2019 නොවැම්බර් 14 වන බ්‍රහස්පතින්දා

අවසානය දක්වා වීර්ය අත නොහැරිය අශ්වයෙක්

 2019 නොවැම්බර් 14 වන බ්‍රහස්පතින්දා, ප.ව. 12:30 101

සැවැත්නුවර ජේතවනාරාම විහාරයේ මහණදම් පිරීමට අලස භික්ෂුවක් උන්නා. ඒ භික්ෂුව ගැන දම් සභාවට රැස්වූ භික්ෂූන් කතාබහ වුණා. බුදු රජාණන් වහන්සේ එය අසා එම අලස භික්ෂුව කැඳෙව්වා.

මහණ! ඔබ මහණදම් පිරීමට අලස ඇයි? බුදුන් විමසුවා.

ඒ භික්ෂුව නිහඬව උන්නා.

මහණෙනි! පෙර නුවණැත්තෝ වීර්ය පාන්න වූ තැනදී අලස වූයේ නෑ. වීර්ය කළා. ප්‍රහාර ලැබූවද වීර්ය කළා. අතහැරියේ නෑ යැයි පවසා මෙම කතාව වදාළා.

පෙර කල බරණැස බඹදත් රජ කෙනකුට බෝජජානිය නමින් උසස් කුලයේ උපන් අශ්වයෙක් උන්නා. ඒ අශ්වයා අනෙක් අසුන්ට වඩා රූපසොබාවෙන් වෙනස්. ලස්සනයි. සවිමත්. නැණවත්. ඒ නිසා මේ අශ්වයා මඟුල් අශ්වයා වුණා. ඌ මඟුල් අශ්වයා ලෙස රජතුමා තෝරාගත් පසු අස්හලේ වෙනත් තැනක් ඌට වෙන් කළා. එහි බිමට සුදුවැලි අතුරා උඩට උඩුවියන් බැන්දා. රාවුතයා ද (අශ්වාචාර්ය) මේ මඟුල් අසුට වෙසෙස් සැලකිලි දැක්වූවා.

මේ අතර වෙනත් රාජ්‍යවල රජවරු හත් දෙනෙක් බරණැස් රාජ්‍ය යටත් කර ගන්නා සටනට ආවා. කඳවුරු පිටින් නුවර බැඳගත්තා.

බඹදත් රජතුමා කලබල වුණා. වහා ඇමැතිවරු රැස් කළා.

දැන් අපි කුමක්ද කරන්නේ? සතුරු සේනා නුවර වටකරගෙන යුද ප්‍රකාශ කරනවා. රජතුමා කිව්වා.

දේවයන් වහන්ස! අපි සටන් කළ යුතුයි. ඇමැතිවරු කිව්වා.

හොඳයි. එහෙනම් මම රාජකීය හමුදා ගෙන ගොස් සටන් කරන්නද?

එපා එපා. දේවයන් වහන්ස.

එසේ නම් කවුද සටනට යන්නේ? කුමක්ද කළ යුත්තේ? පමාවෙන්න බෑ. ඔවුන් පවුරු පදනම් කඩා බිඳගෙන එන්න පුළුවන්.

දේවයන් වහන්ස! අපේ රාවුතයා යුද ශිල්ප ගැන අති දක්ෂයෙක්. එසේම උපාය දත් නැණවතෙක්. අපි ඔහු පිරිවර සමඟ පළමු සටනට යවමු.

ඔහු සටනට අසමත් වුණොත්?

එහෙම වෙන්නේ නෑ.

ඇමැතිවරුනි! සටන්වලදී පළමුව ජය පරාජය තීරණය කරන්න බෑ.

දේවයන් වහන්ස! බැරිවෙලාවත් රාවුතයා සටනින් අසමත් වුණොත් ඔබතුමා රාජකීය හමුදාවට නායකත්වය දී සටනට යන්න.

හොඳයි කී රජතුමා රාවුතයා කැඳවූවා.

ඔහු ආවා. බඹදත් රජතුමාට ගෞරව දක්වා පැත්තකට වුණා. දේවයන් වහන්ස! මා කැඳවනු ලැබුවේ කුමක් සඳහාදැයි ඇසුවා.

දරුව! අපගේ රාජ්‍ය පැහැරගන්න සතුරු රජවරු හත් දෙනෙක් ඇවිත් කඳවුරු බැඳගෙන.

දේවයන් වහන්ස! ඊට මා කුමක්ද කළ යුත්තේ?

ඔබට බැරිද අප සේනාව කැටිව ගොස් ඔවුන් සමඟ සටන් කරන්න.

මට පුළුවනි. දේවයන් වහන්ස! එහෙත් මට ඒ සඳහා ඉල්ලීමක් කරන්න තියෙනවා.

කුමක්ද ඒ?

දේවයන් වහන්ස! මඟුල් අසු දෙන්න ඕනෑ සටනට යන්න.

රජතුමා කල්පනා කළා. රාජ්‍ය නැතිව ගොස් මට මඟුල් අසුගෙන් ඇති වැඩේ කුමක්දැයි සිතුණා.

අසු පමණක් නොවේ ඔබ කැමැති ඕනෑම දෙයක් අරන් යන්න. ඒ හතුරන් වනසන්න.

රාවුතයා මඟුල් අසු ළඟට ගියා. හිස අතගෑවා. ඔබට මට ස්වාමි වූ මහජතුමාට අපි පක්ෂපාත වෙන්න ඕනෑ. මේ වනවිට එතුමා පමණක් නොවේ මේ රාජ්‍යයම අනතුරේ. අපි ප්‍රාණය ගැන නොතකා එතුමාට උදව් කරන්න ඕනෑ. රජතුමාට කරදර කරන ඒ සතුරු සේවා වැනසීමට අපි යමු කිව්වා.

මඟුල් අසු ඊට මනාප බව ප්‍රකාශ කළා. අසුට මිහිරි බොජුන් කන්න දුන්නා. මධු පානය බොන්න දුන්නා. සුවඳ විලවුන් ගැල්වූවා. සන්නාහය බැන්දා. රාවුතයත් සන්නාහ සන්නද්ධව මඟුල් කඩුව ගෙන අසු පිටට පැන සටනට ගියා.
මඟුල් අසු කල්පනා කරන්න වුණා. මේ සත් රජවරුන් නොව මුළු දඹදිව සෙනග ආවත් කම් නැත. උන් නොමරා අල්ලාගත යුතුයි සිතුවා. රාවුතයා අමතා සබඳ ඒ සත් රජවරුන් නොමරා අල්ලාගන්න කිව්වා.

ඔහු ඊට එකඟ වුණා.

මඟුල් අසු රාජකීය හමුදාව සමඟ ගොස් සතුරු රජවරුන්ගේ බලකොටුවලට පැන්නා. රාවුතයා එහි සිටි සේනාව පැරුදවූවා. රජවරු සය දෙනෙක් අල්ලා ගත්තා. හයවැනි බලකොටුවේදී සතුරු සේනාවෙන් කඩු පහරක් අසුට වැදුණා. එය රාවුතයා දැනගත්තා. අල්ලාගත් රජවරුන් සමඟ ඉක්මනට රජගෙදරට ආවා. ඒ කඩු පහර නිසා අශ්වයාගේ ඇතිවූ තුවාලය දරුණුයි. වේදනා දුන්නා.

රාවුතයා ඉක්මනින් අසුගේ සන්නාහය ලිහා දැම්මා. සත්වැනි සතුරු රජ ඇල්ලීමට යෑමට වෙනත් අසකු පිළියෙළ කළා.
මඟුල් අසු වේදනා විඳිමින්ම කල්පනා කරන්න වුණා. මේ රාවුතයා මගේ ගුණ දන්නේ නෑ. සත්වැනි බලකොටුව බිඳින්න යන්න හදයි. ඊට වෙනත් අශ්වයෙක් තෝරාගෙන ඉන්නවා. ඌට හත්වැනි සතුරු රජුගේ බලකොටුව බිඳින්න උපා දන්නේ නෑ. ඉන් සතුරන්ගෙන් අශ්වයාත් රාවුතයාත් මැරුම් කනවා. සතුරන් මේ රාජ්‍ය අල්ලා ගන්නවා. රජතුමාට විපතක් වෙනවා. මම රාජ්‍යයත් රජතුමාත් බේරාගන්න ඕනෑ යැයි අශ්වයා තීරණය කළා.

රාවුතයා අමතා සබඳ මා නගාසිටුවන්න. ඔය සන්නාහය මට බඳින්න. මාත් එක්ක සත්වැනි සතුරු රජු අල්ලන්නත් යමු. මඟුල් අසු කිව්වා.

මිතුර! ඔබට ඇතිවූ තුවාලය දරුණුයි. අමාරුයි නේද?

නෑ. ඉක්මනට තුවාලයට බෙහෙත් ගල්වන්න.

රාවුතයා තුවාලය වසා බෙහෙත් බැන්දා. සන්නාහයත් බැන්දා. ඒ මඟුල් අසුපිට නැග්ගා. සේනා රැගෙන සත්වැනි සතුරු රජුගේ බලකොටුවට ගියා. සටන් කර සතුරන් පරාජය කළා. සත්වැනි සතුරු රජ අල්ලා ගත්තා. ගෙනත් බඹදත් රජතුමාට බාර දුන්නා. ඒ වන විට මඟුල් අසු කෙටුම් කෑ වග රජතුමා දැනගෙන. කම්පාවට පත්වෙලා. ඒ අතර මඟුල් අසුගේ තුවාලය හොඳටම දරුණු වෙලා. දැඩි වේදනාවට පත්වෙලා. රජතුමා මඟුල් අසු ළඟට ගියා. අසු වේදනාවෙන් රජතුමා දෙස බැලුවා. දේවයන් වහන්ස! ඔය රජවරුන් මරන්න එපා. සමාව දී මිතුරු කර ගන්න. ඔබවහන්සේ මට දක්වන උපහාර රාවුතට දක්වන්න. අසු වේදනාවෙන් කිව්වා.

රජතුමා වෙදවරුන් කැඳෙව්වා. අසුගේ තුවාලයට බෙහෙත් ගල්වන්න සන්නාහය මුදාහැරියා. මඟුල් අසු බිම වැටුණා. රජතුමා දෙස බලාගෙනම අන්තිම හුස්ම පිට කළා. රජතුමා ඉමහත් ශෝකයට පත් වුණා. මහත් හරසරින් අසු ආදාහනය කළා. 

මහණෙනි! නුවණැත්තෝ අවසානය දක්වා වීර්ය අතහරින්නේ නෑ. බුදුහු වදාළා.

බෝජජානිය ජාතකය ඇසුරින්
බී.පී.කේ. තිලක

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00