2019 මාර්තු 09 වන සෙනසුරාදා

මෙන්න අපේ වත්කම්

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:31 142

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දේශපාලන පක්ෂ කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ ජනසතු කිරීමට පියවර ගත්හ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය වත්කම් බැරකම් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම අනිවාර්ය වුවද බොහෝ මන්ත්‍රීවරුන් එය ඉටු කළේ නැත. ඔවුහු තම වත්කම් සහ බැරකම් ඉදිරිපත් කිරීමට මැලිවූහ. එයට ප්‍රධාන හේතුව කුමක්දැයි පැහැදිලි නැත. එහෙත් ජනතාවගේ ඡන්දයෙන් පත්වූ ඇතැම් දේශපාලනඥයන් විවිධ උපක්‍රම මඟින් තම වත්කම තරකර ගැනීමට උත්සාහ ගැනීමත් හේතුවක් විය හැකිය. ඇතැම් දේශපාලනඥයන්ගේ බැංකු ගිණුම්වලට හොර පාෙරන් මුදල් ගලා එන බවට චෝදනා ද එල්ල වෙයි.

සාමාන්‍යයෙන් මන්ත්‍රීවරුන්ගේ වත්කම් හා බැරකම් ඉදිරිපත් කළයුතුව තිබුණද ඒවා මහජනතාවට දැකබලා ගැනීමට හැකිවූයේ මේ ප්‍රථම වතාවටය. මේ අනුව ශ්‍රී ලාංකීය දේශපාලන සංස්කෘතියේ වෙනසක් කිරීම උදෙසා අත්වැල් බැඳගත් පාර්ලිමේන්තු නියෝජිතයන් වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, විදුර වික්‍රමනායක සහ තාරක බාලසූරිය, එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුන්ය.

මෙහිදී තාරක බාලසූරිය, එම්. ඒ. සුමන්තිරන්, විදුර වික්‍රමනායක සහ වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරුන් තම වත්කම් හා බැරකම් පාර්ලිමේන්තු ලේකම්වරයාගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත්කර ඇති අතර රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න ජනාධිපති ලේකම්ගේ අත්සනින් එම ප්‍රකාශයන් ඉදිරිපත් කර ඇත. මෙම පස්දෙනාට අමතරව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සහ සෙයියඩ් අලී සහීර් මවුලානා මන්ත්‍රීවරයා ද තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ ජනසතු කිරීමට පියවර ගත්හ.

මේ අනුව මෙම වත්කම් හා බැරකම් ප්‍රකාශයේ ඔවුන්ට හිමිවන්නා වූ මාසික ආදායම, මාසික දීමනා, ඔවුන් සතු බැංකු ගිණුම්වල කොටස් හිමිකාරිත්වය, බැංකු ගිණුම්වල විස්තර, බැංකු සුරක්ෂිතාගාර (සේප්පු) ඔවුන් සතු රන් මැණික් ආභරණ පිළිබඳ විස්තර, වතුපිටි, නිවාස, වාහන සහ වගාබිම්වල තොරතුරු ලිඛිතව ඉදිරිපත් කර තිබිණි.

හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගෙන් උරැම වූ ගොඩ මඩ ඉඩම් බොහොමයක හිමිකාරීත්වය පැවරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායකටය. වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව විදුර මන්ත්‍රීවරයාගේ බැංකු ගිණුම්වල ඇත්තේ ඉතා අඩු තැන්පත් මුදලකි. බැංකු ගිණුම් කිහිපයක් පැවතිය ද ප්‍රකාශයට අනුව ඔහුගේ එක් ගිණුමෙහි ඇති වැඩිම මුදල වන්නේ රුපියල් 199,692.44ක මුදලකි. ඉතිරි බැංකු ගිණුම් දෙකෙහිම ඇත්තේ රුපියල් තුන්දහස් ගණනක මුදලක් පමණි. ඔහුගේ මාසික වැටුප ලෙස සඳහන් වන්නේ 54,285.00ක මුදලක් වන අතර මාසික දීමනා ලෙසින් 195,374.40 මුදලක් සඳහන් කර ඇත.

“මම හැම දෙනාම කරන දේවල් කරලා සතුටට පත්වෙන කෙනෙක් නෙවෙයි. ඒ රාමුව කඩලා බිඳලා එතනින් එහාට යන්න තමයි මට හැමවෙලේම ඕනෑ වුණේ. ඉතින් ඒකත් එක්ක මම මේ තීරණය ගත්තා. දේශපාලනයට එන බොහෝ දෙනා හිතන්නේ ඒ අය මහජන ස්වාමිවරු කියලයි. නමුත් අපි මහජන ස්වාමිවරු නෙවේ. අපි මහජන සේවකයොයි. ඒ නිසා මහජන සේවකයෝ විදිහට අපේ මහජන ස්වාමිවරුන්ට අපේ වත්කම් බැරකම් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමේ අයිතියක් තියෙනවා. ඒක මම හිතන විදිහට බොහෝම සාධාරණ දෙයක්. ඉතින් මේ පාර්ලිමේන්තුවේ අපිවත් මේකට මුලපුරන්න ඕනෙ කියලා හිතලා තමයි මාත් මේ තීරණය ගත්තේ. අද වෙනකොට එන්න එන්නම දූෂණය වංචාව හා නාස්තිය වැඩිවෙලා තියෙනවා. ඒ නිසා හොරකමට යම්කිසි විදිහට වැටක් බඳින්න මේ දේත් ඉවහල් වේවි කියලා අපි විශ්වාස කරනවා. එතකොට මහජනතාවට අව්‍යාජව මහජන සේවයට කැපවුණු අය කවුද කියලා තීරණය කරන්න පුළුවන් වේවි.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක දේශයට අදහස් දැක්වීය.

වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාගේ මාසික වැටුප රුපියල් 54,285.00කි. ඔහුගේ ශුද්ධ වැටුප 286,322.29කි. වාහන හතරකට හිමිකම් කියන වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා සතුව සුරක්ෂිතාගාර කිහිපයක්ම ඇත. එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා සතුව විශාල නිවාස සහ දේපල බොහෝමයක් ඇති බව සඳහන් කර ඇත. ඔහුගේ මාසික වැටුප රුපියල් 54,285.00කි. රත්රන්වල වටිනාකම ලෙසින් රුපියල් 500,000/- මුදලක් සඳහන් කර ඇති අතර වාහන තුනක්ද බිරිඳ සහ දරැවන්ට අයත් බංකු ගිණුම් කිහිපයක් ද සඳහන් කර ඇත.

රථ වාහන දෙකකට හිමිකම් කියන එරාන් වික්‍රමරත්න අමාත්‍යවරයාගේ මාසික වැටුප ලෙස රුපියල් 63,500.00ක් සඳහන් වන අතර, ආභාරණ සහිත සුරක්ෂිතාගාර දෙකක්ද, වාහන දෙකක් හා ඉඩකඩම් තුනක ප්‍රකාශනයක් ඉදිරිපත් කර ඇත. තාරක බාලසූරිය මන්ත්‍රීවරයා තමන්ගේ ප්‍රකාශිතයේ මාසික වැටුප හා මාසික දීමනා පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කර නැත. වාහන දෙකක්, රත්තරන් ආභරණ සුරක්ෂිතාගාරයක් තොරතුරු ඇතුළත් වත්කම් හා බැරකම් ප්‍රකාශයක් ඔහු ඉදිරිපත් කර ඇත.

කෙසේ වුවද මෙම අමාත්‍ය හා මන්ත්‍රීවරැන් පස්දෙනා ප්‍රථමව තම වත්කම් හා බැරකම් ඇතුළත් ප්‍රකාශයක් මහජනතාවට දැනගැනීම පිණිස ඉදිරිපත් කර ඇති අතර බැංකු ගිණුම්වල ඇති මුදල් සම්බන්ධව ද තොරතුරු ඇතුළත් කර තිබේ. මීට අමතරව දින කිහිපයක් ගත වූ පසුව සෙයිඩ් අලී සහීර් මවුලානා සහ රන්ජන් රාමනායක මන්ත්‍රීවරු ද තම වත්කම් බැරකම් ප්‍රකාශ ජනසතු කිරීමට පියවර ගත්හ.

ඒ අනුව මවුලානා මන්ත්‍රීවරයාගේ මාසික වැටුප 54,285.00ක මුදලක් ද මාසික දීමනා ලෙසින් 128,255.35ක මුදලක් ද ඇතුළත්ය. එසේම වාහන දෙකක්, ආභරණ, බැංකු ගිණුම් හතරක මුදල් ඇතුළත් ප්‍රකාශයක් ඔහු ඉදිරිපත් කර ඇත. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මාසික වැටුප රුපියල් 63,500කි. මාසික දීමනා ලෙස 201,750.00 සඳහන් වේ. මීට අමතරව රත්තරන් මාලයක්, රන් මුදු දෙකක් හා බැංකු ගිණුම් කිහිපයක තොරතුරු ඇතුළත්ව ඔහු තම වත්කම් හා බැරකම් ප්‍රකාශ ජනසතු කර තිබේ.

“මේක ඇත්තටම හොඳ වැඩක්. හැබැයි කිසිම ප්‍රයෝජනයක් නැති වැඩක්. පසුගිය කාලෙදී වත්කම් බැරකම් වංචා කළා කියලා සරණ ගුණවර්ධනට කොළඹ උසාවියේ නඩුවක් පැවරුණා. ඒ නඩුවෙන් ඔහු වැරදිකාරයා කියලා ඔහුම පිළිගත්තා. හැබැයි වත්කම් බැරකම් වංචා කරපු සරණට නියම කෙරුණු දඩය රුපියල් දාහයි. ඒ වගේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වත්කම් බැරකම්  වංචා කරලා ඔප්පු වුණා. ඔහුත් වරද පිළිගත්තා. ඔහුට ලැබුණු දඩය රුපියල් දෙදහයි. තාමත් රෝම ලන්දේසි පරණ නීති තමයි තියෙන්නේ. ඉතින් මේවා කොච්චර කළත් වැඩක් නැහැ. අපි අවංකව දේශපාලනය කරන කට්ටියයි. මට ඉන්න හිටින්න ගෙයක් නෑ. මට මේ හැමදෙයක්ම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මම කසාද බැඳපු නැති නිසයි. කසාද බැන්දනම් වයිෆ්ව මීඩියා සෙකට්‍රි කරාවි. තව තව නිලතල දාගනීවි. එහෙමනේ දැන් ගොඩක් අය වැඩ කරන්නේ. මට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. වත්කම් බැරකම්වලට ප්‍රධාන ප්‍රශ්නය තමයි විශාල පරපුරක් නඩත්තු කරන්නට සිදුවීම. ඇත්තටම මේක පටන්ගත්ත එකට මම කැමතියි. හැබැයි තාම ප්‍රකාශ දීලා තියෙන්නේ පස්දෙනයි. හැබැයි ඒ පස්දෙනා මට කතා කළෙත් නෑ. මම මේ ආරංචිය දැනගත්තු ගමන් සුමන්තිරන් මහතාට කතා කළා. ඔහු හරහා තමයි මම අදාළ විස්තර හොයාගෙන මගේ වත්කම් බැරකම් ඉදිරිපත් කළේ. මට කවුරුවත් ආරාධනා කළේවත් අපිව දැනුවත් කළේවත් නැහැ. හැබැයි ඔය දීපු සමහරුන්ගේ තොරතුරු වුණත් නිවැරදි නැහැ. කොහොම වුණත් මේ වගේ තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ කරන්න ඉදිරිපත් වීම ගැන සතුටු වෙනවා. තමන්ගේ නිවැරදි වත්කම් බැරකම් ජනසතු කරන්න කියලා මම අනෙකුත් මන්ත්‍රීවරුන්ට ද අභියෝග කරනවා. බොහෝ දෙනා එහෙම ඉදිරිපත් කරන්න කැමති නැහැ. ඒකට හේතුව වංචාව” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක දේශයට අදහස් දැක්වීය.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය වසර ගණනාවක් පුරාවට මෙම තොරතුරු ජනසතු කිරීමට බොහෝ වෙහෙසක් ගත්තේය.

“තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ ජනතාව අතට පත් කරන්නට පාර්ලිමේන්තු නියෝජිතයන් විසින් ගනු ලැබූ නිර්භීත පියවර අපගේ ප්‍රශංසාවට ලක්වෙනවා. මෙය ආදර්ශයට ගනිමින් සෙසු සියලු ජනතා නියෝජිතයන්ද තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ මහජනතාව අතට පත්කර, නිසැක වශයෙන්ම තහවුරු කළ යුතු මහජන යහපත වෙනුවෙන් පෙනී සිටිනු ඇති බව අපගේ බලාපොරොත්තුවයි.” යැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර සඳහන් කරයි.

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබාගැනීම සඳහා www.tisrilanka.org/Mpassets දිගුව වෙත පිවිසිය හැක.
►දිශානි ජයමාලි කරුණාරත්න