2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

බිරියන් දෙදෙනත් එක්ක කොටු වූ කොළොන්නාවේ කුඩු දිලීප

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:31 317

“කාලයක ඉඳලා කුඩු ජාවාරමට කොලොන්නාවේ දෙගොල්ලක් මරාගන්නවා. වෙඩි තියනවා කපාකොටා දානවා ඉවරයක් නෑ. දවසක් සුරාබදු එකට ඔත්තුවක් දීලා කිහිපදෙනෙක් බඩුත් එක්කම මාට්ටු වුණා. හැබැයි උන්ට දැන් ඇප දීලා එළියේ ඉන්නේ. උන්ගෙන් කෙනෙක් මරන්න මේ දවස්වල අනිත් කට්ටිය ප්ලෑන් කරනවා”

පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරියකුට පළපුරුදු ඔත්තුකරුවකුගෙන් ලැබුණේ ඉහත තොරතුරුය. ඔහු වැඩිදුරටත් කියා තිබුණේ හැකි ඉක්මනින් ක්‍රියාත්මක නොවුණොත් නිකරුණේ තවත් ජීවිතයක් පරලොව යන බවය.

කුඩු ගහන, විකුණන, ජාවාරම් කරන පමණක් නොව පාතාල ගැටුම් හා ඝාතන රැසක් සම්බන්ධයෙන් නම් කියවෙන කොලොන්නාව ප්‍රදේශය හොඳින් හඳුනන සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීහු එසැණින් ක්‍රියාත්මකව සිටියහ. ඒ පසුගිය 26 වැනි සෙනසුරාදා පස්වරුවේය. එදින සවස 3.15ට පමණ කොලොන්නාව නාගහවත්ත ප්‍රදේශයට ගිය නිලධාරීන් පිරිස අවධානයෙන් පසු වී ඇත. සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ගේ ඉලක්කය වී තිබුණේ ඝාතන තර්ජනයට ලක්ව සිටි පාර්ශ්වයේ විරුද්ධවාදීන් බව කියන කණ්ඩායමය. ඒ අතර පාතාල නායකයකු ලෙස ප්‍රසිද්ධ අංගොඩ ලොක්කා නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු බව කියන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කුඩු දිලීප හෙවත් දිලීප තරංග හෙට්ටිආරච්චි යන අය පිළිබඳවත් ඔවුන්ගේ අවධානය යොමු වී තිබිණි.

ඔත්තුකරුගෙන් ලැබුණු තොරතුරු අනුව කියා තිබුණේ කුඩු දිලීප නැමැත්තා මහා පරිමාණයෙන් කුඩු අලෙවි කරන බවය. ඔහුට විරුද්ධ පාර්ශ්වයක් කොලොන්නාව ප්‍රදේශයේම ක්‍රියාත්මක බවත් මීට වසර එකහමාරකට පමණ ඉහතදී නිශාන්ත නැමැත්තකු කපා කොටා ඝාතනය කළේ එම පිරිස බවටත් වාර්තා වී තිබිණ. එසේ ඝාතනයට ලක්වූ නිශාන්ත යන අය කුඩා දිලීපගේ මස්සිනාය.

එම සිදුවීමෙන් පසුව නිශාන්තගේ පාර්ශ්වය විසින් සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන්ට තොරතුරක් ලබා දී ඇතැයි අනෙක් පාර්ශ්වය විශාවාස කොට ඇත. එහිදී පිරිසක් අත්අඩංගුවට පත්ව ඇතත් ඇප මත යළි නිදහස්ව පැමිණ සිටින අතර ඔවුන් ඊට පළිගැනීමක් වශයෙන් ඝාතනයක් සිදු කිරීමට සැලසුම් කරන බවට වාර්තා වී තිබේ.

අනාවරණය කරගත් තොරතුරු මත ක්‍රියාත්මක වෙමින් සිටි සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීහු කොලොන්නාව නාගහමුල්ල ප්‍රදේශයේ රැඳී සිටියදී මාර්ගයේ සිටි සැකකරැවකු අත්අඩංගුවට ගත්හ. නාගහමුල්ල අතුරු මාර්ගයකදී සැකකරු අල්ලා ගැනීමත් සමඟ දැඩි පරික්ෂාවට ලක්කෙරුණු ඔහුගේ ඉන ප්‍රදේශයේ සඟවා සිටි ගිනි අවියක් සොයාගෙන තිබිණ. එය විදේශීය නිෂ්පාදිත 3.8 වර්ගයේ රිවෝල්වර අවියකි. එසේ සැකකරු ගිනි අවිය සමඟ අත්අඩංගුවට පත්වෙද්දි සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට තොරතුරු ලැබී තිබුණේ මොහු දුර්ලභ හා විශේෂිත ගිනි අවියක් සඳහා උණ්ඩ සොයමින් සිටින බවය. අත්අඩංගුවට පත් සැණින් ඔහුගේ නිවස සෝදිසි කිරීමට සැකකරු රැගෙන ගොස් තිබිණ. නාගහමුල්ල 101 වත්තේ 101/ 05 ලිපිනය දැරූ නිවසේ ඔහු පදිංචිව සිට ඇත. දෙමහල් නිවසක් වූ එහි සැකකරුගේ විවාහක හා අනියම් බිරියන් දෙදෙනා රැඳී සිට ඇත. එහි උඩු මහලේ නිත්‍යානුකූල බිරිය දරුවන් තිදෙනා සමඟ ජීවත් වන අතර බිම් මහලේ ගැබිනියක වන අනියම් බිරිය සිටින බවත් හෙළිකර ගෙන ඇත.

නිවස සෝදිසියේදී බිම් මහලේ අල්මාරියක දමා සඟවා තිබූ එයාර් පිස්ටල් නැමති විශේෂ ගිනි අවිය සහ වානේ කඩු 3ක් සොයාගෙන අත්අඩංගුවට ගනු ලැබීය. ඊට අමතරව සැක සහිත ජංගම දුරකථනයක් සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය බාරයට ගෙන සැකකරු සමඟ වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිස්ථානයට බාර දී තිබිණ.

29 හැවිරිදි වියේ පසුවන කුඩු දිලීප රැඳවුම් නියෝග යටතේ තබාගනිමින් තවදුරටත් විමර්ශන සිදු කරයි. හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් පාතාල කල්ලි කිහිපයක් සමඟ පවතින ආරවුල් නිසා සිදුවීමට තිබූ මිනිස් ඝාතනයක් මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ වැළකී තිබේ. සැකකාර කුඩු දිලීපට එරෙහිව හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩුවක් විභාග වන අතර මිනී මැරුමක් සම්බන්ධයෙන් ද නඩුවක් විභාග වන බවට වාර්තා වේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාගේ උපදෙස් මත සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී කේසර රත්නවීර මහතාගේ මෙහෙයවීමෙන් එම ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීහු වැටලීම සිදු කළහ.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00