2019 මාර්තු 09 වන සෙනසුරාදා

ලාල්කාන්ත ඇතුළට යැවූ අනුරපුර රිය අනතුර

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:31 133

අනුරාධපුර බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී සිදුවූ හදිසි ජීප් - යතුරුපැදි අනතුරෙන් යතුරුපැදියේ පැමිණි කාන්තාවක හා ඇගේ දැරියක තුවාල ලැබුවාය. එහිදී බරපතළ තත්ත්වයේ පසුවූ කාන්තාව සමග දැරිය අනුරාධපුර ශීක්ෂණ රෝහලට ඇතුළත් කරන්නට අසල්වැසි පිරිස් කටයුතු කළෝය.

ඉකුත් පළමුවැනිදා පස්වරුවේ මෙම අනතුර සිදුකළ ජීප්රිය පදවා තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් බැව් ඒ වනවිටත් ජනතාව අතර කතාවක් පැතිරී තිබිණ. අනතුරත් සමඟ එහි පැමිණි අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනක ප්‍රසන්න මහතා ඇතුළු නිලධාරීන් විසින් කේ.ඩී. ලාල්කාන්ත මහතා අත්අඩංගුවට ගනු ලැබීය. අනතුරුව ලාල්කාන්ත මහතා බීමතින් සිටියේද යන්න පරීක්ෂාවට ලක්කරමින් සිදුකළ ස්වසන නාළ පරීක්ෂාවේදී ඔහු බීමතින් සිට ඇති බව අනාවරණය වී ඇත.

ඒ අනුව බීමතින් රිය පදවා අනතුරක් සිදුකොට කාන්තාවකට හා දැරියකට තුවාල සිදුකිරීම යන චෝදනාව යටතේ ලාල්කාන්ත මහතා ඉකුත් දෙවැනිදා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් නදී කුරේරා මහත්මිය නියෝග කළේ සැකකරැ මාර්තු 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසය.


මෙම අනතුරින් නිලන්ති රූපිකා (45) නැමැති ගම්මාන අංක 3, කටියාව පාර, එප්පාවල ලිපිනයේ පදිංචි කාන්තාවක සහ ඇගේ ඥාති දියණියක වන තිළිණි හංසනී දිව්‍යාංජලී (14) කැලේඅමුණුකොළේ, එප්පාවල ලිපිනයේ පදිංචි දැරිය තුවාල ලබා සිටිති. එම දෙදෙනාගෙන් කාන්තාවගේ තත්ත්වය තරමක් බරපතළ බව අධිකරණයේදී උප පොලිස් පරීක්ෂක එම්.එම්.කේ. යසරත්න මහතා දැන්වීමෙන් පසුව අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ඉහත තීන්දුව ලබා දුන්නාය.

ඒ අවස්ථාවේ ලාල්කාන්ත මහතා වෙනුවෙන් නීතීඥ කණ්ඩායමක් පෙනී සිටියෝය. එහි ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා මහතා අදහස් දක්වමින් තුවාල ලැබූ පාර්ශවයන් වෙත වන්දි මුදලක් ලබාදීමට සූදානම් බැවින් ලාල්කාන්ත මහතාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා මහතා සමඟ නීතිඥ ආරියරත්න වික්‍රමආරච්චි, නීතිඥ සරත් විජේරත්න, නීතිඥ නලින් දිමුතු බණ්ඩාර, නීතිඥ සමන්ත හේරත්, නීතිඥ සංජය රත්නායක, නීතිඥ ප්‍රසාද් ධර්මසේන, නීතිඥ රවීන්ද්‍ර දිසානායක, නීතිඥ ප්‍රදීප් දිසානායක, නීතිඥ දේවිකා සෙනෙවිරත්න, නීතිඥ මදාරා විජේසිංහ සහ නීතිඥ නයනා රත්නායක යන මහත්ම මහත්මීහු ලාල්කාන්ත මහතා වෙනුවෙන් පෙනී සිටියහ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන, උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති සෙනරත් සඳුන්ගහවත්ත, අනුරාධපුර කොට්ඨාසය භාර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ සහ පොලිස් අධිකාරී (I) චූලනී වීරරත්න යන මහත්වරුන්ගේ උපදෙස් අනුව අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතාගේ මෙහෙයවීම යටතේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනක ප්‍රසන්න, සැරයන් නිශාන්ත (2627), කොස්තාපල් කුමාර (9405) යන මහත්වරු මේ අනතුර ගැන පරීක්ෂණ සිදුකළහ.

මේ අතර ලාල්කාන්ත මහතා ඇප ලබා පැමිණි පසුව ඔහු සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ මගින් ගන්නා ක්‍රියාමාර්ග තීරණය කරන බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මාධ්‍යට පැවසීය.

සමන්ත ප්‍රදීප් විල්තෙර