2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

ආණ්ඩුවට එකතු වෙනවාද? එළියේ ඉන්නවාද? සුළු පක්ස කියන කතා

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 57

දේශපාලනයේදී වඩාත් වැදගත් වන්නේද, වඩාත් බලවත් වන්නේද ජනමතයයි. ජනමතය පළමු තැන ගන්නා අතර එය සියල්ලට ඉහළින් පවතී. ජනතා පරමාධිපත්‍යය ලෙස එය අර්ථගන්වනු ලැබේ. ජනමතය පිළිගැනීම හා ජනමතයට ගරු කිරීම සෑම දේශපාලනඥයකුගේම යුතුකම හා වගකීම ද වෙයි. එබැවින් සියලු දේශපාලනඥයෝ ජනමතයට හිස නැමීමට බැඳී සිටිති. ඒ අනුව අපේ දේශපාලකයන්ට ජනමතයට ගරු කිරීම ගැන ඇඟිල්ලෙන් ඇන පෙන්වීමට අවශ්‍යතාවයක් නැත.

මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 70කි. මෙයින් බහුතරයක් දේශපාලන පක්ෂ සුළු ජාතික පක්ෂ වේ. සුළු ජාතික පක්ෂ යනු සුළු ජාතික ජනයා නියෝජනය කිරීම සඳහා පිහිටුවා ගත් පක්ෂ වේ. උතුරේ දෙමළ දේශපාලන පක්ෂ, නැගෙනහිර මුස්ලිම් හා දෙමළ දේශපාලන පක්ෂ මෙන්ම වතුකරයේ දෙමළ ජනයා නියෝජනය කරන දේශපාලන පක්ෂ මෙරට සුළු පක්ෂ අතර ප්‍රධානය. මෙසේ තිබෙන සුළු ජාතික පක්ෂ සංඛ්‍යාව විශාලවීම රටේ දේශපාලන අර්බුදවලට ප්‍රධාන හේතුවක් බවද බොහෝ දේශපාලන විචාරකයන් අර්ථගන්වා ඇත.

සිය දේශපාලනයේ ඉදිරි ගමන පිළිබඳව උතුරේ දේශපාලන පක්ෂ සහ නැගෙනහිර දේශපාලන පක්ෂවල මතය අපි පසුගිය සතියේ පාඨක ඔබ වෙත ගෙනහැර දැක් වූවෙමු. කඳුකරය නියෝජනය කරන දේශපාලන පක්ෂ හා මෙරට අනෙකුත් සුළු ජාතික පක්ෂවල ඉදිරි ගමන පිළිබඳව එම සුළු පක්ෂ නියෝජනය කරන දේශපාලන නියෝජිතයන් කිහිපදෙනෙකුගෙන් දේශයේ අපි මෙවර විමසීමක් කළෙමු.

තවම තීන්දුවක් ගත්තේ නෑ
කම්කරු ජාතික පෙරමුණ - නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් තිලකරාජා

මේ දැන් තේරීපත්වෙලා තිබෙන පරිවාස ආණ්ඩුවට අපගේ සහාය ලබාදීමටයි. අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඉදිරි මහ මැතිවරණයකදී අපි තනිව තරග කරනවාද? එසේ නැතිනම් අපි කුමන හෝ ප්‍රධාන දේශපාලන පක්ෂයක් සමඟ එක්ව සන්ධාන ගතවෙලා තරග කරවාද? කියන එක පිළිබඳව තවම තීරණයක් අරගෙන නැහැ. මෙවර ජනාධිපතිවරණයේ වුණත් කිසිම අපේක්ෂකයෙක් තනිවම නෙවෙයි තරග කළේ. යම් යම් පක්ෂත් සමඟ සහයෝගය අරගෙන සන්ධාන ගතවෙලා තමයි ඔවුන් තරග කළේ. ඒ නිසා අපගේ ඉදිරි දේශපාලන ගමන යන්නේ කවුරුන් සමඟ ද කියලා අපි තවමත් තීරණයක් ගෙන නැහැ. ඒ වගේම තමයි මේ කඳුකරයේ ජනතාව වෙනුවෙන් එක් පක්ෂයක් රජය සමඟ සිටිනවා ඒ අනුව ඔවුන් එම ජනතාවගේ ඉදිරිය වෙනුවෙන් කටයුතු කරයි කියන මතයේ අපි ඉන්නවා. කුමන හෝ පක්ෂයකින් ජනතා ගැටලු විසඳෙනවා නම් ප්‍රශ්නයක් නැහැනේ.

මහා මැතිවරණය ප්‍රකාශ කළාම තීරණයක් ගන්නවා
මුහම්මදු ඊබ්‍රාහිම් මුහම්මදු මන්සූර් - ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

මෙම වත්මන් රජය සමඟ එක්ව කටයුතු කරනවා ද නැද්ද යනුවෙන් තවමත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කරලා නැහැ. ඒ වගේම තමයි දැන් මේ තියෙන්නේ මහ මැතිවරණය වෙනකම් පත්කරපු තාවකාලික ආණ්ඩුවක්. අපගේ උත්තරීතර මණ්ඩලය මහ මැතිවරණය ප්‍රකාශයට පත්කළාම තමයි මහ මැතිවරණයට තරග කරන්නේ කුමන කණ්ඩායම සමඟ එක්වද යනුවෙන් තීරණය කරන්නේ. මේ වර්තමාන පරිවාස ආණ්ඩුවට අපි සහය දක්වන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ආණ්ඩුව ජාතිවාදීත්වය නොසලකා සියලු ජනවර්ගවලට එකසේ සලකයි කියන බලාපොරොත්තුවක් අපිට තිබෙනවා.

ආණ්ඩුවේ හොඳ වැඩට අපි සහාය දෙනවා
කඳුරට ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වේළුසාමි රාධා ක්‍රිෂ්ණන්

මේ වනවිට ජනාධිපතිවරණය අවසන් වෙලා සති දෙකක පමණ කාලයක් ගතවෙලා තියෙනවා. මේ කාලය තුළ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා. හොඳ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම තමයි මේ වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙනයාමට එතුමාට හැකියාවක් ලැ‍බේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. මෙම වැඩපිළිවෙළ කරගෙන යන්න අපි ගැටලුවක් නැතිව සහාය ලබා දෙනවා. රටේ පරිසරය අලංකාර කරගැනීමට සිදුකරන ක්‍රියා පිළිබඳව අපි ඉතාමත් අගේ කරනවා. අපි ඡන්දය එතුමාට ලබා දුන්නේ නැතත් එතුමා තමයි මේ රටේ ජනාධිපති. ඒ නිසා එතුමා කරන වැඩපිළිවෙළ හොඳයි නම් අපි එතුමාට සහාය ලබාදිය යුතුයි. නමුත් එතුමා සමඟ ඡන්දය ඉල්ලීමට අපේ බලාපොරොත්තු නැහැ.

මහා මැතිවරණයේදී අපි එන්නේ සන්ධානයකින්
අබ්දුල්ලා මහරුෆ් - සමස්ත ලංකා මහජන කොන්ග්‍රස් ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

ඉදිරි දේශපාලන කටයුතු වර්තමාන රජය සමඟ කටයුතු කරනවාද? නැද්ද කියන එක පිළිබඳව අපි තවමත් නායකත්වය සමඟ කතා කරලා තීරණයක් අරගෙන නැහැ. ඒ වගේම තමයි මේ වත්මන් ආණ්ඩුව අපිට කතා කළෙත් නැහැ. ඔවුන් සමඟ සන්ධාන ගතවන ලෙසට බොහොමයක් අය කියන කතා ජනතාව මුලා කිරීමට කියන කතා බව අපි කියන්න ඕන. කොහොමත් ඉදිරි මහ මැතිවරණයක් වෙනුවෙන් අපි තනිවම තරග කරන්න බලාපොරොත්තුවක් නැහැ. කිසියම් පක්ෂයක් සමඟ සන්ධාන ගතවෙලා තමයි තරග කරන්න බලාපොරොත්තු වෙන්නේ.

වත්මන් රජයකට එකතු වී ඡන්දයට යන්න අපට අමාරුයි
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණු මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේළු කුමාර්

මෙවර ජනාධිපතිවරණයේ අපි සහාය ලබාදුන් අපේක්ෂකයා පරාජයට පත්වුණා. ඒ වගේම තමයි මේ පරිවාස ආණ්ඩුව එක්ක අපි අපගේ කටයුතු සිදුකරනවාද නැද්ද කියන එක පිළිබඳව තවමත් තීරණය කරලා නැහැ. කොහොම වුණත් වත්මන් රජය සමඟ මහ මැතිවරණයේ අපි එක්ව තරග කරයි කියලා හිතන්න අමාරුයි. කෙසේ වෙතත් මහ මැතිවරණයට අපි තරග කරන්න බලාපොරොත්තු වනවා. මේ දමිළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න අපි කැපවෙලා ක්‍රියාකරනවා. ඒ නිසා අපි එම කාලයට අපේ ජනතාවට ලැබෙන සහය පිළිබඳ සලකා බලලා තමයි අපි කටයුතු කරන්නේ.

සටහන - හසිත් අංජන