2019 ජුනි 08 වන සෙනසුරාදා

පොලිස් නිලධාරියාගේ ඝාතකයාට මාරයා මුණගැසුණු මොහොත

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:31 179

නීති විරෝධී මත්පැන් වැටලීමක් සඳහා මාතර ඌරුමුත්ත ප්‍රදේශයට ගිය අකුරැස්ස පොලිසීයේ නිලධාරින් කණ්ඩායමකට වෙඩි තබා නිලධාරියකු ඝාතනය කොට තිබුණේ පසුගිය 22 වැනිදාය. සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කළ වැටලීමක් අතරතුර දෙපාර්ශවය තුළ වූ වෙඩි හුවමාරුවකින් සැකකරු ජීවිතක්ෂයට පත්ව තිබුණේ පසුගිය 2 වැනිදා අලුයම් කාලයේදීය.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද දුරකතන පණිවුඩයකින් කියා තිබුණේ ඌරුමුත්ත උඩකන්ද ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් සිදුවන බවකි. ඒ වනවිට පොලිස් ජංගම සංචාරයේ නිරත නිලධාරීන්ට ඒ බව දන්වා ඇති අතර නිලධාරීන් තිදෙනකු අදාළ ප්‍රදේශයට ගොස් ඌරුමුත්ත උඩකන්ද ප්‍රදේශය සෝදිසියට ලක්කර තිබුණි. විශේෂ යමක් නොවූයෙන් සැකකරුගේ නිවස සෝදිසියට ගිය නිලධාරීන්ගෙන් අයකු ගෙමිදුලේ සිටියදී දෙදෙනෙක් නිවස සෝදිසි කළෝය. 

මිදුලේ සිටි පොලිස් නිලධාරියා පසුපසින් ආ සැකකරු නිලධාරියා සතු ගිනිඅවියක් පැහැරගෙන දුවගොස් තිබුණි. සැකකරු පසුපස ලුහුබැඳ ගිය නිලධාරියාට සැකකරු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාර කීපයක් නිසා පොලිස් කොස්තාපල්වරයා (77290) ජීවිතක්ෂයට පත්විය. එහිදී පපුවට වෙඩිවැඳීම හේතුවෙන් මරණයට පත්ව තිබුණේ කනංකේ, දිද්දෙණිය, කොළඹගේවත්ත පදිංචිව සිටි අකුරුස්ස පොලිසියේ කසුන් සම්පත්ය. 30 හැවිරිදි වියේ පසුවූ ඔහු දෙදරු පියෙකි. 

ඝාතනය සිදුකළ සැකකරු සම්බන්ධයෙන් කොට්ඨාස බුද්ධි අංශයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකි. එමගින් දන්වා තිබුණේ ඌරුමුත්ත ප්‍රදේශයේ, මුලටියන, ගොම්බද්දල ප්‍රදේශයේ සැකකරු සැඟවී සිටින බවත් සිංහරාජ වනාන්තරය දක්වා පැතිරී ඇති කැලය ආසන්නයෙන් ඔහු පලායාමට උත්සාහ ගනිමින් සිටින බවත්ය. සැකකරු කොටුකර ගැනීමේ මෙහෙයුම සඳහා පොලිසිය සමඟ විශේෂ කාර්ය බලකා නිලධාරිහු ද එක්ව සිටියහ. ඒ අතර අකුරැස්ස පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති වෙත ලැබුණු තොරතුරකින් කියා තිබුණේ උඩකන්දවත්තේ මහවංගුව අසලින් සැකකරු පළායාමට උත්සාහ ගන්නා බවය. වහා ක්‍රියාත්මක වූ නිලධාරින් සිව්දෙනෙක් අදාළ ස්ථානයේ සැඟවී ආයුධ සන්නද්ධව රැකවල්ලා සිටියහ.

පැය දෙකකට ආසන්න කාලයක් ටී.56 ගිනිඅවි සහිතව රැඳී සිටි නිලධාරින්ට ඈතින් පිහිටියේ විශාල කන්දකි. පළාතේ පුරාම රබර් වගාවකින් පිරී තිබුණු බිමේ ඈත කෙළවරක විදුලි පන්දමක් දැල්වී යළිත් නිවා දැමූ බව නිලධාරින්ට නිරීක්ෂණය වී තිබුණි. ඒ පිළිබඳ දැඩි සෝදිසියකින් පසු වූ නිලධාරීහු ඒගැන වඩාත් අවධානයෙන් සිටියහ. මේ අතර රබර් වත්ත මැද තැනින් තැන කොළ අතු පෑගී කෝටු කැඩෙන ශබ්දයක් ඇසෙන්නට වූ අතර එම ශබ්දය ක්‍රමයෙන් නිලධාරින්ට සමීප වන හඳුනාගෙන තිබුණි.

එම ශබ්දය සතකුගේ ගමනක් නොවන බවත් නිසැකවම මිනිසකුගේ ගමනක් බවත් හඳුනාගැනීමට නිලධාරින් සමත්ව තිබිණි. නමුත් පිරිස සැඟවී මෙහෙයුමක නිරත වන බව හඳුනාගන්නට ඉඩ නොතැබූ නිලධාරීහු තවත් විපරමින් පසුවූහ. අතුරු පාරක වංගුවක් දෙපස බිම දිගාවී සිටි නිලධාරින් මීටර් දහයක් පමණ කිට්ටුවට සැකකරු පැමිණෙන තෙක් බලාසිට “දුවන්න එපා යටත් වෙයන්.. උඹ වටකරලා ඉවරයි...” කියමින් හඬ නැගූහ.

සැකකරු හඳුනාගැනීමෙන් පසුව කළ අණකිරීමත් සමඟ සැකකරු අතවූ ගිනි අවියකින් නිලධාරියාගේ හඬ ආ දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. සැණෙකින් ක්‍රියාත්මක වූ නිලධාරියා එකපිට වෙඩිපහර කිහිපයක් එල්ල විය. ඒ සමඟම සැකකරුගේ ගිනිඅවිය ක්‍රියාත්මක වීම නැවතුණු අතර තවත් මොහොතකින් සැකකරු දෙසින් කෙඳිරිලි හඬක් ඇසෙන්නට විය. තවත් මොහොතක් හො බලානොසිටි නිලධාරින් අතර සිටි ප්‍රධානියා වහාම ක්‍රියාත්මක වී කෙඳිරිගාන සැකකරු අසළට ගියේය. උඩබැලි අතට වැටී ලේ ගලන තුවාල සහිතව සිට පුද්ගලයා දුටු වහාම සෙසු නිලධාරින් තිදෙනාත් එතැනට කැඳවාගෙන සෝදිසිකොට ඒ සමඟම අකුරුස්ස පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත තොරතුරු දන්වා අනතුරුව මූලික අවශ්‍යතාවන් ඉටුකර වහාම රෝගියා රෝහල් ගතකිරීම සඳහා ජීප් රථයක් ගෙන්වාගෙන තිබුණි.

මිනිත්තු 20ක් පමණ ඇතුළතදී පැමිණි ජීප් රථයෙන් තුවාලකරු රෝහල් ගත කිරීමට පියවර ගත් අතර අකුරැස්ස රෝහලේ ප්‍රතිකාර ලබන අතරතුර සැකකරු මරණයට පත්විය. එසේ මියගිය සැකකාර පුද්ගලයා අකුරැස්ස පොලිස් වසමේ ඌරුමුත්ත ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි තැනැත්තකු බවටත් ඔහු නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ නිරතවූවකු බවටත් අනාවරණය වී ඇත.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන අකුරැස්ස පොලිසිය විසින් සිදුකරති.

► සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00