2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

විල්පත්තුවේ නඩු වැටුණු පල්ලිය

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 150

ඓතිහාසික වටිනාකමකින් යුක්ත වූ විල්පත්තුව ජාතික වනෝද්‍යානය දෙස් විදෙස් සියල්ලන්ගේ ආකර්ෂණයට ලක්වූ චමත්කාර වන උද්‍යානයකි. විවිධ සතා සිව්පාවුන්ගේ වාසභූමියක් බවට පත්ව ඇති මෙය වසර තිහක කාලයක් පුරාවට පැවති කුරිරු යුද්ධයේ බලපෑමෙන් කෙමෙන් කෙමෙන් විනාශ භාවයට පත්විය. යුද්ධය අවසන් වූ පසුව වසර ගණනාවක් තුළ වැසි තිබූ විල්පත්තුව ජාතික වනෝද්‍යානය විවෘත කිරීමට හැකිවිය.

කාගේත් ආකර්ෂණයට ලක්ව තිබූ ගරාවැටී තිබූ ජුසේවාස් මුනිවරයාගේ නමින් පැවතෙන පල්ලකන්ඩල් දේවස්ථානයද නවීකරණය කර ජනතාවට වැඳුම් පිදුම් කළ හැකි ආකාරයට සකස් කිරිමට කතෝලික සභාවට හැකිවිය. කතෝලික ජනතාවගේ වන්දනා අභිමානයට ලක්වූ පල්ලකන්ඩල් දේවස්ථානය මෑතකදී නිර්මාණය කළ එකක් නොවන බව නොදන්නා කෙනකු නොමැති තරම්ය.

1687 වසරේදී ලන්දේසි යුගයේදී කුලීකරුවකු මෙන් ඉන්දියාවේ ගෝවේ නගරයේ සිට ලංකාවට පැමිණි ජුසේවාස් පියතුමා මන්නාරම වරායෙන් ලංකාවට ගොඩබැස මන්නාරම සිට යාපනය දක්වා ශුද්ධ වූ ජපමාලය ගෙළ පැළඳාගෙන කිතුණුවන් සොයා යාපනය දක්වාත් නැවත යාපනයේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වාත් ගමන් කර ඇත. පුත්තලමට එන ගමනේදී හමුවූ එකම කතෝලික ගම්මානය වී ඇත්තේ පල්ලකන්ඩල් ද්‍රවිඩ කතෝලික ජනතාව ජීවත් වූ ගම්මානයයි.

එහි ධර්මය ප්‍රචාරය කළ උන්වහන්සේ සිංහල දමිළ භාෂා ඉගෙන ගැනීම නිසා ජනයා සමග සමීප සබඳතා පවත්වා ගැනීමට සමත් වූහ. එහි එක් ප්‍රතිඵලයක් ලෙස උතුරේ පමණක් නොව රටේ සෙසු පළාත්වලටද එතුමාගේ සේවය රහසින් දීමට එඩිතර වීය. එතුමාගේ සේවය අගය කරමින් ජුසේවාස් පියතුමා ශ්‍රී ලංකාවේ අපෝස්තුලුවරයා වශයෙන් 1995 වසරේ ජනවාරී 21 වන දින දෙවැනි ජුවාම් පාවුලු‍ පාප්තුමන් විසින් භාග්‍යවරයට ඔසවනු ලැබූහ.

ඉන්පසු ලංකාවේ ජුසේවාස් මුනිඳුන්ගේ දේවස්ථාන අලුතින් ඉදිවුවද පල්ලකන්ඩල් දේවස්ථානය ඉතා පැරණි පෞරාණික වටිනාකමකින් යුත් ශු.අන්තෝනි මුනිඳුන්ට කැප කරන ලද දේවස්ථානයකි. වනාන්තරයට මැදිවී හුදකලාවේ සැඟවී ඇති මෙම දේවස්ථානයට විවිධ කතෝලිකයන් මෙන්ම අන්‍ය ආගමික බැතිමතුන්ද ඒකරාශී වී පැමිණෙති. මෙම දේවස්ථානය තුළ අන්තෝනි මුනිඳුන්ගේ ප්‍රතිමාවට අමතරව වර්තමානය වනවිට ජුසේවාස් මුනිඳුන්ගේ ප්‍රතිමාවක්ද දක්නට හැකිය.

තවත් බොහෝ ප්‍රතිමා තැන්පත් කර ඇති මෙම දේවස්ථානයේ වැඳුම් පිදුම්වලට ලක්වූ ප්‍රතිමාවක් කැඩී තිබීම පසුගිය කාලයේ බොහෝ දෙනකුට ප්‍රශ්නාර්ථයක් බවට පත්වීය. මෙම සිදුවීමත් සමග මෙම ක්‍රියාව අන්තවාදීන් විසින් සිදුකර ඇති බවට සමාජ මාධ්‍ය මගින් කටකතා පතුරුවනු ලැබීය. මෙම සිදුවීම අන්තවාදී ක්‍රියාවක් නොව වනසතුන් සැරිසැරීම හේතුවෙන් සිදුවූවක් බව අනාවරණය වී තිබේ.

වර්තමානය වනවිට පල්ලකන්ඩල් දේවස්ථානයට විරුද්ධව නඩු පැවරීමට එක්තරා පරිසර සංවිධායක් යැයි කියාගන්නා බඩගෝස්තරවාදී රාජ්‍ය නොවන සංවිධානයක් කටයුතු කර ඇති බව කතෝලික ජනතාව අතර කතාබහට ලක්වී ඇත. වර්තමානය වනවිට පවතින තත්ත්වය පිළිබඳ පල්ලකන්ඩල් දේවස්ථානය භාර පියතුමා වන වනාතවිල්ලුව දේවස්ථානයේ මීසම් පාලක පියතුම වන ක්‍රිස්ටි පෙරේරා පියතුමාගෙන් අපි විමසුවෙමු.

“අපි විල්පත්තුව ජාතික උද්‍යානය ඇතුළේ පල්ලි හදන්න ගියේ නැහැ. විල්පත්තුව ජාතික උද්‍යානයක් කරලා තිබෙන්නේ 1937දී. පල්ලකන්ඩල් පල්ලිය හදලා තිබෙන්නේ 1747දී පමණ. ඒ කාලේ මේ ප්‍රදේශයේ ජනතාව ජීවත්වෙලා තිබෙනවා. ඒ අයගෙ පරම්පරාව තමයි දැන් මොල්ලිකුලම්වල ඉන්නෙ.

1983 වසරේදී යුද්ධයේ බලපෑම නිසා ආගමික කටයුතු නැවැත්වීමට සිදුවුණා. දැන් ඔය පරිසර සංවිධාන නඩු දාලා තිබෙන්නේ අලුතින් පල්ලි හදලා කියලා. අපි අලුතින් හදලා නැහැ. 2009 අපි පල්ලිය නවීකරණය කළා මිසක් අලුතින් ඉදිකරලා නැහැ. ඔය පරිසර සංවිධානවලට පේන්නේ නැහැ අරුවක්කාඩු කුණු. අරදගුරු හිමියන් සහ මීසම් පාලක වන මම කොළඹ අධිකරණයට නඩුවට යනවා. අපි බොහොම අමාරුවෙන් තමයි නඩුවලට වියදම් කරන්නේ. අපිට රාජ්‍ය නොවන සංවිධානවල පිටරටින් එන සල්ලි නැහැ.

උගත් යැයි කියාගන්නා අන්තවාදී මන්දමානසික මිනිසුන් ඉන්නකම් ආගම් හදන්නත් බැහැ. සදාචාරසම්පන්න සමාජ හදන්නත් බැහැ. අපේ අගරදගුරුතුමා මේ ගැන හරි කනගාටුවෙන් ඉන්නෙ. අපේ කතෝලික ධර්මයේ තිබෙන්නේ සොබාදහම රකින්න කියලා. එහෙම එකේ දෙවියන් වහන්සේ මවපු ලෝකය වනාන්තර සත්තු අපි විනාශ කරන්නේ නැහැ.

ඔය පරිසරවේදී කියා ගන්නා අය ඒ ගැනත් හිතන්න ඕනා. මෙවැනි ක්‍රියාවන් නිසා රටතුළ ප්‍රශ්න නිර්මාණය වෙන්න ඇති ඉඩකඩ වැඩියි. අපිට ආගමික කටයුතු කරන්න තිබෙන වේලාව තමයි නඩුවලට යන්න වෙන් කරන්න වෙලා තිබෙන්නේ. මේ පල්ලියෙ මංගල්‍ය තිබෙන්නේ සෑම වසරේම ජූලි දෙවැනි ඉරුදිනයි. අපි ඒක හැම වසරේම සිදුකරනවා. මේ රට හදන්න නම් පරිසර සංවිධාන නමින් පෙනී සිටින බඩ ගෝස්තරවාදී රාජ්‍ය නොවන සංවිධාන තහනම් කරන්න ඕනා කියන මතයේ තමයි බොහෝ දෙනා ඉන්නෙ.”

► රෝවන් පෙරේරා

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00