2019 මැයි 11 වන සෙනසුරාදා

කොළඹ බෝම්බවලින් අනාථ වූ රුහුණේ ගොවියෝ

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 134

පසුගිය දින එල්ල වූ ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයත් සමඟ වලව මිටියාවතේ  පමණක් කෙසෙල් වගාකරන ගොවි පවුල් 6000ක් අනතුරේ වැටී. අනෙකුත් භෝග වගාකරුවන් ද දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටිති.

වර්තමානය වනවිට රටේ උද්ගතව ඇති තත්ත්වයත් සමඟින් වලව මිටියාවතේ  පමණක් කෙසෙල් වගාකරන ගොවි පවුල් 6000ක් පමණ දැඩි අසීරු තත්ත්වයකට පත්ව තිබේ. මීට අමතරව තක්කාලි, වම්බටු, මිරිස්, වැටකොලු, කරවිල, වට්ටක්කා, පිපිඤ්ඤා ඇතුළු අනෙකුත් බෝග වගාකරන ගොවි පවුල් ද මේ වනවිට පත්ව ඇත්තේ දැඩි අසරණ තත්ත්වයකටය. විශාල ලෙස බැංකුවලින් ණය මුදල් ලබාගනිමින් ඔවුන් මෙම වගා කටයුතු සිදුකර ඇති නමුත් ඒවා අලෙවි කරගැනීමට නොහැකි වීම මෙම තත්ත්වයට මූලික හේතුව බවට පත්ව තිබේ.

ඉකුත් දා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්ම ප්‍රහාර මාලාවත් සමඟ සිවිල් ජන ජීවිත දැඩි ලෙස කඩා වැටී තිබේ. දිනෙන් දින රටේ විවිධ ප්‍රදේශවලින් විවිධ අවි ආයුධ හමුවීමත් සමඟ ජනතාව තුළද දැඩි භීතියක් හටගෙන තිබේ. මේ හේතුව නිසාම පසුගිය කාලය පුරා රට තුළ සතිපොළ පැවැත්වීම හා ජනතාව ඒකරාශී වීම් නැවැත්වීමටත් රට තුළ ඇඳිරි නීතිය පැනවීමටත් රජය කටයුතු කෙරුණි. අද වනවිට රටේ ආරක්ෂාව තහවුරු කර ඇති බවට ආරක්ෂක අංශ ප්‍රකාශ කළද ජනතාව තුළ තවමත් දැඩි භීතිය පහව ගොස් නොමැත. අද වනවිට දිවයින පුරා නවතා තිබුණු සති පොළවල් නැවතත් ආරම්භ කෙරුණද ඒ වෙත ජනතාවගේ පැමිණීම සිදුවන්නේ ඉතා අඩු වශයෙනි. එමෙන්ම වෙනදා සති පොළට පැමිණෙන ජනතාව පොළ තුළ පැයක් දෙකක් ඇවිද යමින් බඩු මිලදී ගැනීම සිදුකළද අද වනවිට එම තත්ත්වය වෙනස් වී තිබේ. සති පොළට පැමිණෙන පාරිභෝගිකයා කුමක් හෝ එළවලුවක් දෙකක් අරගෙන ඉතා ඉක්මනින් සති පොළෙන් පිටව යති. ජනතාව බොහෝ දෙනෙකු පාරක තොටක යන විට හමුවන කඩවලින් තවමත් බඩු මිලදී ගැනීම සිදුකිරීම නිසා  සතිපොළ ආරම්භ කෙරුණ ද ඒ සඳහා යන්නේ සීමිත වූ ජනතාවක් පමණකි. මේ නිසා ව්‍යාපාරිකයන් ද දැඩි අසරණ තත්ත්වයකට පත්ව තිබේ.

එමෙන්ම,

සූරියවැව, අම්බලන්තොට, තුංකම, මහගම, ඇඹිලිපිටිය, බරවකුඹුක, හත්පෝරුව, කිරිඉබ්බන්වැව, දණ්ඩුම, මයුරපුර ඇතුළු ප්‍රදේශ රුසකම ඇති සති පොළවල සතියකට දින කිහිපයක්ම දිවා රෑ දෙකෙහි කෙසෙල් හා අනෙකුත් භෝග සඳහා තොග පොළ පැවතියද අද වනවිට එයද දැඩි ලෙස කඩාවැටී තිබේ. ඊට ප්‍රධාන හේතුව බවට පත්ව ඇත්තේ කෙසෙල් ඇතුළු අනෙකුත් භෝග මිලදී ගැනීමට පිට පළාත්වලින් පැමිණි ව්‍යාපාරිකයින් තොග පොළවල් වෙත නොපැමිණීමයි. අලෙවිය සඳහා රැගෙන එන කෙසෙල් ඇතුළු භෝග අලෙවි කරගත නොහැකිව ගොවීහු දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති. අලෙවියට රැගෙන ආ භෝග අලෙවි කර ගත නොහැකිව ඇතැම් ගොවීන් භෝග නැවත නිවෙස් වෙත රැගෙන යන අතර ඇතැම් ගොවීන් අලෙවිය සඳහා රැගෙන ආ කෙසෙල් තොග පොළ තුළම තබා තිබෙනු දැකිය හැකිය. එමෙන්ම භෝග තොග වශයෙන් මිලදී ගැනීමට ව්‍යාපාරිකයින් නොපැමිණීම නිසා අතරමැදියන් විසින් පොළවල් සඳහා රැගෙන එන භෝග තුට්ටු දෙකට මිලදී ගැනීමේ ජාවාරමක්ද ක්‍රියාත්මක වීම කනගාටුවට කරුණකි. කෙසෙල් සඳහා පැවති තොග මිලද අද වනවිට සීග්‍ර ලෙස පහත වැටී තිබේ. රුපියල් 120ත් 125ත් අතරේ අලෙවි කෙරුණු පුවාලු කෙසෙල් කිලෝ එකක් මේ වනවිට අතරමැදියන් විසින් ගොවියාගෙන් මිලදී ගනු ලබන්නේ රුපියල් 70ත් 80ත් අතර මුදලකටය. රුපියල් 40ත් 50ත් අතරේ මුදලකට අලෙවි කෙරුණු ඇඹුල් කෙසෙල් කිලෝවක තොග මිල අද වනවිට රැපියල් 10ත් 15ත් අතර මුදලකට පහත වැටි ඇති බවයි ගොවීන් පවසන්නේ. ඇතැම් දිනවලදි දින තුන හතරේ පොළට ගෙනා බඩු අලෙවි කරගත නොහැකිව පොළවල් තුළ ගොඩගසා තැබීමට සිදුව ඇති බවද ගොවීන් පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් අප වලව වම්ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ. මහින්ද මහතාගෙන්ද විමසීමක් කළ අතර එහිදී ඔහු මෙසේ පැවසිය.

වලව වම්ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය කියන්නේ ගොවි සංවිධාන 90කට වැඩි සංඛ්‍යාවකින් සැදුම්ලත් මව් සංවිධානයයි. මෙහිදී අප විශේෂයෙන්ම කියන්න ඕනේ පසුගිය 21 වන දින මේ රටේ ඇති වූ ව්‍යසනකාරී තත්ත්වය නිසා මේ වනවිට රටේ සමස්ත ජනතාවම දැඩි පීඩනයකට හා අපහසුතාවයකට පත්වෙලයි ඉන්නේ. මේ තත්ත්වය ඇති වුණේ මේ රටේ ඉන්න පාලකයන්ගේ වැරදි නිසා බව රටේම ජනතාව දන්නවා. අද වනවිට මුළු රටේම ගොවි ජනතාව දැඩි අසරණ තත්ත්වයකට පත්වෙලා තියෙනවා. සිය අස්වනු අලෙවි කර ගැනීමට නොහැකි වීම නිසා. විශේෂයෙන්ම සූරියවැව ඇතුළු මේ අවට සියලු ප්‍රදේශවල ඉන්න වැඩි දෙනෙක් ගොවි ජනතාව. ඒ අතරිනුත් සියයට 40ක්ම ඉන්නේ කෙසෙල් ගොවියන්. නමුත් කියන්න කණගාටුයි අද වනවිට කෙසෙල් ගොවියට කෙසෙල් ටික විකුණ ගන්න බෑ. තක්කාලි ගොවියට තක්කාලි ටික විකුණගන්න විදියක් නෑ. අනෙක් ගොවිතැන් පිළිබඳවත් එහෙම තමයි.

සූරියවැව හා අවට මේ තියෙන තොග පොළවල්වලට වැඩි වශයෙන් කෙසෙල් මිලදී ගැනීමට එන්නේ අම්පාර, කල්මුණේ, මඩකලපුව, වව්නියාව වගේ ප්‍රදේශවල ඉන්න ව්‍යාපාරිකයිනුයි. නමුත් රටේ මේ ඇතිවෙලා තියෙන අවාසනාවන්ත තත්ත්වයත් එක්ක එම ව්‍යාපාරිකයින් අපේ පොළවල්වලට එන්නේ නෑ. පසුගිය දින ටිකේම ආරක්ෂක හේතූන් මත කියලා පොළවල් තියන එක මුළු රටේම නවත්තලා තිබුණා. මේ හේතූන් නිසා ගොවියා සිය අස්වනු අලෙවි කරගන්න බැරිව දැඩි අසරණ තත්ත්වයට පත් වුණා. මෙම සිදුවීම සිදුවී අද වනවිට දින 17ක් ගතවෙලත් රජයට තවමත් බැරිවෙලා තියෙනවා ජන ජීවිත යථා තත්ත්වයට පත්කරන්න. කෙසෙල් ගොවියට කෙසෙල් ටික විකුණගන්න විදියක් නෑ. ගොවියා දුක්විදලා වගා කරපු වම්බටු ටික, මිරිස් ටික විකුණ ගන්න විදියක් නැති වෙලා තියෙනවා. මේ රටේ වසර 30ක් තිස්සේ දරුණු ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වුණ යුගයේවත් මෙවැනි වාතාවරණයක් රට තුළ ඇති වුණේ නෑ. ඒ නිසා අපි මේ රට කරවන පාලක පන්තියට කියනවා වහාම රටේ උද්ගතවෙලා තියෙන තත්ත්වයට කඩිනමින් පිළිගත හැකි සාධාරණ පරීක්ෂණ පවත්වලා නැවතත් රටේ ජනතාවට නිදහසේ දෛනික කටයුතු කරගන්න පුළුවන් පරිසරයක් හදාදෙන්න කියලා. 

අයි.කේ. සමන් සුදර්ශන ගොවි මහතා

“අද වනවිට රටේ සමස්ත ගොවි ජනතාවම සිය අස්වනු අලෙවි කරගන්න බැරිව දැඩි දුෂ්කරතාවයකට පත්වෙලා ඉන්නවා. ඒ වගේම පාරිභෝගික ජනතාවත් සතියේ කන්න එළවළු ටික ගන්න යන්න විදියක් නැතිව දැඩි අසරණ තත්ත්වයකට පත්වෙලා ඉන්නවා. මේ සියල්ල දෙස බලාගෙන පාලකයොත් විවිධ කතා කියමින් ඉන්නවා මිසක් ජන ජීවිත නැවත යථා තත්ත්වයට පත් කරන්න ඕන කඩිනම් වැඩපිළිවෙලක් තවමත් ක්‍රියාත්මක කර නෑ. ගොවියගේ අස්වනු ටික අලෙවි කිරීමේ ක්‍රමයක් සකස් කර දෙන්න පාලකයන්ට තවම ඕන කමක් නෑ. මේ විදියට ගියොත් ගොවි ජනතාව පත්වන්නේ දැඩි අසරණ තත්ත්වයකටයි. තවදුරටත් මේ රටේ පාලකයන් ගොවි ජනතාව දෙස බැලුවේ නැති වුණොත් රට දැඩි ආර්ථික අර්බුදයකට ලක්වෙනවා. සියලුම දේවල් පිටරටින් ගෙනත් කන්න දෙන රටක් බවට මේ රට පත්වෙනවා.

සූරියවැව පොළට ආ මුදලාලිලා අද සූරියවැවට එන්නේ නැහැ. මේ වනවිට සතිපොළ හා තොගපොළ සාමාන්‍ය පරිදි පැවැත්වුණත් ඒ සඳහා පාරිභෝගිකයාගේ පැමිණීම සිදු නොවීම නිසා ව්‍යපාරිකයා දැඩි අසරණ තත්ත්වයකට පත්ව තිබේ. ඒ විතරක් නෙමේ අද වනවිට මේ ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක පිටතින් පැමිණෙන මුදලාලිලා සූරියවැව ඇතුළු අවට තියෙන පොළවල්වලට එන්නේ නැහැ. ඒ නිසා ගොවියා අසරණ වෙලා. වෙනදා අපි පොළට ගියාම කෙසෙල් කිලෝ එකක් රුපියල් හැටට හැත්තෑවට දුන්නා. නමුත් දැන් කෙසෙල් කිලෝ එකක් දෙන්න වෙලා තියෙන්නේ රුපියල් දහයට පහළොවට. ඒ නිසා තවදුරටත් මේ තත්ත්වය පැවතුණොත් ජනතාව දැඩි අසරණ තත්ත්වයට පත්වෙනවා. කාටවත් ඒක වළක්වන්න බැරිවේවී යැයි පැවසීය.

සූරියවැව, දණ්ඩුම, බරවකුඹුක ඇතුළු තොග පොළවල් කිහිපයකම ඇවිද ගිය අපට දක්නට ලැබුණේ ගොවි නිෂ්පාදන අලෙවි කරගත නොහැකිව දුක්විඳින ගොවි ජනතාවකි. ඇතැම් ගොවීන් සිය අස්වනු පොළට ගෙනවිත් කීයකට හෝ අලෙවි කර යන අතර ඇතැම් ගොවීන් සිය නිෂ්පාදන නිවෙස් වෙත නැවත රැගෙන යනු අපට දක්නට ලැබුණි. ඒ අතරේ කුලියට වාහන අල්ලාගෙන සිය අස්වනු පොළවල්වලට රැගෙන ආ ගොවීන් දින තුන හතරේ සිය නිෂ්පාදන ටිකත් තියාගෙන පොළවල්වලට වී වේලමින් සිටින අයුරු ද අපට දැකගත හැකිවීය.

අපත් සමඟ කතාබහ කළ ගොවි ජනතාව පැවසුවේ මාස ගණන් මහන්සි වී වගාවක් කර එහි අස්වැන්න ලැබෙන කාලයේදී එය අලෙවි කරගැනීමට නොහැකි තත්ත්වයකට ගොවියා පත්වන්නේ නම් ගොවිකමට සමුදීම නුවණට හුරු හොඳම දේ බවයි ඔවුන් පවසන්නේ. ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් යැයි පැවසුවද අද වනවිට ගොවියාට සිදුවන කෙනෙහිළිකම් ඉවසිය නොහැකි තරම් වී තිබේ. මේ නිසා දැන්වත් ගොවියා කෙරෙහි රට කරවන ඇත්තන් හා රට කරවන්න සිටින ඇත්තනුන් විසින් දැඩි අවධානයක් යොමුකර දිනෙන් දින කඩාවැටෙමින් තිබෙන දේශීය කෘෂිකර්මාන්තය රැකගැනීමට කටයුතු කළ යුතුය. එසේ නොවන්නේ නම් දිනෙන් දින ගොවියා ගොවිකමට සමුදීම නොවැළැක්විය හැකි දෙයක් බවට පත්වෙනු නොඅනුමනය.

►සූරියවැව - නුවන් ජයසේකර

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00