2019 ජුනි 08 වන සෙනසුරාදා

තරුණ කාලේ ඉඳන් මිනී මාරා පෝරකේට යන කදිරා

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:31 200

මීට වසර 37කට පෙර සූරියවැව, මදුනාගල ඇතුළු අවට ප්‍රදේශ අලි කොටි වග වලසුන්ගෙන් පිරි ප්‍රදේශ විය. අද මෙන් එදා මෙම ප්‍රදේශ ජනාකීර්ණ නොවීය. කිලෝමීටරයක පමණ ඉසව්වක් තුළ සිටියේ පවුල් දහයක් දොළහක් පමණය. ජීවත් වූ බොහෝ දෙනකුගේ ප්‍රධාන ජීවනෝපාය වූයේද හේන් ගොවිතැනයි. මෙකල මෙම ප්‍රදේශවල සොර සතුරන්ගෙන්ද අඩුවක් නොවීය. මදුනාගල උණුදිය උල්පත් පිහිටා ඇත්තේද සූරියවැව හා අම්බලන්තොට යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ දෙකට මායිම් වන ලෙසය. උණුවතුර ළිං පිහිටා ඇති මදුනාගල වන ලැහැබ එකල සොර සතුරන්ගේ මෙන්ම ජාවාරම්කරුවන්ගේද රජදහනක් බවට පත්ව තිබුණි.

මෙවන් පරිසරයක් තුළ 1982.03.25 වැනි දින මදුනාගල දෙසින් අසන්නට ලැබුණේ අහස පොළොව නුහුලනා අපරාධයක් පිළිබඳවය. මදුනාගල උණුදිය උල්පත් ළඟ කැලෑ කොටසේ කිසිවකු මරා දමා ඇති බවට ගම පුරා පැතිර ගියේ විදුලි වේගයෙනි. සූරියවැව මහපැලැස්ස පදිංචි 22 හැවිරිදි විතාරණගමගේ සිරිසේන 25 වැනි දින සවස සූරියවැව පොලීසියට පැමිණියේ පැමිණිල්ලක් කරන්නටය. ඒ මදුනාගල කැලයේ සතුන් කා කුණුවී ගිය පුද්ගල මළසිරුරක් ඇති බවටය. විතාරණගමගේ සිරිසේන රැකියාව ලෙස කළේ ගවයන් බලාගැනීමය. 25 වැනි දින ගවයන් ගාලට ගෙනැවිත් දැමූ පසු උන්ගෙන් දෙදෙනකු අඩු බව දැක ඇති ඔහු එම ගවයන් දෙදෙනා සොයා මදුනාගල කැලයට ගොස් ඇත. එම අවස්ථාවේ මොහු සතුන් කා නරක් වී ගිය මෙම පුද්ගල සිරුර දැක තිබේ. ඒ අනුව ඔහු මේ බව පොලීසියට පැමිණිලි කර ඇත. ඒ වනවිට එම බලප්‍රදේශය අම්බලන්තොට පොලිස් වසමට අයත් වූ බැවින් සූරියවැව පොලීසිය මගින් මේ බව අම්බලන්තොට පොලීසියට දැන්වීමෙන් පසු අම්බලන්තොට පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය.

ඒ අනුව 1982.03.26 දින මෙම අපරාධය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ සඳහා එවකට හම්බන්තොට මහේස්ත්‍රාත් සිරිල් බී. හුණුකුඹුර මහතා සහ හම්බන්තොට දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී කෑලපත මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මදුනාගල වන ලැහැබට ගියේ පස්වරු 2.45ට පමණය. සිරුර ඒ වන විටත් හොඳටම නරක් වී තිබූ හෙයින් සිද්ධිය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ සිරිල් බී. හුණුකුඹුර මහතා විවෘත තීන්දුවක් ලබාදෙමින් සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කරනු ලැබීය. සිද්ධිය සම්බන්ධයෙන් වූ වැඩිදුර පරීක්ෂණ සිදුකරන ලෙස පොලීසියට නියෝග කරන ලදී.

මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වූ පරිදි මියගොස් ඇත්තේ යාය 01, විහාරගල, සූරියවැව ලිපිනයේ පදිංචිව සිටි 15 හැවිරිදි ඇල්ලෙවෙල පහළගේ විමල් වීරසිංහ නැමති අයයි. මෙය පෞද්ගලික කෝන්තරයක් අනුව සිදුවූ මරණයක් බවටද පොලීසිය අනාවරණය කර ගැනුණි.

ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අම්බලන්තොට පොලීසිය මේ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් සිව් දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර එක් පුද්ගලයෙක් වූයේ එකල සූරියවැව අවට පැවති භීෂණ සමයත් සමඟ කුලියට මිනී මරමින්, මංකොල්ලකෑම් සිදුකරනු ලැබූ අඳුපැලෑන, කොහොඹගහවත්ත, රන්න පදිංචිව සිටි 24 හැවිරිදි වියේ පසු වූ ජයසේකර විදානපතිරණගේ පියදාස නොහොත් කදිරා නැමැත්තාය. මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ ගොඩගම කංකානම්ගේ තිලක් නොහොත් හිච්චා මල්ලී නැමති අය 1982.04.03 වැනි දින අම්බලන්තොට රිදියගම ඇල කණ්ඩියේ පිහිටි රුප්පෙගොඩ වාඩිය නැමති ස්ථානයේ සැඟව සිටියදී පොලිස් අත්අඩංගුවට පත් විය. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව සිද්ධියේ දෙවැනි සැකකරු වන ජයසේකර විදානපතිරණගේ පියදාස නොහොත් කදිරා නැමැත්තාද 1982.04.07 වැනි දින වලස්මුල්ල මුරුතවෙල ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටියදී පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව තවත් පුද්ගලයන් දෙදෙනෙක් ද පොලිස් අත්අඩංගුවට පත් වූහ.

අත්අඩංගුවට පත් සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරැණි. අත්අඩංගුවට පත් පළමු සැකකරු වන බන්ධනාගාර ගත කෙරුණු ගොඩගම කංකානම්ගේ තිලක් නොහොත් හිච්චා මල්ලී යන අය පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ සූරියවැව, රන්න, හක්මන ඇතුළු ප්‍රදේශ කිහිපයක මංකොල්ලකෑම් හා ගෙවල් බිඳුම් කිහිපයක් මෙන්ම මිනිස් ඝාතන කිහිපයකටද තමන් හවුල් වී ඇති බවය. පාසලේ 04 වැනි වසර දක්වා පමණක් ඉගෙනගෙන ඇති මොහු කුඩා කල සිටම මව්පියන් සමඟ හේන් ගොවිතැනට සම්බන්ධ වී කටයුතු කර ඇත. මේ කාලයේදී විවිධ නරක පුද්ගලයන්ගේ ඇසුරට වැටීමෙන් ඔහු විවිධ හොරකම් හා මංකොල්ලකෑම්වලට යොමු වූ බව පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.

එහිදී මොහුගෙන් වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු ඉහත පුද්ගල ඝාතනය පිළිබඳව ද සියලු තොරතුරු හෙළිකර ඇත.

“මාර්තු මාසයේ දිනෙක මා අම්බලන්තොට ටවුමට ආවා. ඒ ආ වෙලාවේ මට කදිරා අම්බලන්තොට ටවුමේදී හමු වුණා. එහිදී මට කදිරා කිව්වා සූරියවැව මහපැලැස්සේ වැඩක් තියෙනවා, යමුද කියා. මම හා කිව්වා. ඒ අනුව සතියකට පසුව කතා කරගත් පසු වැඩේට යන්න පිටත් වුණා.”

කදිරා කියූ පරිදි හිච්චා මල්ලී අම්බලන්තොට රිදියගම පාරේ පිහිටි ආරච්චි මහත්තයගේ කඩය අසලට සවස 02ට පමණ පැමිණ සිටියේය. ඒ යන විට ඔහුගේ ඉනේ මල් කපන පිහියද තිබුණි. දවල් 02.20ට පමණ එම ස්ථානයට කදිරා පැමිණියේ අරක්කු බෝතලයක්ද රැගෙනය. ආරච්චි මහත්තයගේ කඩෙන් බටර් විස්කෝතු හා බ්‍රිස්ටල් කිහිපයක් ගත් කදිරා සහ හිච්චා මල්ලී පස්වරු 2.30ට අම්බලන්තොට සිට රිදියගම සත්ත්ව ගොවිපොළට යන බස් එකේ නැගී පැමිණ සත්ත්ව ගොවිපොළ අසල ඇති කඩයක් ළඟින් බැස එතැන සිට රිදියගම වැව් බන්ට් එක දිගේ ගොස් කරඹගහමුල්ල හරහා අඩි හැටේ පාර දිගේ ගොස් උණුදිය පොකුණු තිබුණු මදුනාගල හේනක වාඩියකට ගියේය. ඒ වනවිට වේලාව සවස 6.30ට පමණය.

“වාඩියට ගිය පසු කදිරා මට කිව්වා මම ගිහින් කොල්ලව අරගෙන එන්නම්. එතකම් වාඩියට වෙලා ඉන්න කියලා. මම වාඩියට වෙලා ඉන්නකොට විනාඩි 30කින් විතර කදිරා තවත් කොල්ලකු සමඟ වාඩියට පැමිණියා. වයස අවුරුදු 15ක විතර වයසේ කොල්ලෙක් තමයි එක්කගෙන ආවේ. මාත් ඔහු කවුද කියා අඳුරන්නේ නෑ. කදිරත් ඔහුට ආ කොන්ත්‍රාත්තුවකට තමා මාවත් අරගෙන ඇවිත් තිබුණේ. මමත් මොකුත් දන්නේ නෑ වගේ පෙර කතා කරගත් පරිදි කදිරාගෙන් කවුද බං මේ කියා ඇසුවා. ඊට පිළිතුරු ලෙස කදිරා කිව්වෙ මේ මගේ යාළුවෙක් කියලා.”

පසුව තිදෙනාම එක්ව රැගෙන ආ අරක්කු බෝතලයෙන් සප්පායම් වූයේ බටර් විස්කෝතුද කමිනි. මේ සියල්ලටම පෙර කදිරා තමා රැගෙන ආ කොල්ලා මරා දැමීම සඳහා පොලු කැබැල්ලක්ද සකස් කර වාඩියේ කොණක තබා තිබුණි. අරක්කු බෝතලය බී අවසන් වූ පසු තිදෙනාම එක්ව උණුවතුර ළිං දෙසට යන්නට පිටත් වූහ. ඒ යන අතරේ කදිරා ඉදිරියෙන්, තරුණ කොලුගැටයා මැදින් හා හිච්චා මල්ලී පසුපසින් පැමිණියේ පෙර සැලසුමට අනුවය. හිච්චා මල්ලී ගමනට පෙර වාඩියේ සකස් කර තිබූ පොලු කෑල්ල අතට ගත්තේ ආරක්ෂාවට කියාය. කිසිදු සැකයක් නොසිතූ අදාළ තරුණයාට ගමනට එක්ව යන්නට හැකි වූයේ මඳ දුරක් පමණි. පිටුපසින් පැමිණි හිච්චා මල්ලී ඔහු අත තිබූ පොල්ලෙන් 15 හැවිරිදි ඇල්ලෙවෙල පහළගේ විමල් වීරසිංහ නැමති අයට පහර දුන්නේය. පොලු පහරින් ඔහු කැරකැවී බිම ඇද වැටුණි.

බිම ඇදවැටුණු කොලුගැටයාගේ අත් දෙක කකුල් දෙකින් පාගා ඇඟ උඩින් වාඩි වූ කදිරා ඔහුගේ ඉනේ සඟවාගෙන සිටි වස කුප්පියක් එළියට ගෙන බිම වැටී සිටි තරුණයාගේ ගෙල මිරිකා කට ඇතුළට එබුවේය. විනාඩි පහක් පමණ වස බෝතලය ගිරියට ඔබාගෙන සිටීම හා පොලු පහර නිසා සිහිසුන් වී සිටි තරුණයාව දෙදෙනා එක්ව උස්සාගෙන රැගෙනවිත් මදුනාගල උණුදිය උල්පත්වලට මඳක් දුරින් ඇති වතුර වළක් ළඟින් තැබූහ බිමින් තැබූ තරුණයාගේ අත පය සෙලෙවෙනු දුටු කදිරා හිච්චා මල්ලීගේ ඉනේ තිබුණු මල් කපන කුඩා පිහිය ගෙන 15 හැවිරිදි තරුණයාගේ ගෙල කඳෙන් වෙන්වන ලෙස කපා අසල කැලයට විසිකර දැමුවේය. කඳ කොටස එලෙස තියෙන්නට හැර එතනම තිබූ වතුර වළෙන් අතපය සෝදාගත් කදිරා පිහිය හිච්චා මල්ලීට දුන්නේ අපේ වැඩේ දැන් ඉවරයි කියමිනි.

කෙසේ වෙතත් මෙම අපරාධයේ අලගිය මුලගිය සියලු තොරතුරු අනාවරණය කරගත් පොලීසිය මොහුගේ ප්‍රශ්න කිරීම්වලින් හෙළිකරගත් තොරතුරු මත අනෙකුත් සැකකරුවන්ගෙන්ද ප්‍රකාශ ලබාගැනීම සිදු කරනු ලැබීය. මෙහිදී රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු දෙවැනි සැකකරු වූ කදිරා නැමැත්තා බන්ධනාගාරයේ සිටියදීම තමන්ට පාපොච්චාරණයක් සිදුකළ යුතු බව බන්ධනාගාර නිලධාරීන්ට දන්වා තිබේ. ඒ අනුව සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් සිරිල් .බී හුණුකුඹුර මහතා ඉදිරියට ඉදිරිපත් කෙරුණේ 1982.04.09 වැනි දිනයේය. සැකකරුගේ ඉල්ලීමට අනුව විනිසුරුතුමන්ගේ නිල මැදිරියේදී සැකකරු මෙම පාපොච්චාරණය සිදු කළේය.

මෙහිදී 24 වැනි වියේ පසු වූ ජයසේකර විදානපතිරණගේ පියදාස නොහොත් කදිරා තමන් කළ කී දෑ පිළිබඳව මහේස්ත්‍රාත්වරයා හමුවේ වමාරන්නට වූවේය. තමන්ට මුල සිටම හමු වූ නරක ඇසුර නිසා මෙම තත්ත්වයට පත් වූ බවත්, මුලින් විවිධ අය සමඟ විවිධ ප්‍රදේශවල මංකොල්ලකෑම් සිදුකළ බවත්, පසුව එය මහා පරිමාණ ලෙස සිදුකළ බවත්, අනතුරුව තමන් කුලියට මිනී මරන්නකු වූ බවත් ඔහු පාපොච්චාරණය කර ඇත.

ඒ කාලය වනවිට කදිරාට හොඳ ඉල්ලුමක් තිබී ඇති බව නොරහසකි. කදිරා මහේස්ත්‍රාත්වරයා හමුවේ පාපොච්චාරණය කරමින් වැඩිදුරටත් මෙලෙස පවසා තිබේ.

“මම ඉස්සර වෙලාම ඝාතනය කළේ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි අප්පුහාමි නැමති අයෙකුයි. ඒ ජාසිං ධර්මේගේ කොන්ත්‍රාත්තුවකට අනුව.”

ඔහු පොරොවකින් ගසා මෙම ඝාතනය සිදුකර තිබුණි. මින් පසු 1981 දී ඔහු ඊළඟ මිනීමැරුම සිදුකර තිබුණේ තණමල්විල ප්‍රදේශයේ හේනක සිටි සුදු මල්ලී නැමති අයකුය. තොරණ් බැලීමට ගොස් පැමිණෙන අතරතුර දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ඊට පළිගැනීමක් ලෙස මෙම කොන්ත්‍රාත්තුව ඔහුට ලැබී තිබුණි. තණමල්විල කිරිලොකු මහත්තයාගේ වාඩියේ නිදා සිටියදී රාත්‍රී 1.30ට පමණ එහි ගොස්, නිදා සිටි සුදු මල්ලී නැමති අයට පොල්ලකින් පහර දී වස පොවා ඝාතනය කර තිබේ. ඉන් මාස කිහිපයකට පසු වීරකැටියේ පදිංචිව සිටි වීරකැටියේ ධර්මේ නැමැත්තා ඝාතනය කිරීමෙන් පසු කදිරා සිය යහළුවකුගේ ආරාධනයකට අනුව මාතර අපරුක්ක ප්‍රදේශයේ නිවෙසක් මංකොල්ලකෑමට ගියේය. එම අවස්ථාවේ එහි සිටි අයකු ද ඝාතනය කර කොල්ලය සිදුකර පලාවිත් තිබේ. මංකොල්ලයෙන් කදිරාට රුපියල් 30000ක මුදලක්, රන්මාල දෙකක් හා පෙන්ඩන් එකක්ද ලැබී තිබේ. ඉන් මාස 05කට පසුව ඇඹිලිපිටිය මොරකැටියේ පදිංචිව සිටි සරත් නැමති අයව පිහියකින් ඇන ඝාතනය කරන්නේ දෙද්දුවෙල චන්දරේ නැමැත්තාගේ කොන්ත්‍රාත්තුවකට අනුවය.

මහේස්ත්‍රාත්වරයා හමුවේ තවදුරටත් පාපොච්චාරණය කළ කදිරා මොරකැටියේ ඝාතනයෙන් පසුව අතින් පයින් පහර දී කඩාවැල්ල නිල්වැල්ලේදී පොඩි මහත්තයා නැමති අයව මරා තිබේ. මරා දැමුණු පොඩි මහත්තයාගේ සිරුර ගලක ගැටගසා කලපුවට දැමීමට කදිරා කටයුතු කර තිබේ. මින් මාස කිහිපයකට පසු තණමල්විල බෝදාගම පදිංචිව සිටි පැටි මල්ලී නැමති අයව වෙඩි තබා ඝාතනය කරන්නේ කිරිලොකු මහත්තයා නැමති අයගේ ඕඩරයකටය. 1981 වසරේදීම දිනෙක අතින් පයින් පහරදී පිහියකින් ඇන අගුණුකොළපැලැස්සේ යකාගල සමූපාකාර මැනේජර් මහතා මරා දමන්නේ ජාසිං ධර්මේ නැමැත්තාගෙන් ලද කොන්ත්‍රාත්තුවකට අනුවය. දික්වැල්ලේ මාටින් නැමැත්තාටද පොලුවලින් පහරදී ඝාතනය කරන්නේ කදිරාට ලද තවත් කොන්ත්‍රාත්තුවකට අනුවය. මහේස්ත්‍රාත්වරයා හමුවේ තමන් කළ කී සියලු අපරාධ පිළිබඳ පාපොච්චාරණය කළ කදිරා නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.

කදිරා සිදුකළ මෙම අපරාධ අතරින් සූරියවැව පදිංචි 15 හැවිරිදි තරුණයා මරා දැමීමට එරෙහිව නීතිපතිවරයා විසින් 2000 වසරේදී හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරන්නේ හිච්චා මල්ලී, කදිරා යන දෙදෙනා ඇතුළු පුද්ගලයන් සිව් දෙනකුට එරෙහිවය. මේ අතරවාරයේ හම්බන්තොට මහාධිකරණයෙන් සැකකරුවන්ට ඇප හිමි විය. ඉන් පසු විවාහ වන කදිරාට දාව දරුවන් හය දෙනෙක් ද බිහි වූහ. හම්බන්තොට මහාධිකරණය හමුවේ පැවති නඩු විභාගයට පැමිණෙමින් සිටියදී පළමු සැකකරු ලෙස නම්කර තිබූ හිච්චා මල්ලී නැමති අය වස පානය කිරීමෙන් 2002 වසරේදී මියගියේ හම්බන්තොට මහ රෝහල තුළදීය. පසුව අනෙකුත් සැකකරුවන් තිදෙනාට එරෙහිව නඩු විභාගය පැවති අතර එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලූ හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා පසුගිය 24 වැනි දින සිය නියෝගය ප්‍රකාශයට පත් කළේය.

එහිදී 03 සහ 04 යන චුදිතයන් අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණු අතර 02 වැනි චුදිතයා වූ අඳුපැලෑන, කොහොඹගහවත්ත, රන්න පදිංචි සය දරු පියකු වු ජයසේකර විදානපතිරණගේ පියදාස නොහොත් කදිරා නැමැත්තාට මහාධිකරණ විනිසුරුවරයා විසින් මරණ දඬුවම නියම කරන ලදී. ඒ විත්තිකරුට එරෙහිව නගා තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුවීම හේතුවෙනි. වසර 37කට පෙර අම්බලන්තොට මදුනාගල උණුදිය උල්පත් පිහිටි කැලෑව තුළදී වයස අවුරුදු 15ක පිරිමි දරුවකුට පොල්ලකින් පහරදී, වස පොවා, බෙල්ල කපා ඝාතනය කිරීමේ වරදට කදිරා වරදකරු විය. අතපය හොඳ හැටි පණ තිබූ කාලයේ කදිරා කළ කී චණ්ඩිකම් පිළිබඳව කදිරාට පසුතැවෙනවා හැරෙන්නට වෙනත් කිසිදු දෙයක් සිදුකළ නොහැකිය. මන්ද මරණ දඬුවම හිමිවන අවස්ථාව වන විට ඔහු වයස අවුරුදු 61 පසුවීමය.

පැමිණිල්ල වෙනුවෙන් අම්බලන්තොට පොලීසියේ පොලිස් සැරයන් (22588) විජයසිරි මහතා, රජයේ අධි නීතිඥ ගයාන් ලක්රුවන් පෙරේරා මහතා සමඟ පෙනී සිටියේය.

► සටහන - සූරියවැව නුවන් ජයසේකර