2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

හුස්ම සහ ඇනා ෆ්‍රිට්ස්

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 261

අමුතු අමුතු චිත්‍රපට නිර්මාණයට ස්පාඤ්ඤ චිත්‍රපටකරුවන් දක්වන්නේ මහත් කැමැත්තකි. The corpse of Anna Fritz වර්ෂ 2015දී එරට තිරගත වූ එවන් චිත්‍රපටයකි. හෙක්ටර් හර්මාඩෙස් විසන්ස් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය එක් රාත්‍රියක් තුළ රෝහලක මෘත ශරීරාගාරයක සිදුවන සිද්ධි දාමයක් මුල්කොට ගත්තකි.

පෝ නම් තරැණයා රෝහලක මෘත ශරීරාගාරයේ වැඩ කරන කම්කරුවෙකි. මෝචරියට රැගෙන එන තරුණ කාන්තාවන්ගේ මළ සිරුරු නැරඹීම ඔහුගේ විනෝදාංශයකි. දිනක් ඇනා ෆ්‍රිට්ස් නම් රූමත් නිළියගේ මළ සිරුර මෘත ශරීරාගාරයට රුගෙන එයි. ඔහු ඇගේ සිරැරේ සේයාරුවක් ජංගම දුරකථනයෙන් ගෙන මිතුරන්ට යවයි. එය දකින ඔහුගේ මිතුරන් දෙදෙනෙක් වන අයිවන් හා ජාවි හදිසියේම රෝහලට කඩා පාත්වෙන්නේ මියගිය නිළියගේ නිරුවත් සිරුර දැකගැනීමටය.

මියගිය තරැණ ගැහැනු ශරීර දූෂණය කිරීම මෝචරිවල සාමාන්‍යයෙන් සිදුවන්නකි. පෝ ද එයට ඇබ්බැහිවූවෙකි. එය දැනගන්නා අයිවන් ද ඇනාගේ සිරුර සමඟ සංසර්ගයේ යෙදේ. ජාවි නම් මිතුරා එයට විරුද්ධ වේ. අයිවන්ගෙන් පසු ඇනාගේ සිරැරට නගින පෝ ද ඇය දූෂණය කිරීම අරඹයි. ඒ අතර ඇයගේ මියගිය සිරුරට පණ ලැබේ. ඊටපසු කතාව දිව යන්නේ මියගිය ඇනාට පණ ලැබීම විශාල ප්‍රශ්නයක් වීම කේන්ද්‍ර කරගනිමිනි. මේ අපවාදයෙන් ගැලවීමට තරුණයන්ට අවශ්‍ය (ජාවි හැර) ඇනා යළිත් ඝාතනය කිරීමටය. තරුණයන් අතර ගැටුමේදී පහරදීමකින් ජාවිද මියයයි.

මෙය ඉබාගාතේ යන තරුණ ජීවිතවල නිරුවත හෙළි කරන සංකීර්ණ මානසික ප්‍රශ්නයක් කේන්ද්‍ර කරගත් සිනමා කෘතියකි. අපි මේ මොහොතේ ඇනා ෆ්‍රිට්ස් ගැන කතා කිරීමට හේතුව මේ දිනවල ප්‍රදර්ශනය වන සිංහල චිත්‍රපටයක් නිසාය. ඒ සුදේශ් වසන්ත පීරිස්ගේ හුස්මය. ඔහු එම චිත්‍රපටය නිර්මාණය කරනවිට ප්‍රකාශ කළේ බාල ජනප්‍රිය චිත්‍රපට රැල්ලෙන් මිදී සම්භාව්‍ය ගණයේ සිනමා කෘතියක් කිරීමට ඇති කැමැත්ත නිසා හුස්ම නිර්මාණය කළ බවය. එහෙත් එම චිත්‍රපටය ඇනා ෆ්‍රිට්ස් චිත්‍රපටයේ කාබන් කොපියක් බව පසුව ප්‍රේක්ෂකයන්ට අවබෝධ විය. විදෙස් කෘතියකින් ආභාෂය ලැබීම වරදක් නොවේ. එහෙත් ඒ බව ඔහු කිසිවිටෙක සඳහන් කර නැත. මේ නිසා ප්‍රේක්ෂකයන් මුලා වී තිබුණි.

ස්පාඤ්ඤ චිත්‍රපටයේ ඇනා ෆ්‍රිට්ස් ලෙස විශිෂ්ඨ රංගනයක නිරත වන්නේ ඇල්බා රිබාස් නම් නිළියකි. විටෙක මළ සිරුරක් ලෙස ද පසුව පණ ඇති සිරුරක් ලෙස ද ඇය භාවාත්මක රංගනයක යෙදේ. හුස්ම චිත්‍රපටයේ ඒ සඳහා ආදේශ කර ඇත්තේ චමත්කා ලක්මිණීය. චමත්කා හැකි තරම් සාර්ථක රංගනයකට උත්සාහ කළද ඇනා ෆ්‍රිට්ස් සමඟ නම් හැරෙන්නටවත් බැරිය. කැමරා කෝණ, වර්ණ භාවිතය, දෙබස් මෙන්ම ඇඳුම් පවා විදෙස් චිත්‍රපටය අනුකරණය කිරීමට යාමක් දැකගත හැකිය. විදේශ චිත්‍රපටයේ චරිතවල ගූඪ ස්වභාවය විස්තර කිරීමට ලිංගිකත්වය නොව දර්ශන තලයේ මලානික නිල් පැහැය, පාළු බව, සෙමින් ගලා යන රූප, යාන්තමින් ඇසෙන සංගීතය ආදිය ද මනාව උපයෝගී කරගෙන තිබේ. එහෙත් හුස්ම චිත්‍රපටය නැරඹීමෙන් අපට ස්පාඤ්ඤ චිත්‍රපටය නැරඹීමෙන් ලැබෙන වින්දනය ලබාගැනීම අපහසුය. ඒ ගැන වැඩිදුර කියනවාට වඩා ප්‍රේක්ෂක ඔබත් The corpse of Anna Fritz අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට යහපත්ය.

 ප්‍රේක්ෂක

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00