ නමෝ මාතා” ගීතය රචනා කරන ලද්දේ එතුමා ගාල්ලේ මහින්ද විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස කටයුතු කරමින් සිටියදීය. ආනන්ද සමරකෝන් මහතා එම ගීතය රචනා කොට ඇත්තේ සිසුන් තුළ දේශානුරාගයත්, ජාත්‍යාලයත් ඇති කිරීම වෙනුවෙනි. පසුව එය ලංකාවේ ජාතික ගීය බවට පත්විය. මෙම ගීතය ජාතික ගීය වශයෙන් පිළිගැනීම සඳහා අවශ්‍ය කරන නෛතික පසුබිම සකස් කිරීම සඳහා ජේ. ආර්. ජයවර්ධන මහතා මහත් පරිශ්‍රමයක් දරා ඇත. ඔහු විසින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කරන ලද සංදේශයකින් පසුව 1951 නොවැම්බර් 22 වැනි දින නිල ජාතික ගීය ලෙස “ශ්‍රී ලංකා මාතා*” ගීතය ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ජාතික ගීය දෙමළ මාධ්‍යයට පරිවර්තනය කිරීම පිළිබඳ නිල පිළිගැනීම වන්නේ කේ. කනගරත්නම් මහතා විසින් සිදු කළ පරිවර්තනයයි. කෙසේ වෙතත් එම වකවානුවේ ඇති වූ යම් යම් තත්ත්වයන් අනුව ජාතික ගීයේ දෙමළ මාධ්‍යය විකාශනයට කිසියම් විරෝධයක් එල්ල වී ඇත. 1970දී පාලන බලයට පැමිණි සමගි පෙරමුණ රජය මේ සඳහා විශේෂ කොමිසමක් පත්කොට තිබේ. එම කමිටුවේ පරික්ෂණයෙන් පසුව දෙමළ මාධ්‍යයෙන් ජාතික ගීය දිගටම තවදුරටත් ගායනය සහ විකාශනය සිදු කරන ලදී. ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ පාලන සමයේ සන්නිවේදන අමාත්‍යවරයාගේ නියෝගයකට අනුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දෙමළ නාලිකාවල දෙමළ මාධ්‍යයෙන් ජාතික ගීය විකාශනය නතර කර ඇත. නමුත් සංගීත නාදය පමණක් වාදනය කර තිබේ. 1944දී බලයට පත් රජය විසින් එම සංගීත නාදය ද ඉවත් කොට සිංහලෙන් පමණක් ජාතික ගීය විකාශනය කොට ඇත.

1978 ව්‍යවස්ථාවේ 7 වැනි ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය “ශ්‍රී ලංකා මාතා” ගීතය වන්නේය. ජාතික ගීයේ පද මාලාව සහ සංගීතය තුන්වැනි උප ලේඛනයේ දැක්වෙන්නේය. එය දෙමළ හා ඉංග්‍රීසි පරිවර්තන සහිතව දක්වා ඇත. දෙමළ පරිවර්තනය අනුව “ශ්‍රී ලංකා තායේ” යනුවෙන් එහි සඳහන් වේ. කේ. කනගරත්නම් මහතාගේ පරිවර්තනයට 1978 ව්‍යවස්ථාව තුළ අන්තර්ගත කර ඇත.

2015 වසරේ සිට 2019 වසර දක්වා පැවති සෑම නිදහස් දින උත්සවයකදීම ජාතික ගීය සිංහලෙන් මෙන්ම දෙමළ භාෂාවෙන්ද ගායනා කරනු ලැබිණ. සිංහලෙන් පමණක් ජාතික ගීය ගායනා කිරීම පිළිබඳව මීට පෙර මෙරට සුළු ජනතාවගේ විරෝධයක් පැන නැගුණේ නැත. එළැඹෙන නිදහස් දින උත්සවයේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කළ යුතු බවට වත්මන් රජය විසින් තීරණයක් ගෙන ඇතැයි කියමින් මේ වනවිට සමාජය තුළ කතිකාවක් ගොඩනැගී තිබේ. මේ පිළිබඳව දේශයේ අපි පාර්ශ්ව කිහිපයකින් විමසීමක් කළෙමු.

රටේ ස්වාධීන බව, ස්වෛරීත්වය අප ආරක්ෂා කරගත යුතුයි
ඇල්ලේ ගුණවංශ හිමි

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ගිහි - පැවිදි දෙපාර්ශවයම ඉල්ලා තිබුණා මේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කළ යුතුයි කියලා. නමුත් දැන් ඒක යට ගිහින් තියෙන්නේ. ඒ වෙලාවේ මේ අය අතිනුත් වරදක් වෙලා තියෙනවා. නමුත් දැන් උතුරේ දෙමළ දේශපාලන පක්ෂ ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරලා තමයි නැවත මේ ප්‍රශ්නය පටන් අරගෙන තියෙන්නේ. ඊටපස්සේ දකුණත් මේකෙන් ඇවිලෙනවා. ඒවා තමයි බරපතළ ප්‍රශ්න. 1948දී මේ රට මුදාගැනීමේදී සියලු දෙනා එකමුතු වුණා. අපි රට බෙදන ඒ ත්‍රස්තවාදය පරාජයට පත් කළා. දැන් පසුගිය කාලයේ රටට එරෙහි බටහිර බලවේග ක්‍රියාත්මක වුණා. ගිවිසුම් ආවා රටට අහිතකර. ඒවා එන්නේ මුළු රටටම අපි අපේ රටේ ස්වාධීන බව ස්වෛරීත්වය ආරක්ෂා කළ යුතුයි. මේවා මේ ජාතිවාදය අවුස්සන්න තමයි දමිළ නායකයන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ.

දෙමළ භාෂාවෙන් ගැයීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්
රියර් අද්මිරාල් සරත් වීරසේකර

ජාතික ගීය දෙමළෙන් ගැයීම කියන එක ක්‍රියාත්මක කළ යුතුයි කියලා නැවත පටන්ගත්තේ පසුගිය යහපාලන ආණ්ඩුව. ඒක මේ රටේ වෙසෙන දමිළ ජනතාවගේ, මුස්ලිම් ජනතාවගේ ඉල්ලීමක් නෙවෙයි. මේක මේ බෙදුම්වාදී දමිළ දේශපාලන පක්ෂවල ඉල්ලීමක්. මොවුන් මේක ජාතිවාදයට ඇදලා ගන්නවා. රටේ සිංහල මිනිසුන් හා දමිළ ජනතාව අතර තිබෙන සංහිඳියාව නැති කරන්න තමයි මොවුන් මේ උත්සාහ කරන්නේ. ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කරද්දි ව්‍යවස්ථාව උල්ලංඝනය වනවා. සංවේදී බව ගිලිහී යනවා. එක් රටකට තිබිය හැක්කේ එක ජාතික ගීයක් පමණයි. ඉන්දියාව ගත්තම විශාල ජනගහණයක් ඉන්න රටක්. විවිධ ආගම්, විවිධ ජාතීන් ඉන්දියාව තුළ ඉන්නවා. නමුත් ඔවුන් එක භාෂාවකින් තමයි ජාතික ගීය ගායනා කරන්නේ. ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා මාතා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඉංග්‍රීසියෙන් ඒකම තමයි ලියලා තියෙන්නේ. නමුත් ඒක දෙමළට පරිවර්තනය කළාම ශ්‍රී ලංකා තායේ කියලා තමයි එන්නේ. එතකොට මේ ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදුවෙනවා. දමිළ භාෂාවෙන් ගායනා කරද්දිත් ඒක ශ්‍රී ලංකා මාතා යනුවෙන් නිවැරදි විය යුතුයි. මේ දමිළ දේශපාලන පක්ෂ නියෝජනය කරන අයට අපි කියන්න කැමතියි මේ ජනතාව මුලා කරලා ජාතිවාදයක් අවුලන්න එපා කියලා.

දෙමළ ජනතාව දන්න භාෂාවෙන් ජාතික ගීය ගැයීමට අවස්ථාව තිබිය යුතුයි
ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. අනන්ද සංගරී

දෙමළ ජනතාවට හුරැ ඔවුන් දන්නා දමිළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසටත් රටේ ජාතික උත්සවවලදී රටේ එකමුතුභාවය පෙන්නුම් කිරීමට ජාතික ගීය භාෂා දෙකෙන්ම ගායනා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසටත් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අපි ඉල්ලීමක් කළා. දමිළ ජනතාවට තමන්ගේ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙන්ම රාජ්‍ය කොමිසමෙන් ලබා දී තිබුණා. ඒක අතරමගදී නවතා දැම්මොත් මේ රටේ ජනතාව තුළ වෙනත් ප්‍රශ්න නිර්මාණය වෙයි. ඒක සුදුසු දෙයක් නෙවෙයි කියලා තමයි මම හිතන්නේ. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ සිංහල භාෂාව ගැන දන්නේ නැති දෙමළ ජනතාව වෙනුවෙන් ඔවුන් දන්නා භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට අවස්ථාවක් දෙන්න කියලා.

දෙමළ භාෂාවෙන් එපානම් ජාතික ගීය ගැයීම අත්හැර දමන්නම්
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එස්. සුමන්තිරන්

වර්තමාන රජයේ ආකල්ප ජාතීන් අතර සුහදත්වයට බාධාවක් වෙලා තියෙනවා. දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට නොදීම එහි එක සිදුවීමක් ලෙස තමයි අපි දකින්නේ. 2015 යහපාලන රජය පළමු වරට ජාතික ගීය නිදහස් දවසේ දෙමළ භාෂාවෙන් ගායනා කළා. දශක කිහිපයට පසු තමයි අපිත් ඒකට ගියේ. ඒ තමයි සුහදශීලීත්වය. ඒ වුණාට දැන් ඒ සුහදශීලී බව වෙනස් වෙමින් පවතිනවා. රජය බලයට එද්දි කිව්වා සැම දෙනාට එක සේ සලකනවා කියලා. නමුත් මේ රජයේ ආකල්ප වෙනස් වෙලා. මේ වනවිට දෙමළෙන් ජාතික ගීය කියන්න එපා කියනවනම් දෙමළ මිනිස්සු ජාතික ගීය කිව යුතු නැහැ කියන එකයි අපි සන්තෝසෙන් අත්හැරලා දානවා. මේ රටේ ඉන්න සියලු ජාතීන් අතර බැඳීම් සහජීවනය කඩාකප්පල් වන ආකාරයට මේ රජය කටයුතු කරනවා කියලා අපි ආණ්ඩුවට කියන්න කැමතියි. ප්‍රධාන ජන සමාජීය දෙමළ මිනිස්සු ප්‍රතික්ෂේප කරලා අවුරුදු ගණනාවක් වෙනවා. ඒක වෙනස් වෙන්න නම් බලය බෙදීමක් විය යුතුයි. එවිට තමයි අපිට ලංකාවේ සමානත්වයෙන් ජීවත් වෙන්න පුළුවන්.

ජාතික උළෙලකදී දෙමළ භාෂාවෙන් ගැයීම ව්‍යවස්ථාව කැඩීමක්
පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

අපේ ජාතික ගීය කුමක්ද කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වැනි වගන්තියේ සඳහන් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය වන්නේ ශ්‍රී ලංකා මාතා ගීතය. ජාතික ගීයෙහි පද මාලාව සහ සංගීතය තුන්වැනි උපලේඛනයේ දැක්වෙනවා. එම තුන්වැනි උපලේඛනයේ දැක්වෙන ශ්‍රී ලංකා මාතා පද මාලාව හැර වෙනත් කිසිවක් ජාතික ගීතය ලෙස සැලකුවහොත් එය ව්‍යවස්ථාව උල්ලංඝනයක් වනවා. එහෙම නම් ජාතික උත්සවයක දෙමළෙන් ජාතික ගීය ගායනා කිරීමේදී “ශ්‍රී ලංකා තායේ” යනුවෙන් ජාතික ගීය ගායනා කිරීම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. මේ වගන්තිය කාටහරි වෙනස් කරන්න ඕනෑ නම් කරන ක්‍රමයන් ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. සාමාන්‍ය වගන්තියක් නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් වෙනස් කරන්න පුළුවන්. නමුත් මේ වගන්තිය වෙනස් කරන්න තුනෙන් දෙකේ බහුතරය වගේම ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතියක් ගන්න ඕන.

දමිළ නායකයන් නැති ප්‍රශ්නයක් ඇති කරන්න හදනවා
සත්‍ය ගවේශකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ ප්‍රේමනාත් ඩී. දොළවත්ත

ඇතැම් දෙමළ නායකයන්ගේ මේ ජාතිවාදී ප්‍රකාශ නිසා අහිංසක දමිළ ජනතාව අතර ප්‍රශ්න නිර්මාණය කිරීමට කටයුතු වෙනවා. විශේෂයෙන්ම මේ අය දමිළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම අවශ්‍යයි කියනවා. එහෙම දමිළ භාෂාවෙන් ජාතික ගීය කියන්නේ නැත්නම් දමිළ ජනතාව නැවත ජාතික ගීය කියන්නේ නැහැ කියලා මේ දෙමළ නායකයන් ප්‍රකාශ කර තිබෙනවා. මොවුන් මේ වගේ ජාතීන් අතර සමගිය කඩවන ප්‍රකාශ කරනවානම් මොවුන්ට එරෙහිව ඉදිරියේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.

ජාතික ගීයේ අරමුණු ජයගන්න නම් දෙමළ භාෂාවෙන් ගැයීම වැදගත්
යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ස්වාමිනාදන් විමල්

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම අලුත් දෙයක් නෙවෙයි. රජයෙන් ලබාදෙන දෙමළ මාධ්‍ය පෙළපොත්වල ජාතික ගීය දෙමළ භාෂාවෙන් මුද්‍රණය වී තිබෙනවා. කාලයක් තිස්සේ උතුරු, නැගෙනහිර පාසල්වලත් රාජ්‍ය උත්සවවලත් ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනය කළා. ජාතික ගීයේ අරමුණ විය යුත්තේ ශබ්ද රසයට වඩා අර්ථ රසය ගෙනයාම අර්ථ අසය ඇතිවීමට නම් තමන් දන්නා භාෂාවකින් එය තේරැම් කරදීම වැදගත්. දෙමළ ජනතාවගෙන් 99% නිවැරදි සිංහල දන්නවනම් මෙය ගැටලුවක් නෙවෙයි. නමුත් ලංකාවේ තවම එහෙම තත්ත්වයක් නැහැ. ජාතික ගීයේ අරමුණ රට ජාතිය ගැන හැඟීමක් ඇති කිරීම. එම අරමුණ ජය ගැනීමටනම් දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම වැදගත්. ආනන්ද සමරකෝන් ශූරීන් විසින් සිංහල භාෂාවෙන් රචනා කොට ඇති ගීතයේ දෙමළ පරිවර්තනය එම තනුවට අදාළව ගායනා කිරීමෙන් එයට කිසිදු හානියක් හෝ එහි අර්ථ විකෘති කිරීමක් සිදුවන්නේ නැහැ. මේ ගැටලුවට ප්‍රධාන හේතුව දේශපාලකයන් පිනවීමට සමහර නිලධාරීන් කටයුතු කිරීම. යුද්දයෙන් පසු උතුරේ පැවති බොහෝ රාජ්‍ය උත්සවවලට පැමිණි දේශපාලකයන් පිනවීම සඳහා රාජ්‍ය නිලධාරීන් ඇමතිවරයාට තේරුම්ගත හැකි භාෂාවෙන් පමණක් ජාතික ගීය ගායනයට මුල්තැන දුන්නා. මෙවැනි පසුබිමක් තුළ රට ගැන යම් යම් ප්‍රශ්න මතුවුණා.