2019 මැයි 11 වන සෙනසුරාදා

ග්‍රාම නිලධාරියෝ ගැටලු ගොඩක

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 509

රටෙහි ප්‍රධාන පුරවැසියා වන්නේ ජනාධිපතිවරයාය. රටෙහි ජනතාවගේ ආරක්ෂාවේ සිට රටට එල්ලවන සෑම උවදුරකින්ම රට ආරක්ෂා කරමින් ජනතාව වෙනුවෙන් කැපවී සේවය කිරීම ජනපතිවරයාගේ වගකීමය. නිලධාරි මට්ටමෙන් සැලකූ විට ගම්මානයක ප්‍රධාන පුරවැසියා වන්නේ ග්‍රාම නිලධාරියාය. අද පමණක් නොව ඈත අතීතයේ සිටම ගමේ ප්‍රධාන පුරවැසියෙක් සිටියේය. එම ගම්මානවල ආරක්ෂාව මෙන්ම ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙමින් ගම්මානයේ ප්‍රධාන පුරවැසියාගෙන් ගම්මුන්ට ඉමහත් සේවයක් ඉටු වී ඇත.

එකල රජ දවස පවා රජවරැන් එක් ගමකට ප්‍රධාන පුරවැසියකු පත්කළේ ඒ ඒ ජනතාවගේ ප්‍රශ්න ගැටලු විසඳීමටය. එබැවින් එකල සිට ගම්මාන බාර ප්‍රධාන පුරවැසියාගෙන් වන වගකීම යුතුකම ග්‍රාම නිලධාරි යන මට්ටම දක්වාම ක්‍රියාත්මක වී ඇත. 

නිල නාම ඉතිහාසය

රජ දවස ගාරි සිට ගාමිණී, ගම්ලද්දා ලෙසින්ද 1705 සිට ගම්පන, ගම්පති, ගමරාළ ලෙසින්ද 1948 සිට 1963 දක්වා හෙඩ්මන්, ආරච්චිරාල, ආරච්චිලෑ, ගම්මුලාදෑනි, රාළහාමි ලෙසද 1963 සිට ග්‍රාම නිලධාරි ලෙසටද හැඳින්වේ.

ග්‍රාම නිලධාරි වසමේ ඉතිහාසය

රජ දවස හූවක් හෝ ගව්වක් තුළ ගම්පෝරුව, ගම්මැද්ද, තුලාන, වැයික්කිය, මුලාදෑනි වසම, ග්‍රාමසේවක කොට්ඨාසය, ග්‍රාම නිලධාරි වසම ලෙසට වේ.

රජ දවස පාලන සමයේ ප්‍රාදේශීය රජවරුන් විසින් ගම්මාන හා හූවක් ගම්වරය ලෙසට, ඇළදොළ ගංගා පර්වත තුළ ගම්මණ්ඩි පාදක කොටගත් බල ප්‍රදේශයද 1963 වසරට පෙර මුලාදෑනි වසම්ද 1963 පසුව ග්‍රාමසේවා වසම්ද 1992 වර්ෂයේ සිට ග්‍රාම නිලධාරි වසම් ලෙසින්ද මෙහි ඉතිහාසය සටහන් වේ.

මහජනතාවගේ නොඉවසිලිමත්භාවය, ආවේගශීලීභාවය නීතිගරුක හා විනයානුකූල නොවීමෙන් සිදුවන බලපෑම්ද දේශපාලන අධිකාරියේ බලපෑම්, නිවැරදි නොවන කාර්ය ඉටුකිරීමට ඉල්ලීම හා මිත්‍රශීලී නොවීම, නීතිගරැක බවක් නොමැතිවීම ද දේශපාලනඥයන් පළමුවැන්නා වීමට කටයුතු කිරීමට ඇතිවන බලපෑම් සහගත තත්ත්වයන් බවට මේ වනවිට ග්‍රාම නිලධාරී තනතුරු පත්ව ඇත.

1975, 1992 වර්ෂවලදී මෙන්ම වර්තමානයේ රැකියාවේ අවිනිශ්චිත බවත්, දීමනා, නිල ඇඳුම්, ලිපිද්‍රව්‍ය, ගමන් වියදම්, කාර්යාල නඩත්තු දීමනා ඉතා අවම මට්ටමකද පැවතීමත් ග්‍රාම නිලධාරීන්ට ඇති ප්‍රධාන ගැටලු අතර වේ. එමෙන්ම දිවයිනේ බොහෝ ග්‍රාම නිලධාරින් සඳහා කාර්යාල හා යටිතල පහසුකම් තාක්ෂණික පහසුකම් නොමැතිවීම හේතුවෙන්ද ග්‍රාම නිලධාරින් හට තමන්ගේ සේවා කටයුතු කරගැනීමට අපහසු වී තිබේ.

ගැටලු

• ව්‍යවස්ථාපිත සේවා ලැයිස්තුව යාවත්කාලීන නොවීම, නිල ලාංඡනය, නිල නාමය, නිල ඇඳුම යාවත්කාලීන නොවීම.

• ප්‍රාදේශීය පළාතේ ක්‍රියාත්මක දැඩි නිලධාරිවාදය, නිවැරදි නොවන උපදෙස් හා චක්‍රලේඛන, නිර්වචනය කිරීම, ආධාර පත්‍රිකා අලෙවිය, මූල්‍ය ආධාර එකතු කිරීම, විවිධ උත්සව, කමිටු පරිපාලනය පැවැත්වීම, උසස්වීම් සඳහා රාජකාරි පැවරීම් සිදුකිරීම, කාර්යාල කළමනාකරණය, ලිපිගොනු සැකසීම, පහසුකම් හෝ ප්‍රතිපාදන නොමැතිව සිදුකිරීමට අනිවාර්ය කිරීම, පරිපාලන නිලධාරීන් දේශපාලනික තීන්දු තීරණ ලෙසට කටයුතු කිරීම, පෞද්ගලිකත්වයෙන් තොරව දෝෂදර්ශනයට, අවමානයට ලක්කිරීමද අහේතුක කරුණු මත විනය ක්‍රියාමාර්ගයන් ගැනීමද වේ.

• ග්‍රාම නිලධාරි වසම් පවුල් සංයුතිය, සීමා මායිම්, භූගෝලීය පිහිටීම, ජන අනුපාතය, දේශපාලන කරුණු විද්‍යානුකූල නොවන තත්ත්වය තුළ බෙදා වෙන්කොට ඇති ග්‍රාම නිලධාරි වසම් එක් වසමක් තුළ පවුල් 50ක් තවත් වසමක පවුල් 1400ක් බැගින් හා වර්ග කි.මී. 01 සිට 07 දක්වා භූමියක් තුළ රාජකාරි සිදුකිරීමට ඇති ගැටලුකාරී බවද වේ.

ඇතැම් අවස්ථාවල ග්‍රාම නිලධාරීන් අල්ලස් ලබාගැනීම නිසා මෙරට සිටින බොහෝ ජනතාව ග්‍රාම නිලධාරීන් දෙස වපර ඇසකින් බැලීම හේතුවෙන්ද ග්‍රාම නිලධාරීන්ට අපහසුතාවයට පත්වීමට සිදුවී ඇත.

මෙම ග්‍රාම නිලධාරීන්ට මුහුණදීමට සිදුවී ඇති ගැටලු පිළිබඳව ශ්‍රී ලංකා ගම්පති පදනමේ ප්‍රධාන සභාපති ඩී.කේ. කීර්තිතිස්ස මහතා දේශයට මෙලෙසින් අදහස් දැක්වීය.

වර්තමානය වනවිට සේවා ගැටලු, මූලික පහසුකම් නොමැතිකම, නිවැරදි නිල නාමය, තනතුරට හිමි වැටුප් හා දීමනා නොලැබීම ඇතුළු ගැටලු ගණනාවකට මුහුණදීමට මෙරට ග්‍රාම නිලධාරි මහතුන්හට සිදුවී තිබෙනවා. ඒ වගේම තමයි කාර්යාලයීය උපකරණ, තාක්ෂණික පහසුකම් යනාදිය සියල්ලම මේ අවුරුදු 56ටම ලබාදීලා තියෙන්නේ එක් වතාවක් පමණයි. ඒ නිසා ග්‍රාම නිලධාරීන් බොහෝ දෙනෙක්ට ගැටලු තියෙනවා. ඒ වාගේම ව්‍යවස්ථාපිත සේවා ලැයිස්තුව යාවත්කාලීන නොවීමත් බරපතළ ගැලුවක්. මේ ගැටලුවලට ඉක්මනින්ම විසඳුමක් ලබාදෙන්න කියලා අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

►හසිත් අංජන

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00