2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

භයානක විය හැකි ගෙදර පළිබෝධනාශක

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 165

“පළිබෝධනාශක අනතුරු සහිතයි. ප්‍රවේසමෙන් පරිහරණය කරන්න” යන වචනය කෘෂි රසායනික දැන්වීම්වල නිතරම යොදනු අපට දැකගත හැකිය. එම අවවාදය දැන්වීම්වල සඳහන් කරන්නේ නීතිමය අවශ්‍යතාවයක් නිසාය. එම අවවාදය දැක දැකත් ප්‍රවේසම් රහිතව කෘෂි රසායන භාවිත කරන ඕනෑතරම් පිරිස් වගාබිම්වලදී අපට දැකගත හැකිය.

අප දැන් කියන්නට යන්නේ අවවාදයකින් තොරව පරිහරණය කෙරෙනා ගෘහස්ත පළිබෝධනාශක ගැනය. “ඇත්තටම හානිකර රසායනික අපේ ගෙවල්වල හැම කාමරයකම වගේ දකින්න පුළුවන්. මේවා ජීවිතවලට පවා තර්ජනයක් වුණත් නිසි විදිහට ආරක්ෂිතව ගබඩා කිරීමට හුඟ දෙනෙක් උනන්දු වන්නේ නැහැ. මේ නිසා විශේෂයෙන් කුඩා දරුවන් සිටින ගෙවල්වලට ලොකු අවදානමක් තිබෙනවා.” අප සමඟ එලෙස ප්‍රකාශ කළේ පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ සන්නිවේදන අංශය පවසන්නේ ගෘහස්තව භාවිත කරන පළිබෝධනාශක ද නිසි ලෙස නියාමනය කිරීමේ වගකීම පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා සතු බවයි. ඒ පිළිබඳව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් මෙලෙස සඳහන් කර සිටී.

“ගෘහස්ත පළිබෝධකයන් ලෙස සැලකෙන කුහුඹුවන් වැනි ඉතා කුඩා සතුන්ගේ සිට ක්ෂීරපායී ගණයට වැටෙන මීයන් වැනි සතුන් මර්දනයට පළිබෝධනාශක භාවිත කෙරේ. කෘෂිකාර්මික පළිබෝධනාශක ආනයනයට හා වෙළෙඳාමට බලපත්‍ර දෙනවා සේම ගෘහස්ත පළිබෝධනාශක ආනයනයටත් වෙළෙඳාමටත් බලපත්‍ර අවශ්‍ය වේ. එම වගකීම ද පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා සතුය. බලපත්‍ර ලබාගැනීමේදී ආනයනකරු විසින් සපුරාලිය යුතු අවශ්‍යතා ගණනාවකි. ඊට අමතරව විද්‍යාගාර පරීක්ෂණවලින් නිකුත් කෙරෙන සඵලතා අධ්‍යයනය ද අවශ්‍යය. බලපත්‍රය ලැබෙන්නේ වර්ෂ තුනක කාලයකට පමණි. එය ඊටපසු යළිත් සලකා බලා දීර්ඝ කරගත යුතුය.”

1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතට මේ නිෂ්පාදන අයත් වේ. එහෙත් අපට නම් පෙනෙන්නේ කුහුඹු නාශක, කැරපොතු නාශක, මීයන් විනාශ කිරීමේ රසායන ගමේගොඩේ යකඩ බඩු කඩයකින් පවා ලබාගත හැකි බවය. ගමේ කුඩා වෙළෙඳසල්වල කිරිපිටි සැෂේ පැකට් ළඟින්ම මීයන් මරණ කැට පැකට් ද එල්ලා තිබීම සාමාන්‍යයෙන් දැකගත හැකිය. ඒ අතර මී නාශක, කැරපොතු නාශක රාශියක් නිසි වෙළෙඳ නාමයකින් තොරව වෙළෙඳපොළේ විකිණීමට තිබේ. ඒවායේ අන්තර්ගත විෂ රසායනික පිළිබඳ විද්‍යාගාර පර් යේෂණ කළාදැයි දන්නේ දෙවියෝ පමණි.

“මී නාශක, කැරපොතු හා කුහුඹු නාශකවල බොහෝ විට අඩංගු වන්නේ සල්ෆ්ලුමේඩ්, ක්ලෝපයිරිපොස් සහ බෝරික් අම්ලයයි. මේවා මිනිස් ශරීරයට හානිකරයි. ඒවා යෙදීමෙන් පසුව අත් සබන් යොදා හොඳින් සෝදාගැනීම අනිවාර්යයි.” හේමන්ත විතානගේ වැඩිදුරටත් කීවේය.

ශෘහස්ත පළිබෝධනාශක ගැන නිසි දැනුවත් වීමක් අපේ සමාජයේ බහුතරයකට නැත. කුඩා දරුවන් මදුරු කොයිල්, මී නාශක වැනි රසායනික ආහාරයට ගෙන රෝහල්ගත වන්නේ ඒ නිසාය. කැරපොතු නාශක ස්ප්‍රේ ආකාරයෙන් යෙදීමේදී ද එම වාෂ්පය ආහාරවලට මිශ්‍ර නොවන සේ සැලකිලිමත් විය යුතුය.

ගෘහස්ත පළිබෝධනාශක නිවසේ තැන්පත් කිරීමේදීද ආහාර වර්ගවලින් ඈත්ව කුඩා දරුවන්ට ළඟාවිය නොහැකි තැන්වල තැබීම අත්‍යවශ්‍ය වේ. වෙළෙඳසල්වල මේ විෂ රසායන ගබඩා කර තැබිය යුත්තේ වෙනම ස්ථානයක බවට නීතිරීති ද පවතී. ඒවායේ ඇසුරුම් කඩා සිල්ලරට අලෙවි කිරීම ද තහනම්ය. පාරිභෝගිකයාට ඒ පිළිබඳ විස්තර පහසුවෙන් දැකගත හැකි පරිදි මූලික විස්තරයක් ඇසුරුමෙහි මුද්‍රණය කළ යුතුය. ඒ අතරම අඩංගු ක්‍රියාකාරී සංයෝග, පාවිච්චි කළ යුතු පිළිවෙල, හදිසියේ ගිලුණහොත් ලබාදිය යුතු ප්‍රතිවිෂ ආදිය පිළිබඳ විස්තර සැපයිය යුතුය. මේ නිසා මේවා මිලදී ගැනීමේදී නිසිලෙස ලියාපදිංචි කළ ගෘහස්ත පළිබෝධනාශකම මිලදී ගැනීමට මහජනතාව විමසිලිමත් විය යුතුය. අනවසර පළිබෝධනාශක බහුල වශයෙන් අප රටේ අලෙවියට තිබෙන බව හෙළිවී තිබේ. ඒවායින් සිදුවන හානියට වගකිවයුත්තෙක් ද නැත.

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ව්‍යාජ පළිබෝධනාශක හඳුනාගැනීමට මහජනතාවට ප්‍රයෝජනවත් විය හැකි කරුණු කිහිපයක් මෙසේ දක්වයි. “ව්‍යාජ නිෂ්පාදනවල ඇසුරැම ආකර්ශනීය නැහැ. ඒවායේ දවටන වර්ණවත් අලංකාර ආකාරයෙන් දැකගැනීමට අසීරුයි. මුද්‍රණ තාක්ෂණය ද නොදියුණුයි. පළිබෝධනාශක පනත යටතේ ලියාපදිංචි කළ බව ලේබලයේ සඳහන් කර තිබිය යුතුයි.”

ව්‍යාජ පළිබෝධනාශක සඳහා අධි අවදානම් කෘෂිකාර්මික පළිබෝධනාශක යොදාගන්නා බව වාර්තා වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. නිවෙස් තුළදී මේවායේ විෂ තත්ත්වය නොනැසී දිගු කලක් පැවතීම මිනිසාගේ සෞඛ්‍යයට දැඩි තර්ජනයකි.

පදික වේදිකාවල පවා මී නාශක, කැරපොතු නාශක විකුණනු අපට දක්නට ලැබේ. ඒවා නීති විරෝධීය. පළිබෝධනාශක වැටලීම් කිරීමට ද රට පුරා නිලධාරීන් පත්කර තිබේ. මේ කූට ජාවාරම් පිළිබඳව ඔබත් දන්නේ නම් 0812388076 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
මේ ලිපිය කියවීමෙන් පසු ඔබ ගෙදර මීයන්, කුහුඹුවන්, කැරපොත්තන් වැනසීමට රසායනික මිලදී ගැනීමේදී වඩාත් කල්පනාකාරී වනු ඇතැයි අපි සිතමු.

කුසුම්සිරි විජයවර්ධන

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00