2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

සති දෙකකදී රුපියල් දහයකින් උඩ ගිය සහල් මිල

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 119

මේ වනවිට අපේ රටේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පාරිභෝගිකයාට දරාගත නොහැකි වන තරමට ඉහළ යමින් පවතී. දවසෙන් දවස ටිකින් ටික මිල ඉහළ යනවා මිස අඩුවීමක් දක්නට නොමැත. සහල්වලින් පටන්ගෙන හාල්මැස්සන් ග්‍රෑම් 100 දක්වාම මිල දිගටම ඉහළ යයි. සාමාන්‍යයෙන් ස්ථිර මාසික හෝ දෛනික ආදායමක් ලබන පාරිභෝගිකයාට වුවද මෙම ඉහළ මිල දරාගත නොහැක්කේ වැඩිවන මිලට සාපේක්ෂව ඔවුන්ගේ වැටුප ඉහළ නොයන නිසාය. මේ නිසා එදිනෙදා කුලි වැඩවලින් දිවිගෙවන අය මෙන්ම  සුළු ප්‍රමාණයේ ස්වයං රැකියාවල නිරත වූවෝද කබලෙන් ලිපට වැටී සිටිති.

හැත්තෑවේ දශකයේ සිට ශ්‍රී ලංකාවේ බලපවත්වන්නේ විවෘත ආර්ථික ක්‍රමය බවට පිළිගැනීමක් ඇත. මෙම ආර්ථික ක්‍රමය අනුව ඉල්ලුම හා සැපයුමට අනුව මිල තීරණය විය යුතුය. එසේ වුවද නිෂ්පාදනයේ අඩුවක් නොමැතිව තිබෙන පසුබිමක මිල ඉහළ යන්නේ නම් පෙනීයන්නේ මුලින් පැවසූ මිල යාන්ත්‍රණය ක්‍රියාත්මක නොවන බවය. මෙලෙස කෘත්‍රීම මිලක් නිර්මාණය වන්නේ කෙසේද? එයට එක් හේතුවක් වන්නේ නිෂ්පාදනය නිදහසේ වෙළෙඳ පොළට ගලායාම අවහිර වීමයි. අපේ රටේ මෙයට හේතුව යම් අතරමැදියන් කොට්ඨාසයකගේ කාර්යභාරය බව පෙනෙන්නට තිබේ. එසේ වුවද එම තත්ත්වය නිවැරදි කිරීමට පවතින ආණ්ඩු ක්‍රියාමාර්ග නොගැනීම නිසා පාරිභෝගිකයෝ විපතට වැටී සිටිති.

මේ වනවිට වෙළෙඳ පොළේ කැකුළු සහල් කිලෝව රුපියල් 100-110 අතර මිලක් දක්වා ඉහළ නැඟ ඇත. මෙයට සති දෙකකට පෙර සහල් කිලෝවට පැවතියේ රුපියල් 90 – 95 මිලකි. දැනට කොළඹ මෙන්ම තදාසන්න ප්‍රදේශවල විවෘත වෙළෙඳ පොළේ සහල් හිඟවී ඇත. සුපිරි වෙළෙඳ සල්වල මෙන්ම නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ද සහල් මිල හිටි අඩියේ ඉහළ ගොස් ඇත. ඇතැම් සහල් වර්ග ඇත්තේම නැත. සුපිරි වෙළෙඳ සල්වල සුදු හෝ රතු කැකුළු කිලෝව පසුගිය දිනවල අලෙවි වූයේ රුපියල් 96 කටය. සම්බා රතු කැකුළු සම්බා සහ සුදු කැකුළු සම්බා කිලෝව රුපියල් 104 – 105 පමණ විය. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සහල් කිලෝව අලෙවි වූයේ රුපියල් 105-106කටය. ගමේ සිල්ලර කඩයේ පහළම වර්ගයේ සහල් කිලෝව රුපියල් 100 – 110 විය.

මෙයට එක් හේතුවක් වී ඇත්තේ සුළු හා මාධ්‍ය පරිමාණ මෝල්හිමියන්ට වී අලෙවි මණ්ඩලය සහන මිලට ලබාදුන් වී තොග හදිසියේ නවතා දැමීමය. සහන මිලට වී ලබාගැනීම නිසා නාඩු සහල් කිලෝව රුපියල් 80කට සහ සම්බා කිලෝව 85කට අලෙවිකරමින් තිබිණ.

සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති රංජිත් කරුණාතිලක පවසන්නේ පසුගිය 22දා සිට සහන වී නිකුත් කිරීම නවතා දැමීම නිසා වී මෝල් 200ක් පමණ වැසීයාමේ තර්ජනයකට ලක්ව ඇති වගයි. මේ නිසා වෙළෙඳ පොළේ සහල් මිල ඉදිරියේදී තවත් වැඩිවිය හැකි බව ඔහු කියයි. සභාපතිවරයා පෙන්වා දෙන්නේ මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිප දෙනකු සිදුකරන කුප්‍රකට ජාවාරමක් නිසා පාරිභෝගිකයා මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ද විපතට වැටී ඇති බවයි.

මේ අතර කෘත්‍රීම බිත්තර හිඟයක් ඇතිකර උත්සව සමයේ මිල ඉහළ දැමීමට ව්‍යාපාරිකයන් කිහිපදෙනකු උත්සාහ කරමින් සිටින බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් පවසයි. මේ වනවිට රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා බිත්තර නිෂ්පාදනය කරන නිසා හිඟයක් ඇතිවීමට කොහෙත්ම ඉඩ නැති බව ඔහු කියයි. ග්‍රෑම් 52 වැඩි බිත්තරයක උපරිම තොග මිල රුපියල් 17 වන අතර, ග්‍රෑම් 52ට අඩු 50 ප්‍රමාණයේ බිත්තරයක මිල රුපියල් 16ක් වන බව ඔහු කියයි. එසේම සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 14 – 14.50 පමණ මිලකට අලෙවි කෙරේ. රටේ දෛනික අවශ්‍යතාව බිත්තර ලක්ෂ 65-70 අතර වන අතර නිෂ්පාදනය ලක්ෂ 73ට අධික වේ. මෙවැනි අතිරික්තයක් තිබියදී අද කුඩා ප්‍රමාණයේ බිත්තරයක සිල්ලර මිල රුපියල් 20 පමණ වන්නේ මෙම අතරමැදියන්ගේ ගසාකෑම නිසා බව පැහැදිලිය.

මේ දිනවල වඩාත්ම ගැටලුකාරී වී ඇත්තේ බී ලූනු මිල විශාල ලෙස ඉහළ යාමය. මෙයට මසකට පමණ පෙර කිලෝව රුපියල් 60-70 අතර මිලකට අලෙවි වූ බී ලූනු කිලෝව අද රැපියල් 200 දක්වා සිල්ලර මිල වැඩිවී ඇත. පසුගියදා (27) පිටකොටුව වෙළෙඳ පොළේ කළ සමීක්ෂණයකදී හෙළිවූයේ බී ලූනු කිලෝව තොගමිල රුපියල් 100-150 අතර පවතින බවය. චීන ලූනු රුපියල් 100 ද, පාකිස්තාන් ලූනු රුපියල් 140 සහ තුර්කි වර්ගය කිලෝව රුපියල් 155 වෙයි. රතු ලූනු කිලෝවක තොග මිල රුපියල් 400 – 500 දක්වා ඉහළ නැග ඇත. ඉන්දියාවේ ඇතිවී යැයි කියන වගා හානිය නිසා ශ්‍රී ලංකාවට ආනයනය කරන සියයට 80ක් වූ බී ලූනු නැවතීමෙන් විශාල ලෙස මිල ඉහළ ගොස් තිබේ. සතියක අපේ ලූනු පාරිභෝජනය මෙට්‍රික් ටොන් 5000කි. පකිස්තානයෙන් හා නෙදර්ලන්තයෙන් මෙරටට ලූනු ආනයනය කරන අතර ඒවායේ ප්‍රමිතියද ඉන්දියානු ලූනු මට්ටමට නොපවතී. මෙම අවාසනාවන්ත තත්ත්වය මත පාරිභෝගිකයා අසීරැතාවකට පත්ව සිටී.

කිලෝව රුපියල් 80 මට්ටමේ තිබූ රටින් ගෙන්වන අර්තාපල් මිලද රුපියල් 100 ඉක්මවා වැඩිවී ඇති අතර පාකිස්තාන් අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 105 සහ පෝලන්ත කිලෝව රුපියල් 110 – 120 දක්වා මිල ඉහළ නැග තිබේ. දේශීය අර්තාපල් කිලෝවක මිල රුපියල් 200 ඉක්මවා ගොස් ඇත.

විශාල ලෙස ඉහළ නැග ඇත්තේ කරවල මිලය. තෝර හා තලපත් කරවල කිලෝවක තොග මිල රුපියල් 1600ක් දක්වා ඉහළ නැග ඇති අතර කට්ටා කරවල කිලෝව රුපියල් 1400ක් සහ කීරමින් කිලෝව රුපියල් 1000 ඉක්මවා ගොස් ඇත. හාල්මැස්සන් කිලෝවක තොග මිල රුපියල් 600 පමණ වේ. මිරිස් කිලෝවක තොග මිල රුපියල් 400 දක්වාද මයිසූර් පරිප්පු රුපියල් 160 හා මුංඇට රුපියල් 215 දක්වා ද ඉහළ නැග තිබේ. මේ ඇතැම් ආහාර ද්‍රව්‍යවල මිල පසුගිය සමයේ පාලනය කර තිබුණ ද අද වනවිට ඒ පාලන මිලක් දක්නට නැත.

මිල පාලනය ක්‍රියාත්මක කරන බලධරයා වන පාරිභෝගික සේවා අධිකාරිය ආණ්ඩු වෙනස සමඟ අක්‍රීය වී ඇති අතර එම ආයතනයෙන් මිල ඉහළ යාම් පිළිබඳ විස්තර දැනගැනීමට පවා ක්‍රමයක්ද නොමැති විය. ඉදිරියේදී පාලනය ස්ථාවර තත්ත්වයට පත්වූ පසු හෝ පාරිභෝගික සේවා අධිකාරියට පණ දීමට කටයුතු කළ යුතුව ඇත.

අපේ ලූනු මිල නැග්ගේ ඉන්දියාවේ වැස්සෙන්
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කරුවන්ගේ සංගමයේ ලේකම් හේමක ප්‍රනාන්දු

පසුගිය මාස දෙකක කාලය තුළ ඉන්දියාවේ වර්ෂාව නිසා විශාල කෘෂිකර්ම ව්‍යසනයක් සිදුවුණා. මෙම හානිය එරටම පමණක් නොවෙයි මුළු ලෝකයටම බලපෑවා. ඉන්දියාවේ ප්‍රදේශ තුනක විශාල වශයෙන් බී ලූනු වගා කරනවා. එම ප්‍රදේශ තුනක බී ලූනු අස්වැන්න තමා ලොව පුරා බෙදාහරින්නේ. එම අස්වැන්න සියල්ල විනාශ වූ නිසා එරටට ද බී ලූනු පිටරටවලින් ගෙන්වන්න සිදුවුණා. ඔක්තෝබර් මස මැද භාගයේ සිට ඉන්දියාවේ ද බී ලූනු කිලෝව ශ්‍රී ලංකා මුදලින් රුපියල් 300ට ඉහළයි.
ලූනු ලෝක ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක්. බටහිර රටවල මිරිස් පාවිච්චි නොකරන ජනතාව වූවත් ආහාර සඳහා ලූනු ගන්නවා. මේ සඳහා වෙනත් විකල්පයක් නැහැ. මිල පාලනය කිරීමද කළ නොහැකියි. මිල පාලනය කළහොත් ලංකාවට ලූනු ආනයනය කිරීමට නොහැකි වේවී. එහෙම මිල පාලනය කළොත් දෙසැම්බර්වලට ඒමට නියමිත ලූනු කන්ටේනර් පවා වෙන රටවලට හරවා යවාවී.

දැනට ලංකාවට එන ඊජිප්තුවේ ලූනු කිලෝව රුපියල් 110 ගණනේ සහ නෙදර්ලන්ත ලූනු කිලෝව 125 ගණනේ තොග මිල අලෙවි කරනවා. ඒ නිසා ඉදිරියේදී වුණත් නැත්තටම නැති වෙන්නේ නැහැ. වෙළෙඳ සංගමය වශයෙන් අපට ස්ථිරවම කියන්න පුළුවන් ඇනවුම් කළ බඩු ඇති නිසා ඉදිරි කාලයේදී හිඟයක් හෝ අසාධාරණ ලෙස මිල ඉහළයාමක් සිදු නොවන බව.

එසේම ලබන වර්ෂය මුල පමණ වනවිට ඉන්දියාවේ ලූනු නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වනු ඇතැයි විශ්වාසයක් තියෙනවා. කාලගුණය නිවැරදි වී ගංවතුර උවදුරු පහව යනවා ඇති. හැමදාම මෙලෙසට තියෙන්නේ නැහැ. ඒ නිසා අස්වැන්න යළි වර්ධනය වී මිල පෙර තිබූ තත්ත්වයට පත්වනු ඇතිවග කිව යුතුයි. මෙය තාවකාලික දුෂ්කරතාවක් පමණයි.

අර්තාපල්වලද කිසිදු මිල වැඩි වීමක් සිදුවන්නේ නැහැ. මේ වනවිට ලෝක වෙළෙඳ පොළේ කිලෝවක මිල රුපියල් 100 මට්ටමේ තියෙනවා. අපේ වර්තමාන තොග මිල බදුත් සමඟ රුපියල් 150ක් පමණයි. පකිස්තාන අර්තාපල් කිලෝව රුපියල් 100යි. නුවරඑළියේ දේශීය අර්තාපල් කිලෝව රුපියල් 150යි. ඒ නිසා දැනට කිලෝවකට අයකරන රුපියල් 50ක් වූ රේගු බද්ද අඩු කරන්න එපා කියලයි අපි ඉල්ලන්නේ. දෙගොල්ලන්ගේම මිල සමාන වෙලා තියෙනවා. රේගු බදු අඩුකළ හොත් ආනයන ඒවා මිල අඩුවීමෙන් දේශීය ගොවියාට සාධාරණ මිල මට්ටමක් පවත්වාගෙන යන්න අපහසු වෙනවා ඇති. පවතින මිල පාරිභෝගිකයාට ද වෙළෙන්ඳාවද, ගොවියාට ද ඔරොත්තු දෙනවා. ඒ නිසා කිසිදු වෙනසක් කළ යුතු නැහැ.

ආණ්ඩුව ආපු ගමන් මිල බස්සන්න බෑ
පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ

බඩු මිල ඉහළ යාම ශ්‍රී ලංකාවේ පමණක් ප්‍රශ්නයක් නොවෙයි. මුළු ලෝකයේම තත්ත්වයක්. ආණ්ඩුවක් ඉවත් වෙලා අලුත් ආණ්ඩුවක් පත්වූ විගසම සෑම භාණ්ඩයකම මිල අඩුකරන්න බැහැ. ඒ සඳහා යම් ක්‍රමවේදයක් අන්හදා බැලිය යුතුයි. එයට යම් කාලයක් යනවා. රාජ්‍ය ආයතනවල සභාපතිවරු අධ්‍යක්ෂකවරු වෙනස් වූයේ නැහැ. තවම ඉන්නේ පරණ ආණ්ඩුවේ අය. ඉතින් ඒ අය බඩු මිල අඩු කිරීමට උදව් කරාවී යැයි සිතන්න බැහැ.

මේ වනවිට දේශීය අර්තාපල් අස්වැන්න වෙළෙඳ පොළට ඇවිත් අවසන්. දැන් ආනයිනික අර්තාපල් මත තමයි යැපෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේක කවදත් සිදුවූ දෙයක්. කලින් කලට මිල වෙනස් වෙනවා. දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට ක්‍රමවේදයක් නව රජය යටතේ හෝ නිර්මාණය කළ යුතු වෙනවා. මේ සඳහා කෘෂිකර්ම සහ වෙළෙඳ අමාත්‍යාංශ ඒකාබද්ධව යම් ක්‍රමවේදයක් සකස් කළ යුතුයි.

බොම්බයි ලූනු හිඟය ඉදිරිකාලයේදී තවදුරටත් බලපාන්නට පුළුවන්. දැන් ආනයනය කරන ලූනුවල සැරත් අඩුයි. ලූනු හිඟය ගැන දැනගෙන වෙළෙඳුන් මිල ඉහළ දැමීමට උත්සාහ කිරීමද එක් හේතුවක්. හිඟය නිසා මිල පාලනයක් ඇතිකිරීම ද ප්‍රායෝගික නැහැ. දැනට ඇති තොග බෙදාහැරීම ක්‍රමානුකූල කළානම් යම් පමණකට හෝ මිල සම මට්ටමක තබා ගන්නට පුළුවන් වේවී.

කෙසේ වුවද මේ දිනවල එළවළු මිල ඉහළ යාමට කාලගුණයේ අවිධිමත් භාවයද බලපෑවා. එළවළු නාස්තිය වැඩි වීම නිසා අස්වැන්නෙන් 1/3 පමණ අපතේ යාම හැමදාම සිදුවන දෙයක්. පහුගිය ආණ්ඩුවලින් එළවළු ප්‍රවාහනයේදී ඇතිවන අපතේයාම අඩුකිරීමට ප්ලාස්ටික් කූඩා විශේෂයක් හඳුන්වා දුන්නත් එය සාර්ථක වූයේ නැහැ. මිල ඉහළ යාමට මෙලෙස අස්වැන්න නාස්තිවීමද බලපානවා. පසුගිය දිනවල අමුමිරිස් කිලෝව රුපියල් 1000 දක්වා ඉහළ නැග තිබුණා. සෙසු උඩරට සහ පහතරට එළවළු වර්ගවල මිල ද ගණන් ගිහින්. උඩරට එළවළු මිල ඉහළ ගියාම කිසිඳු හේතුවක් නැතුව එයට සාපේක්ෂව පහතරට එළවළු මිල ඉහළ යනවා.

මාළු මිල ඉහළයාමට හේතුවක් වෙලා තියෙන්නේ කුකුළන්ට රෝගයක් බෝවීම ගැන ප්‍රචාරය වීම නිසා වැඩිදෙනා මත්ස්‍ය පාරිභෝජනයට නැඹුරුවීමයි. සමාජ මාධ්‍යවල කුකුළු රෝගයක් ගැන ප්‍රචාරය වෙනවා. රජය මේ ගැන සොයාබලා එවැනි රෝගයක් තිබේ නම් එය පාලනය කළයුතු අතර ජනතාවට මස්වල ප්‍රමිතිය ගැන සහතික කළයුතු වෙනවා. එසේ නොකළ හොත් මාළු මිල තවත් ඉහළයාවී.

වෙන රටවල ධීවර කර්මාන්තයේ යෙදෙන්නේ උපාධිධාර උගත් තරුණයන්. ඒත් අපේ රටේ එහෙම අය නොවෙයි. ඔවුන්ට නව තාක්ෂණය ගැන දැනුමක් නැහැ. එළවළු වගේම මාළු අස්වැන්න ද අපතේ යාම වැඩියි. මාළු මිල ඉහළයාමට එම තත්ත්වයද බලපා තියෙනවා.

යසවර්ධන රුද්රිගු
සේයාරූ I සුමුදු හේවාපතිරණ